Doctor door

ජුනි 10, 2024

කියාගන්න බැරි ලෙඩ ගැන හිතේ තියාගන්නේ නැතිව අපට කියන්න

මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. එලෙස පවුල් ජීවිතයේ ගැටලු, දරුවන්ගේ ගැටලු, මානසික ගැටලු, ලිංගික ගැටලු සහ අඹු සැමි ගැටලු ආදී විවිධාකාර වූ ගැටලුවලට නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි ගැටලුවලට විසඳුම් ලබා දෙන්න හොඳ උපදේශකයකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. සිතේ තියෙන කාටවත්ම කියාගත නොහැකිව ජීවිතකාලය පුරාවටම සිතින් තැවි තැවී ඉන්න, පවුලෙන් ගිලිහුණු සතුට සමාදානය නැවත රැගෙන එන්න තරුණී නිරතුරුවම ඔබට සහයක් වනු ඇත. ලියන්න ඔබේ හද දවන ගැටලුව තරුණීට. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දෙන්නෙමු. අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්.

කොළඹ - 10.

 

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

මට දික්කසාද වෙන්න අවශ්‍යයි

 

ප්‍රශ්නය

මට මගේ සැමියාගෙන් දික්කසාද වෙන්න ඕනෙ. අපි විවාහ වෙලා හරියටම අවුරුද්දයි. මට එයා එක්ක ඉන්න බෑ. එයා හැමදාම බොනවා. අපි දෙන්නා ලිංගික සබඳතා පවත්වන්නේද නැත. ඔහු එයට උනන්දුවක් නැත. ඔහු දරුවෙක් හදන්න කැමති නෑ. තව තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට එයාගෙන් වෙන් වෙන්න අවශ්‍යයි. එයා සැර පරුෂ කෙනෙක් නිසා මට බයයි මට, අම්මට කරදරයක් කරයි කියලා. මොකද මට අම්මත්, අම්මට මමත් විතරයි, ඉන්නෙ. මට එයත් එක්ක තවදුරටත් ඉන්න බෑ. මට මේ ගැටලුව විසඳාගන්න පිහිට වෙන්න.

 

පිළිතුර

ඔබ එවූ ප්‍රශ්නයට පිළිතුරත් ඔබම තීරණය කර ඇතිබවයි හැඟී යන්නේ. ඔබ මේ ගැටලුවලින් නිදහස් වීමට දික්කසාදය තෝරාගෙන ඇත. තීරණයක් ගැනීමට ප්‍රථම කරුණු කාරණා සොයා බලා ඔහු සමඟ එකඟත්වයකට ඒමට හැකිනම් මේ ගැටලුව සරලව විසඳා ගැනීමට හැකිවනු ඇත.

ඇතැම් විට ඔහුගේ මේ හැසිරීමට හේතුව ඔබට පැවසීමට නොහැකි ආකාරයේ කුමක් හෝ ගැටලුවක් විය හැකිය. ඒ නිසා කලබල වී තීරණ ගැනීමට ප්‍රථම ඔහු සමඟ සුහදව සාකච්ඡා කිරීම අතිශයින්ම වැදගත්.

 

විවාහයකදී දෙදෙනකු එක් අයකු බවට පත් වෙනවා කියා කතාවට කිව්වට සිදු වන්නේ දෙදෙනා එක් අයකු බවට පත් වීම නොවෙයි දෙදෙනාගේ අදහස් එකට ගළපා ගැනීමයි. ඕනෑම දෙදෙනකු අතර ගති පැවතුම්, සිතිවිලි ස්වභාවයන් එකිනෙකට වෙනස්. දෙදෙනා කතාබහකර මේ සියලු දේ ගළපා ගැනීමයි සාර්ථක විවාහ ජීවිතයක් කියා කියන්නේ.

 

ඔහු ලිංගික සම්බඳතා පැවැත්වීමට අකමැති වීමට හේතුව ඇතැම් විට ඔබ සමඟ ඇති ගැටලුවක් නොවෙන්නත් පුළුවන්. ඇතැම්විට එය ඔහුගේ ලිංගික ගැටලුවක් නිසා පිටතට පෙන්වන වෙනත් හැසිරීමක් විය හැකියි. දරුවන් හදන්න අකමැති වෙන්න හේතුවත් එයම විය හැකියි. බීමත්කම සහ අධික කෝපයට හේතුවත් එයම විය හැකියි. මේ සියලු දෙයටම පොදු වූ කරුණ සොයා ගැනීමයි ප්‍රථමයෙන් කළ යුතු වන්නේ. එහෙමත් නැත්නම් මේ හැසිරීමට හේතුව ඔහු තුළ ඇති මානසික තත්ත්වයක් විය හැකියි.

ඔබ දෙදෙනා විවාහ වී තවම ගත වී ඇත්තේ අවුරුද්දක් වැනි කෙටි කාලයකි. ඔබ ප්‍රශ්නය ඉදිරිපත් කළ ආකාරයෙන්ද පෙනී යන්නේ ඔබ දෙදෙනාට දෙදෙනා ගැන හරි හැටි අවබෝධයකින් තොරව ජීවත්වන ආකාරයක් සහ ඔබ ඉක්මන් තීරණ ගන්නා ස්වභාවයයි. ඕනෑම දෙදෙනකු දික්කසාද වීමට ප්‍රථම දෙදෙනා අතර පවතින ගැටලු විසඳාගැනීමට උත්සාහ කරයි. එසේ උත්සාහකර අවසාන මොහොතේදියි දික්කසාදයකට යොමු වන්නේ. නමුත් ඔබ මෙය රැක ගැනීමට තවම පියවරක්වත් තබා නොමැත. ඔහු සමඟ කතා බහකර දෙදෙනා අතර පවතින ගැටලු විසදා ගැනීමට උත්සාහ ගන්න. දික්කසාදය කියන්නේ හැම දෙයකටම විසඳුම නොවන බව සිහි තබා ගන්න. නමුත් හිංසනයෙන් පීඩනයෙන් පවුල් ජීවිතය ගෙනයාමද කළ නොහැකිය. දික්කසාදය තෝරා ගත යුතු වන්නේ පවුල් ජීවිතය රැක ගැනීමට සියලු උත්සාහ දරා අවසානයටය.

එබැවින් හොඳින් සිතා බලා තීරණ ගන්න. ඔබ දෙදෙනාම පවුල් උපදේශනයකට යොමු වීම ඉතාම වැදගත්.

 

 

සැමියාගේ කෝපය මට වේදනාවක්

 

ප්‍රශ්නය

මගේ සැමියාගේ කේන්තිය නිසා මට හැමදේම එපා වෙලා තියෙන්නේ. ඔහු පොඩි දෙයටත් ගොඩාක් කේන්ති ගන්නවා. දෙයක් තේරුම් කරලා දෙන්න ගියත් එයා මං එකට එක කියවනවා කියලා කේන්ති ගන්නවා. එයාට කේන්ති ගියාම අසභ්‍ය වචන පවසනවා. ඒවා අහන් ඉන්න අමාරුයි. හොඳින් ඉන්න වෙලාවට මට ගොඩාක් ආදරෙයි. ඒත් කේන්තියට එයා කියන දේවල් එක්ක මට එපා වෙනවා. ගොඩාක් නරක විදිහට කතා කරන්නේ. මං විහිළුවට කියපු දෙයක් නිසා මට පළමුවෙනි පාරට අත ඉස්සුවා. ඒත් එයා ඒ හැමදේම ගැන පස්සේ පසුතැවෙනවා. දුක් වෙනවා. එයා කියන්නේ එයාට කේන්තිය පාලනය කරගන්න බෑ කියලා. මොකක්ද මං මේකට කරන්නේ.

 

පිළිතුර

අපි කාටත් කේන්තිය ඇතිවෙන වෙලාවල් තියෙනවා. සමහරුන්ට කේන්තියක්, තරහක් ඇති වෙන්නේ ඉතාම කලාතුරකින්. තවත් සමහරුන්ට සුළු දෙයටත් ලොකුවටම කේන්ති යනවා.

කෝපය ඇති වෙන්න හේතු ගණනාවක් බලපානවා. බොහෝ වෙලාවට අපේ හිතේ එකපාරට කෝපයක් ඇති වෙන්නේ අපි අකැමැති විදිහට පුද්ගලයෙක් හැසිරුණාම සහ අපි අකැමැති සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණාමයි. මීට අමතරව පැරණි මතකයන් නිතර මතක් වීමෙන්ද ඉක්මන් කෝපය ඇතිවෙන්න පුළුවන්.

හදිසි කෝපය ඇතිවෙන්න මූලිකවම බලපාන කාරණාව තමයි තමන්ට වුවමනා විදිහට දේවල් සිද්ධ නොවෙන එක. එහෙම වෙද්දී තමන්ගේ හිතට යම්කිසි තර්ජනයක්, බියක් සහ දුකක් වැනි අනාරක්ෂිත හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ හැඟීම වළක්වන්න ආරක්ෂිත ක්‍රමයක් විදිහට තමයි මේ කෝපය කියන එක අපේ හිතේ ඇතිවෙන්නෙ. ක්ෂණිකව කෝපය ඇති වීමෙන් කරන්නේ එම අනාරක්ෂිත හැඟීමෙන් අපේ අවධානය වෙනතකට හරවන එකයි.

ඊට අමතරව නිතර කේන්ති යෑමට ජානවල බලපෑම ද හේතුවෙනවා. එනම් පරම්පරාවෙන් පැවත එන්නත් පුළුවන්. නිතර මවත් පියාත් රණ්ඩු වෙනවා නම් මෙය ඔබටත් බලපානවා. ඊට අමතරව පවුලේ ගැටලු, මානසිකව කඩා වැටීම, කුඩා කාලයේ ඇතිවන මතගැටුම් ද ඊට හේතු විය හැකිය. පොඩි දේටත් කේන්ති ගිහින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන අයත් එක්ක වැඩි ආශ්‍රයක් පවත්වන්න බොහෝ දෙනෙක් කැමැති නැහැ. යාළුවෝ, හිතවතුන්ගේ ප්‍රශ්නවල ඉඳන් රැකියා ප්‍රශ්න, පෞද්ගලික සම්බන්ධතාවල ප්‍රශ්නවලටත් කේන්තිය ඇති වෙන්න පුළුවන් මේ කෝපය නිසා.

ඔහුට කේන්ති යන විට ඔබ නිවෙන්න. ඔහුගේ කේන්තිය පහව යනතුරු ඉවසීමෙන් සිටින්න. ඔහු කේන්ති ගන්න මොහොතේ ඔබත් ඊට නොදෙවෙනි වෙන්න ඔහු සමඟ රණ්ඩු වීමට යෑමෙන් සිදු වන්නේ ගැටලුව තව තවත් වැඩිවීම පමණයි. ඔහු හොඳින් ආදරයෙන් ඉන්න වෙලාවට මේ ගැන ඔහු සමඟ කතා කරන්න. කෝපය සාමාන්‍ය දෙයක් වුණත් අධික කෝපය මානසික රෝග ගණයට ද අයත් වේ. ඒ නිසා ඔහුගේ කෝපය ඔබව සහ පවුලේ අයව පීඩාවට පත් කරන්නට තරම් දරුණු නම් ඔහුව වෛද්‍යවරයකු වෙත පෙන්වීම වඩා සුදුසුයි.

ඔහුට මා එපා වෙලා

 

ප්‍රශ්නය

මම විවාහක කාන්තාවක්. විවාහ වී අවුරුදු දෙකයි. සැමියා මට හරිම ආදරෙන් හිටිය. ඒත් එකපාරටම එයාගෙ වෙනසක් මට දැනෙන්න ගත්තා. එයා මාත් එක්ක එකට ඉන්න පවා අකමැති වුණා. මගෙන් එයාට පොඩි පොඩි අඩුපාඩු වුණා. මට එයාව රුස්සන්නෙ නැතිව ගියා ගෙදර ජොබ් එකේ වැඩත් එක්ක. එයා මට තරහ යන ඒවට බයෙන් වගේ හිටියෙත්. නිතරම මට කිව්වා මට බයයි ඔයාට තරහ යන එකට කියලා. එයාට කෙනෙක් එපා වුණොත් එපා වුණාමයි කියලත් මට කලින් කිව්වා. මං එයාට ආදරෙයි ගොඩක්. දැන් එයාට මාව එපාම කියනවා. මට ආදරේ කරන්නෙ නෑලු එයා. එයාට වෙන සම්බන්ධයක් තියෙනවද කියන්න හරියටම දන්නෙ නෑ. මං හිත හදාගෙන හිටියෙ මගෙ ෆොටෝ එකක් එයා ඊයෙ රෑ වෙනකන්ම වට්අැප් profile එකට දාගෙන හිටියෙ. දැන් ඒකත් අයින් කරලා. මගෙ හිත ඒකටත් ගොඩක් රිදුණා. එක ගෙදර හිටියට මගෙ මූණවත් බලන්නෙ නෑ. කොහෙත්ම එයා මාත් එක්ක ඉන්න දැන් කැමති නෑ. මවුපියන්ගෙ බල කිරීමට තමයි එයා මාත් එක්ක එක ගෙදර ඉන්නෙ. මගෙ හිත හැදෙන්න උපදෙසක් දෙන්න.

 

පිළිතුර

ඔහු ඔබෙන් බලාපොරොත්තු වූ ආදරය, අවදානය නොලැබීම නිසා ඔහු කනස්සල්ලට පත්ව ඔබව නොසලකා හරින බවයි ඔබේ ගැටලුවෙන් පෙනෙන්න තිබෙන්නේ. මේ ගැටලුවට හේතුවත් ඔබම බවයි පෙනී යන්නේ.

ඔබේ සහකරු ඔබව මඟහරිමින් නොසලකා හරින බව ඔබට විශ්වාස නම්, ඔබ පියවරක් ගත යුතුයි. ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කරන්න යන්න එපා, ඕනෑවට වඩා හිතන්න යන්නත් එපා. ඔබ කළ යුතුම දෙය ඔහු වෙනුවෙන් කාලය වෙන් කිරීමයි. ඔබ ඔහුට කාරුණික වන්න. ආදරයෙන් සලකන්න. ඔහු කැමැති කෑම බීම සකසන්න.

සන්නිවේදනය, කැපවීම, විශ්වාසය සහ ආදරය යනු සාර්ථක සම්බන්ධතාවක ලක්ෂණයි. ඔබේ සම්බන්ධතාවයේ මෙම ගුණාංගවලින් එකක් හෝ නැති වී ගිහින් නම් ඒ සබඳතාවය කඩා වැටෙනවා. ආදරය යනු සියුම් නූලක් වගෙයි. විවෘත සන්නිවේදනය තමයි බැඳීම ශක්තිමත්ව තබා ගැනීමට තියෙන හොඳම ක්‍රමය. ඔබේ සහකරුගේ ආදරයෙන් අඩුවන බවට ඔබ සිතන්නේ නම්, ගොස් ඔහු සමඟ කතා කරන්න.

ඇතැම්විට ඔහු ඔබව ගණන් නොගෙන ඔබව අවශ්‍ය නැතිබව හැඟෙන ආකාරයට හැසිරෙන්නේ වෙනත් සම්බන්ධතාවක් නිසා නොව ඔබෙන් නිසි ආදරය නොලැබුණු නිසා එහි වේදනාවට විය හැකිය. නැතිනම් ඔබ ඔහුට පෙරදී සැලකූ ආකාරයට පළිගැනීමක් ලෙසත් එසේ හැසිරිය හැකිය. එබැවින් ඔහුගේ හිත දිනාගන්නා අකාරයට හැසිරෙන්න. එවිට නැවත ඔහු ඔබ වෙත රැඳෙනු ඇත.

උපදෙස් -

අංගොඩ ජාතික මානසික

සෞඛ්‍ය විද්‍යායතනයේ

විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ