සිහින නිවෙසේ සැලසුම නිවැරැදිව අඳිමු

අගෝස්තු 8, 2022

 

අලංකාර නිවෙසක් යනු කලක දී අප කාටත් සුන්දර සිහිනයක්. මෙම සිහින නිවෙස ඉදිකිරීමේ කාර්යය සියයට සියයක් ම වාගේ සාර්ථක කර ගන්නේ ඉතා සුළු පිරිසක්. වැඩිදෙනෙක් හැමදාමත් ගේ හදනවා. එක්කෝ කඩ කඩා වෙනස් කරන්නට සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් බාගෙට හදාගෙන ඉවරකරගන්න බැරුව දුක් වෙනවා. ගෙයක් හදන්න පටන් අරගෙන මේ වගේ දේට මුහුණ දෙන්නට ‍ෙවන්නේ වාස්තු දෝෂ නිසාම නොවේ. සමහර අය අතේ සල්ලි නැතුව පටන් අර අරගෙන ඉක්මනින්ම ගේ හදලා ඉවර කරගන්නවා. තවත් අය අතේ සල්ලි තිබිලත් ගේ ඉවරකර ගන්න බැරිව සිටිනවා. ඇයි මෙහෙම වෙන්නේ? මෙය හොඳින් විමසා බැලිය යුතුම කරුණක්.

 

ඉදිකිරීමේ සැලැස්මක් ඕනේ

මුලදීම හරියාකාරව සැලසුමක් නොමැති වීම මෙයට ප්‍රධානතම හේතුවක්. නිවෙසේ සැලසුම් පමණක් අතේ තිබුණාට මදි. එය ඉදිකිරීමේ සැලසුමක් ඔබ ළඟ තිබිය යුතුයි. මෙමඟින් ඒ ඒ කාර්යය සඳහා වැය වන මුදල, ඊට ගතවන වන කාලය, වැඩි මුදලක් එකවර අවශ්‍ය වන්නේ කුමන වැඩ සඳහා ද මුදල් රැස්කර ගැනීම සඳහා ඔබට ඇති කාල පරාසය යනාදිය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකියි. මේ සඳහා ශාස්ත්‍රය නිපුණ අයකුගේ සේවය ලබා ලබා ගැනීම ඉතා වැදගත්.

 

අවම අවශ්‍යතාව උපරිම දුරක් රැගෙන යයි

මුලින්ම නිවාස සැලසුමට එක් කළ යුතු ඔබගේ අවම අවශ්‍යතාවන් ගැන සලකා බලන්න. කුඩා ඉඩමක් නම් තට්ටු දෙකකට සැලසුම් කිරීම් වඩාත් ප්‍රතිඵලදායක විය හැකියි. මෙමඟින් ගෙමිදුලේ වැඩි ඉඩකඩ ප්‍රමාණයක් ඉතිරි වෙයි. ගෙදර මිදුල යනු ගෘහ අලංකරණයේ දී වඩාත්ම වැදගත් වන, ගසට පොත්ත මෙන් සබැඳුණු දෙයක්. නිවෙස වෙත එන ආලෝකය, වාතාශ්‍රය සහ නිවෙසේ නිදහස් බව වාගේම ගෙදර සිරියාවටත් ගෙමිඳුල ඍජු දායකත්වයක් ලබා දෙනවා. ඔබ සිටින්නේ හතර වටේටම ඇහිරුණු, ආලෝකය - වාතාශ්‍රය අඩු, අවට ගස්කොළන් නොමැති නිවෙසක නම් හෝ එවැනි නිවාස ඔබ දැක ඇත්නම් සිතින් සසඳා බලන්න. වෙනස වැටහේවි.

"අවම අවශ්‍යතාව" සලකා බලන්න යැයි මුලදී පැවසුවා. මේ "අවම අවශ්‍යතාව" නිවෙස ඉදිකිරීමේ දී ඔබට උපරිම දුරක් යාමට රුකුලක් වෙනවා. එනම් ඔබ අතේ ඇති මුදලින් වැඩි වැඩ කොටසක් කර ගැනීමට හැකි වීමයි. මෙය තව ටිකක් මෙසේ විස්තර කරන්නම්. නිවාස සැලසුමකට ආලින්දය, මුළුතැන්ගෙය, කෑම කාමරය, නාන කාමරය, නිදන කාමර, වැරැන්ඩාව ආදිය ප්‍රධාන තැනක් ගන්නවා. කාර්යාල කාමර, ගබඩා කාමර, සේවක කාමර හා වැසිකිළි, ගරාජය ආදිය ඔබගේ අවශ්‍යතාව මතයි නිවෙසටම ඇතුළත් කළ යුතු වන්නේ. (නිවාස සැලසුම අනුමත කිරීමේ දී ප්‍රමාණවත් ආකාරයට වාහන නැවතුම් ස්ථාන පෙන්විය යුතුයි). නිදන කාමර ප්‍රමාණය පවුලේ සාමාජිකයන් ගණන අනුව තීරණය කළ හැකියි. ආගන්තුකයන් වෙනුවෙන් හෝ පවුලේ නෑදෑයන් පැමිණි අවස්ථාවක දී ප්‍රයෝජනයටයට ගැනීමට තවත් කාමරයක් තිබීම වරදක් නැහැ.

 

ලන්ඩන්වල අයියලාටත් කාමරයක්.....

නමුත්, බොහොමයක් අය වරද්දාගෙන තියෙන්නේ මෙන්න මෙතැනයි. ලන්ඩන්වල ඉන්න අයියලා ලංකාවට ආවහම ඉන්න කාමරයක්, මොනරාගල ඉන්න බාප්පලා කොළඹ ආවහම ඉන්න කාමරයක්, අවුරුද්දට එන නෝනගේ අම්මටයි තාත්තටයි ඉන්න කාමරයක් යනාදී වශයෙන් අනවශ්‍ය ආකාරයට උපරිමයෙන් දේවල් එකතු කරගන්නට යාමයි. නිවෙසේ වර්ගඵලය, එය සාදන්නට යන වියදමට කෙළින්ම බලපානවා. අතේ යහමින් මිල මුදල් තිබේ නම්, මිදුලත්, ඉඩකඩ තිබේ නම් ඔබේ අවශ්‍යතාව ඉටුකරගැනීමට වාස්තු විද්‍යාවෙන් කිසිම බාධාවක් නැහැ. නමුත්, අපි බොහෝ දෙනකුට නිවෙසක් වෙනුවෙන් මුදල් වැය කරන්නට වෙන්නේ සීමිතව හා දෙතුන් වතාවක් සිතා බැලීමෙන් පමණයි. ඒවාගේම ඉඩම පුරාවට ව්‍යාප්ත වන නිවාස තැනීම වාස්තු දෝෂයන් බොහොමයකටම අතවැනීමක් බවත් මතක තබා ගන්න.

 

නිවෙසේ සැලසුම්කරු සුපිරි කාර්යයක් ඉටුකළ යුතුයි

 

දිශාවන්ට අදාළව නිවෙසේ අංගයන් ස්ථානගත කිරීම තවත් වැදගත් කරුණක්. නමුත්, කුඩා ඉඩම් සැලකීමේ දී මෙය සම්පුර්ණයෙන්ම සිදු කරගත නො හැකි අවස්ථා පවතිනවා. එවිට දෙවනුව ගැළපෙන දිශාව හෝ සැලකිය යුතුයි. ඉඩම හරහා නිවෙසට ඇතුළු වෙන පුද්ගලයා හට නිවෙසේ අංගයන් මනා රටාවකට ගැළවී හමුවිය යුතුයි. යම් දිශාවක් අරමුණු කරගෙන ඊට යෙදිය යුතු නිවෙසේ කොටස බලෙන්ම වාගේ ඇතුළත් කිරීම සිදු නො කළ යුතුයි. එමඟින් ඇතිවන "නො ගැළපීමේ දෝෂය" පදිංචි වුණු පසුව ඔබට සාර්ථකත්වයක් ලබා දෙන්නේ නැහැ. වාස්තු විද්‍යාව කියන්නේ ස්වභාවධර්මය හා බැඳුණු විද්‍යාවක්. නිවෙසක් තුළ ඇති එම ස්වාභාවිකව ගලායාමේ පිළිවෙළ තුළින්ම වාස්තු දෝෂ බොහෝමයක් අහෝසි කර ගත හැකි බව දැනගන්න.

 

ලබන සතියට‍......

 

සිවිල්/ව්‍යුහාත්මක ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද ආචාර්ය

ගයාන් එරමුදුගොඩ ලියයි