කෝවිඩ් වැලඳේවි යැයි බිය නිසා රාත්‍රී නින්දේදී පවා බියකරු සිහින පෙනේ

මැයි 19, 2021

 

ප්‍රශ්නය

 

මම 42 හැවිරිදි කාන්තාවක්මි. විවාහ වී නොමැත නිසා තනිකඩ දිවි පෙවතක් ගත කරන අතර මාගේ මවත් සමඟ දිවි ගෙවමි.

ඇති වී තිබෙන කෝවිඩ් තත්ත්වය නිසා මා සිටින්නේ දැඩි බියකිනි. රාත්‍රී නින්දේදී පවා මා දකින්නේ මට කෝවිඩ් වැලදී ආසාධ්‍යව සිටින සිහිනය. මේ බිය නිසා මා දැන් නිවෙසින් එළියටවත් බහින්නේ නැත. නිවෙස තුළට වී සිටීම නිසාත් මට පීඩාවක් දැනෙයි.

මා නිතරම රූපවාහිනිය නරඹන්නේ කෝවිඩ් පිළිබඳ පුවත් දැන ගැනීමටයි. දැන් මා ඊට ඇබ්භැහි වී ඇත. නිවෙසේදී පවා නිතර විසබීජනාෂක දියර පාවිච්චි කරමි.

වෛද්‍යතුමනි, කෝවිඩ්වලට තිබෙන දැඩි බිය නැති කර ගැනීමට මට අවශ්‍යයි. නැතහොත් කෝවිඩ් වැලඳීමට වඩා ප්‍රශ්න ගොඩකට මුහුණ පෑමට සිදුවේවි යැයි මට සිතේ.

මා කුමක් කළ යුතුද?

කළුතර - දර්ශනී

 

පිළිතුර

මෙවැනි වසංගතයක් පැතිර යෑමේදී මානසිකව ඇතිවන දේවල් තමයි ආතතිය හා වෛරසය පැතිරීම හේතුවෙන් හුදෙකලා වීමට සිදුවීම හා රෝගය වැලඳේවි යැයි ඇතිවන බිය. මෙවැනි ගැටලු සාමාන්‍ය පුද්ගලයකුට මෙන්ම වෙනත් සෞඛ්‍ය ගැටලු සමඟ පොරබදන අයට ද හානිකර ලෙස බලපෑමට පුළුවන්. මෙවැනි අවස්ථාවක මානසික වශයෙන් වැඩි බලපෑමකට ලක්වන කණ්ඩායම් කිහිපයකි. ඔවුන් නම් වැඩිහිටි වයස්ගත පුද්ගලයන්, නිදන්ගත රෝග පවතින රෝගීන්, ළමයින් හා යෞවනයන්, වෛරසය සමඟ සමඟ වැඩකරන සෞඛ්‍ය සේවයන් හා ඔවුන්ගේ සහායක කණ්ඩායම්.

මේ කණ්ඩයම්වලට අයත් අය වගේම, ඉන් බාහිර පුද්ගලයන් පවා තමන්ගේ සමාජ අන්තර් ක්‍රියා අඩාල වීම, රැකියාවේ සුරක්ෂිත බව නැති වීම, අන් අය සමඟ සම්බන්ධතා පවත්වාගෙන යෑමට නොහැකි වීම, හුදෙකලා බව හේතුවෙන් මානසික ආතතියට හා අධික බියට පත්වීමට පුළුවන්. මේ වෛරසය සඳහා නිශ්චිත ඖෂධයක් නොමැති වීමත්, එහි ව්‍යාප්තිය සිදුවනුයේ සමාජශීලි භාවයෙන් වීම නිසාත් මේ අවස්ථාවේ හුදෙකලාව සිටීම හැර වෙනත් ක්‍රමයක් නොමැති වීම ඊට හේතුවයි.

මේ අවස්ථාවේ වඩාත් මානසික පීඩාවට ලක්වන්නේ තනිකම හා හුදෙකලාව සමඟ පොරබදන ෙජ්‍යෂ්ඨ පුරවැසියන්. තමන්ගේ අවට පරිසරයෙන්, අසල්වැසියන්ගෙන් හුදෙකලා වීම මත වේගයෙන් ආතතියට පත්වන්නේ එවන් අයයි. සිය ආහාර, ඖෂධ ආදිය සපුරා ගන්නේ කෙසේද යන්න කල්පනා කිරීම හේතුවෙන් ක්‍රමානූකූලව කනස්සල්ලට, දුකට පත්වීම, තනිවීම වර්ධනය වී අවසානයේ විෂාදය දක්වා ගමන් කරන ප්‍රවණතවය වැඩි වනවා.

වැඩිහිටියන් තුළ මෙම අවස්ථාවේ දී ආහර ගැනීමේදී හා නිදාගැනීමේ කටයුතුවලට බාධා ඇතිවීම, කනස්සලෙන් සිටීම, රෝගයට බියෙන් සිටීම, නින්ද නොයැම, අවධානය එකදිගට පවත්වාගෙන යෑමට නොහැකිවීම, කායික ගැටලු උග්‍ර වීම වැනි ලක්ෂණ දැකිය හැකියි.

අධික ලෙස ප්‍රවෘත්ති ඇසීම හෝ බැලීම කනස්සල්ල වැඩි කිරීමට හේතුවකි. පුවත් බලා සංඛ්‍යා ලේඛන තොරතුරු දත්ත මත කනස්සල්ලට පත්වේ. මේ අවස්ථාවේ සංඛ්‍යා දත්ත මත පදනම් නොවී තනි තනිව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගත යුතුයි. තරුණ අයත් වැඩිහිටි අයත් මේ වෙලාවේ දුරකතනයෙන් හෝ රූපවාහිනිය හරහා නිරන්තරයෙන් අලුත් තොරතුරු සෙවීමත් සිදුකරනවා. මෙලෙස එකම ක්‍රියාවේ වැඩි වෙලාවක් යොමුවීම හේතුවෙන් ඇබ්බැහිමය තත්ත්වයකට ගොදුරු විය හැකියි. ආතතිමය තත්ත්වය හේතුවෙන් ඇඩ්‍රිනීල් හා කෝටිසෝල් හෝමෝන ශ්‍රාවය ඉහළ යෑම මත තව තවත් ආතතියට පත්වේ.

අත්සේදීම හෝ වෙනත් ලබා දී ඇති සෞඛ්‍යමය උපදෙස් වගේම, රටේ පනවා ඇති නීතිරීතිවලට අනුගතව සිටීම වැදගත්. නමුත් ඕනාවට වඩා කරන්න යෑම ඔබෙ මනස ව්‍යාකූල කරයි. නිවෙසෙහි සිටින ඔබ නිතර නිතර විසබීජ නාෂක දියර පාවිච්චි කිරීමත් එවැනි පුරුද්දක්. එය ඇබ්බැහියක් දක්වා වර්ධනය වූ විට ඔබේ මනස විඩාවට පත් කරයි. ඒ නිසා ඔබේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මොහොතේ දී පමණක් විසබීජනාෂක දියර පාවිච්චි කරන්න.

නිවෙස තුළදීම විනෝදය සඳහා යමක් කරන්න. ගීතයක් රස විඳින්න, පොතක් කියවන්න, චිත්‍රපටයක් බලන්න. ඒ වගේ දේවල් වලින් සිතට සතුටක් ලබා ගත හැකියි.

ප්‍රතිශක්තිය වර්ධනය සඳහා මෙම අවස්ථාවේ ඉතා හොඳ නින්දක් හා සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම අවශ්‍ය වෙනවා. රාත්‍රී නින්දට පෙර සිත සන්සුන්ව තබා ගන්න. භාවනාවක නිරත වෙන්න.

ශරීරය ක්‍රියාශීලීව තබා ගැනීම ඉතා වැදගත්. ශරීරය අක්‍රීය ස්වභාවයකට පත්නොකර, පැළ සිටුවීම, වත්ත හෝ නිවෙස පිරිසුදු කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වන්න.

නිතරම ධනාත්මකව සිතන්න පුරුදු වෙන්න. එය සිතේ පවතින බිය, කනස්සල්ල නැති කරගෙන සිත සතුටින් තබා ගැනීමට උපකාරී වේවි. පවුලේ අය සමඟ ආදරයෙන් සිටීම මඟින්, ආදරය පැතිරවීම මඟින් ආතතිය මඟහරවා ගත හැකියි.

*විනෝදය සඳහා ගීතයක් රස විඳීමෙන් පොතක් කියවීමෙන්, චිත්‍රපටයක් බැලීමෙන් සිතට සතුටක් ලබා ගත හැකියි

 

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ
විශේෂඥ මනෝ වෛද්‍ය 
කපිල රණසිංහ