අරුංගල්…

හෙද සිත් සසල කළ අනුවේදනීය කතා
ජුනි 6, 2022

 

“සිස්ටර් මෙන්න අපේ බබා නෑදෑයො බලන්න ඇවිල්ලා.” වාට්ටුවේ හෙදියකගේ කටහඬින් මා හිස ඔසවා බැලීමි. කන්‍යා සොයුරියකගේ සුදු පැහැති ලෝගුවේ එල්ලී හුරුපුරුදු කුඩා මුහුණක් දෑස් දල්වා බලා හිඳියි. මාස දෙක තුනකට වරක් සායනයට පැමිණි පසු තමා කුඩා කාලයේ ගත කළ වාට්ටුවට මේ පුංචි දැරිය රැගෙන ඒමට ඇය දැන් වෙසෙන ළමා නිවාසය පවත්වාගෙන යන කන්‍යා සොයුරියන් පුරුදු වී සිටී. ඒ කුඩා හිනාවෙන දෑස් සමඟ මා වසර කිහිපයක අතීතයට පියඹා ගියෙමි.

 

ඒ 2013 වසරේ ජූනි හෝ ජූලි මාසයේ බ්‍රහස්පතින්දා දිනයකි. එදින උදෑසන වාට්ටුව භාර ගන්නා විට රෝගීන් ප්‍රමාණය 45ක් ව පැවතිණි. දරුවන් 45ක් සහ මව්වරුන් 45ක් එදින උදෑසන අප සමඟ දවස ඇරැඹූහ. මඳකින් දුරකථනය නාද වී ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙදි සොයුරිය මා අමතන ලදී. “දැන් අපි දරුවෙක් එවනවා.” සාමාන්‍යයෙන් ඒකකයකින් තව ඒකකයකට රෝගියකු යවන විට කලින් එම වාට්ටුව දැනුවත් කිරීම පුරුද්දකි. නමුත් වෙනදා එවන රෝගීන් මෙන් නොව අද ඇය මට එවනුයේ විශේෂිත දරුවෙකි. එම කාල වකවානුවේ ලංකාවේම අවධානය යොමු කරගත් සිඟිති දැරියකි. විනාඩි පහළොවකට පසු ඇයව අපට එවන මෙන් මම ශල්‍ය දැඩි සත්කාර ඒකකය භාර හෙදි සොයුරිය දැනුවත් කෙරුවෙමි.

ඉන් අනතුරුව මාගේ හෙද කණ්ඩායම සහ සෞඛ්‍ය කාර්යය සහයක කණ්ඩායම කැඳවා අපට එවන මේ විශේෂිත රෝගියා ගැනත් ඇයගේ රහස්‍ය භාවය ආරක්ෂා කළ යුතු ආකාරය හා ඇයට ආරක්ෂාව ලබා දිය යුතු ආකාරය පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුවත් කළෙමි. හෙදියන් නිතර රැඳෙන ස්ථානයට හොඳින් පෙනෙන කුඩා තොටිල්ලක් මේ පුංචි කෙලි පොඩිත්තියට වෙන් කළෙමු. අප සූදානම් වූ පසු කුඩා දැරියව එවන්න යැයි දැඩි සත්කාර ඒකකයට දැනුම් දුනිමි. ඉන් ටික වේලාවකට පසු සිඟිත්තිය අප වෙත රැගෙන එන ලදී. ඇගේ සිරුරේ ප්‍රමාණයට වැඩියෙන් ප්ලාස්ටර්වලින් ඒ කුඩා සිරුර වෙළා තිබුණි. හදවතට දැනුණේ දරාගත නොහැකි තරමේ අපමණ වේදනාවකි.

මාස හයක් වයසැති මේ කුඩා බිලිඳිය සමඟ කිසිවකුත් රැකවරණයට සිටියේ නැත. දරුවා භාරගෙන ඇඳ ඉහපත හෙවත් දරුවා ගැන තබන රෝහල් විස්තර ඇතුළත් ලේඛනය අතට ගත් මම දරුවාගේ භාරකාරිත්වය ගැන විමසා බැලුවෙමි. එහි දරුවාගේ නම වෙනුවට තිබුණේ “නොදනී” යන්නයි. භාරකරු ලෙස කොටුව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා සටහන් කර තිබුණි. ඇත්තටම කිව්වොත් මේ කුඩා දරුවා අපරාධයක වින්දිතයෙකි. ඉතා දරුණු ලෙස අතවරයට පත්ව මේ හය මස් බිලිඳිය කොටුව දුම්රිය ස්ථානය අසල රේල් පාරට දමා ගොස් තිබිය දී කාරුණික මිනිසකුගේ දෑසට හසුව වහා රෝහල් ගත කර තිබිණි. රෝහල්ගත වූ ඇය හදිසි ශල්‍යකර්මයකට භාජනය වී දැඩි සත්කාර ඒකකයේ සති දෙකක සත්කාර ලබා අප වෙත පැමිණ සිටියේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය. ඇයගේ ගුද මාර්ගය වෙනුවට මලපහ බැහැර කිරීමට තාවකාලිකව කුස ප්‍රදේශයෙන් බාහිරයට විවරයක් (colostomy) තිබූ අතර මලපහ එක්වීම සඳහා ඒ සඳහාම විශේෂිත බෑගයක් වැනි උපකරණයක් කුසට අලවා තිබිණ.

ආරංචිය හැටියට දරුවාගේ මව මතට ඇබ්බැහි යාචක ස්ත්‍රියකි. දරුවා අතවරයට පත් කළ වරදකරු ඒ වන තෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. එපමණකුදු නොව ඔහු ගැන කිසිදු හෝඩුවාවක් හෝ දත් අයකු සිටියේ ද නැත.

දරුවන් සහ භාරකරුවන් සමඟ උදෑසන දවස ඇරැඹූ අපි දහවල් වන විට භාරකරුවකු නැති දරුවකුගේ භාරකරුවන් වී සිටියෙමු. නමුත් භාරකරුවකු නැති අනෙකුත් දරුවන් මෙන් නොව මේ දරුවා සුවිශේෂී ආරක්ෂාවක් සැපයිය යුතු දරුවෙක් වූයේ ඇය රෝහල්ගතව ඇත්තේ අපරාධයකට ලක් වූ බැවිනුත් ඇයට අතවර කළ අපරාධකරු තවම නිදැල්ලේ බැවිනුත්ය.

මම දරුවාගේ භාරකරු යැයි ටිකට් පතේ සඳහන්ව තිබූ කොටුව පොලිසිය පොලිස් ස්ථානාධිපතිතුමා ඇමතිමි. ඔහුගේ භාරකාරීත්වය යටතේ සිටින කුඩා දරුවකු වාට්ටුවේ සිටින බවත් මේ කුඩා දියණිය ළමා නිවාසයකට භාර කරන තෙක් ඇයට ආරක්ෂාව සැපයිය යුතු බවත් ඔහුට කියා සිටියෙමි. ළමා අපරාධ පිළිබඳ ක්‍රියාත්මක වනුයේ පොලිස් අපරාධ විමර්ශන අංශය බැවින් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මාව කොටුව පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත යොමු කළේය. මේ සඳහා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු කළ යුතු බවත් ඒ සඳහා ක්‍රියාත්මක වන පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක මහත්මියව මට සම්බන්ධ කිරීමටත් අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපතිතුමා කටයුතු කළේය. පොලිස් නිලධාරීන් තිදෙනා සමඟ කතා කිරීමෙන් අනතුරුව මා නැවතත් කොටුව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා අමතා කුඩා දැරියගේ භාරකාරීත්වය සහ බලා ගැනීමට කිසිවකු නොමැති බැවින් ආරක්ෂාව ලබා දෙන මෙන් ඉල්ලා සිටියෙමි.

දැඩි සත්කාර ඒකකයක් මෙන් නොව ඕනෑම කෙනකුට රෝගීන් බැලීමට පැමිණිය හැකි විවෘත වාට්ටුවක අපරාධකරු නිදැල්ලේ සිටින නඩුවක වින්දිතයා ආරක්ෂාවක් නොමැතිව සිටීමේ බරපතළකම ඔවුන් හා කතා කළ පසුව කරුණු දක්වා දරුවාගේ ආරක්ෂාව පිණිස පොලිස් නිලධාරියකු ලබාදිය හැකි දැයි ඉල්ලා සිටියෙමි. දරුවා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දෙන තුරු ආරක්ෂාව උදෙසා පොලිස් නිලධාරියකු ලබාදීම ඉතා අපහසුවෙන් වුවද කිරීමට ඔවුහු එකඟ වූහ. මේ කතාවෙන් පැය බාගයකට පසු පොලිස් නිලධාරීන් තිදෙනා පොලිස් කොස්තාපල්වරයෙක් ද සමඟ වාට්ටු වෙත පැමිණියහ. හැකි ඉක්මනින් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කොට දරුවාව මවට භාර දීම හෝ ළමා නිවාස ගත කිරීමේ කටයුතු කරගන්නා මෙන් ඔවුහු මගෙන් ඉල්ලූහ. වාට්ටු භාර ප්‍රධාන වෛද්‍යවරයා වූ රන්ජන් ඩයස් මහතා සමඟ කතා කිරීමෙන් අනතුරුව ළමා ආරක්ෂක අධිකාරියේ පරිවාස නිලධාරියකු සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය යොමු කිරීමේ ලිපි සකසා ගතිමු.

පරිවාස දෙපාර්තමේන්තුව දැනුවත් කළ විගසම රෝහල අයිති කලාපයට අයත් පරිවාස නිලධාරියා අප හා සම්බන්ධ විය. මා ඔහුට දරුවා පිළිබඳ කාරණය පැහැදිලි කර දුනිමි. ඉන් පසු දිනම වාට්ටුවට පැමිණෙන බවට පොරොන්දු වූ ඔහු කියූ ආකාරයෙන්ම පසුදා වාට්ටුවට පැමිණ දරුවා පරීක්ෂාකර බලා උසාවි කටයුතු සඳහා අවශ්‍ය ඔහුගේ ලිපි ලේඛන සහ නිගමනයන් ලබා දුන්නේය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙදි නිලධාරිනියකගේ ස්වාමිපුරුෂයා වූ එම පරිවාස නිලධාරී මහතා හෙද භූමිකාවන් ගැන තිබූ මනා අවබෝධය මම අදත් අගය කරමි.

තමා වෙනුවෙන් සිදු කෙරෙන්නා වූ මේ විශාල ක්‍රියාවලියන් කිසිවක් නොදත් සිඟිති දැරිය රෝහල් කාර්ය මණ්ඩලයේ ආදරය සහ සත්කාර මැදිව දවසින් දවස ගත කළාය. තමාට උවටැන් කරන තමා වඩාගෙන හුරතල් කරන කාර්ය මණ්ඩලයේ අයවලුන්ගේ මුහුණු හඳුනා ගැනීමට පුංචි සිඟිත්තිය හුරු වූ අතර අප හා සිනාසීමට පටන් ගත්තාය.

ඇයට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරි මහතකු ද යෙදවීමට පොලිසිය ද සහාය දැක්වූහ. දරුවාගේ ඉදිරි භාරකාරීත්වය පිළිබඳ ගංගොඩවිල ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිණි. දරුවා වෙනුවෙන් ගංගොඩවිල උසාවිය ළමා මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූයේ ප්‍රධාන වෛද්‍යවරයා ය. උදර ප්‍රදේශයකින් මලපහ පිටවෙන විවරයක් සහිතව මේ සය මස් වියැති බිලිඳිය සිය යාචක මව වෙත ගියහොත් නැවත කිසි දිනෙක ගුද මාර්ගය හරියාකාරයෙන් පිළිසකර කිරීමට ඇය අප වෙත නොඑන බව අපි සක්සුදක් සේ දැන සිටියෙමු. පුංචි බිලිඳිය තවදුරටත් වීදි දරුවකු වී ජීවිතේ විනාශ කර ගන්නවාට වඩා ආරක්ෂාකාරී පරිවාස දෙපාර්තමේන්තුව යටතේ පවතින ළමා නිවාසයක වැඩෙනු දැකීම අපගේ බලාපොරොත්තු විය.

දරුවාගේ නෛතික අයිතිය පරිවාස දෙපාර්තමේන්තුවට බැර වීමෙන් පසු පොලිස් නිලධාරීන් සිය ආරක්ෂාව සැපයීමේ වගකීමෙන් නිදහස් වූ අතර පරිවාස දෙපාර්තමේන්තුවේ නම් කරන ලද ළමා නිවාසයට අයත් සේවිකාවෝ පැමිණ දරුවා බලා කියා ගැනීමේ කටයුතු ආරම්භ කළහ. මෙලෙස මාස දෙකක් පමණ අප සමඟ රැඳී සිටි දැරිය නැවතත් රෝහල්ගත වන්නට දින වකවානු නියම කර ළමා නිවාසය වෙත පිටත් කර හරිනු ලැබීය. කිසිවක් නැතිව හිස් අතින් රෝහලට පැමිණි මේ කුඩා දරුවාට රෝහලෙන් බැහැරව යන විට කරත්තයක පටවා ගෙන යා හැකි තරමට සිඟිත්තියකට අවශ්‍ය තෑගිබෝග ලැබී තිබිණ. කුඩා ලස්සන රෝස පැහැති මූණට ගැළපෙන නමක් ද අපි ඇයට දමා තිබුණෙමු. ඉන්පසු නැවත වරින් වර අප වාට්ටුවට ඇතුළත් වූ දරුවාගේ ගුද මාර්ගය ශල්‍යකර්ම කිහිපයකින් පසු සාමාන්‍ය පරිදි මලපහ බැහැර කිරීමට හැකිවන ලෙස සැකසීමට වෛද්‍යවරුන්ට හැකි විය. නමුත් විටින් විට පරීක්ෂණ සඳහා ඇය සායනයන්ට පැමිණීමට නියමිත විය. අද ද එලෙස ඇය සායනයකට පැමිණි දිනයකි.

හිනැහෙන මුහුණෙහි පාළු දෙකන් පෙති දෙස බලා “දැන් කන් විද්දොත් හොඳයි නේද?” මම කන්‍යා සොයුරියගෙන් විමසා සිටියෙමි. “එන සතියෙ එක්කන් එන්න. කරාබු කුට්ටමක් අරන් තියන්නම්. අපි කන් විදිමු.” මම කන්‍යා සොයුරියට කීවෙමි. “සිස්ටර් එයාට හම්බවුණ කරාබු ගොඩක් තියෙනවා. හෙටම එක්කගෙන එන්න ද?” කන්‍යා සොයුරිය මගෙන් අසා සිටියාය.

ඊට පසුදින උදෑසන කරාබු කුට්ටමක් අතැතිව කන්‍යා සොයුරිය සමඟ වාට්ටුවට පැමිණි පුංචි දියණිය මා කලින් කතා කරගෙන තිබූ පරිදි රෝහලේ ප්ලාස්ටික් සැත්කම් සඳහා වෙන් කරන ලද වාට්ටුවට රැගෙන ගොස් එහි වෛද්‍යවරියක ලවා කන් දෙක විද්දවා ගතිමු.

කන් දෙක විදින විට මහ හඬින් හඬා වැලපුණු පුංචි දියණියට නැවතත් අපේ වාට්ටුවට පැමිණි පසු කරාබු පැලැඳි ඇගේ පුංචි දෙකන කණ්ණාඩියකින් පෙන්වූයෙමු. කණ්ණාඩියේ ඇඳුණු ඇගේම පුංචි මූණ දෙස බලාගෙන කන් පෙති අතගාන විට ඒ පුංචි මුහුණේ මතු වූ සිනහව අදටත් මා දුටු ලස්සනම සිනාවන් ගෙන් එකක් ලෙස මතකයේ රැඳී තිබේ.

 

 

ලක්මාලි ධර්මවංශ

විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි

රිජ්වේ ආර්යා ළමා රෝහල