Doctor Door

මාර්තු 24, 2025

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසු කරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩාවිඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩාවිඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

 

සැමියාට සමාජ රෝගයක් ද?

 

 

ප්‍රශ්නය

 

මා එක් දරු මවක්. මේ ගැටලුව මාගේ සැමියා පිළිබඳයි. ඔහුගේ ශිෂ්ණයේ ඉදිරි කෙළවරෙහි සුදු පැහැ බිබිලි හට ගෙන ඇත. ඔහුට සමාජ රෝගයක් වැලඳී ඇතැයි කියා මට සිතෙයි. නමුත් ඔහු කියන්නේ ඔහු කිසි දිනෙක වෙනත් කාන්තාවක් ඇසුරු නොකළ බවකි. මෙය ඔහුට මගෙන් වැලඳි ඇතැයි කියා ඔහු සිතයි. මම ද වෙනත් පුරුෂයකු හා ලිංගික සම්බන්ධතා පවත්වා නැත. මේ ගැටලුව පහදා දෙන්න.

 

පිළිතුර

 

මෙය සමාජ රෝගයක් නොවේ. මෙය ආසාදන තත්ත්වයක්. දියවැඩියාව ඇත්නම් සීනි සහිත මූත්‍රා පෙරසම තුළ එකතුවීම නිසා එතැන විසබීජවලට ලෙහෙසියෙන්ම වර්ධනය විය හැකියි. එවිට ශිෂ්ණය වනවීමත්, පෙරසම ආසාදනයට ලක්වීමත් සිදුවෙනවා. ඔය වෙලාවට බොහෝ දෙනා හිතන්නේ තමන්ට සමාජ රෝගයක් වැලඳිලා කියලයි. මේ ආසාදනයට බොහෝ වෙලාවට හේතුව වන්නේ මොනීලියස් නැත්නම් කැන්ඩීඩා කියන දිලීරය මඟින් සිදුකරන ආසාදනයයි. ඒක බහුල දියවැඩියා රෝගීන්ගේ. මේ නිසා මෙබඳු රෝග ලක්ෂණයක් ඇතිවිට කළ යුත්තේ වෛද්‍යවරයා හමුවෙලා දියවැඩියාව සඳහා රුධිර පරීක්ෂණයක් කරගන්නා එකයි.

දියවැඩියා තත්ත්වය හැරෙන්න තවත් හේතු කිහිපයක් නිසාත් ඔය ආකාරයට වණවීම් සිදුවෙන්න පුළුවනි.

ප්‍රධානම එක තමයි අපිරිසුදුකම. පෞද්ගලික පිරිසුදුකම ගැන නොසැලකිලිමත් අයගෙත් විසබීජ තැන්පත්වීම නිසා මේ විදියට වණවීම් සිදුවෙනවා. තවත් කාරණයක් තමා ලිංගික සංසර්ගයේදී භාවිත කරන කොණ්ඩම් මේවායේ අන්තර්ගත ශුක්‍ර නාශක රසායන ද්‍රව්‍ය නිසා ආසාදන ඇතිවිය හැකියි.

වැඩි පිරිසුදුකමත් ලෙඩක්. නිතර නිතර දවසට කිහිප වතාවක් සබන් යොදා මේ ප්‍රදේශය පිරිසුදු කරන විට සබන්වලට ඇති අසාත්මිකතාව හේතුවෙන් වණවීම් හටගන්නත් පුළුවනි.

 

 

පුතුගේ පියයුරු විශාලයි

ප්‍රශ්නය

 

මාගේ පුතුට වයස අවුරුදු 28කි. ඔහු පෙනුමින් උස මහත තරුණයෙක්. ඔහුගේ ශරීරයට වඩා පියයුරු ප්‍රමාණයෙන් විශාලයි. එල්ලෙන ස්වභාවයක් ද ඇත. මේ නිසා පුතු කිසි විටෙකත් උඩුකය නිරාවරණය නොකරයි. ඒ අන් අයගේ විහිළුවට ලක් වන නිසා ය. ඔහු හැසිරෙන්නේ සමාජයෙන් කොන් වුණු අයකු ලෙසය. පියකු ලෙස මා හට පුතුගේ මේ ස්වභාවය දරාගත නොහැකිය. මේ ගැටලුවට ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

 

පිළිතුර

 

මෙය හෝමෝනවල බලපෑමක් මත ඇතිවන තත්ත්වයකි. මෙහිදී එක් පියයුරක් හෝ පියයුරු දෙකම විශාලවීමක් ලෙස ඇතිවිය හැකිය. ශරීරයේ ඇති ටෙස්ටස්ටෙරෝන් නමැති හෝමෝනයේ ප්‍රමාණය ඊස්ට්‍රජන් හෝමෝනයේ ප්‍රමාණයට වඩා සාපේක්ෂව අඩුවීමක් නිසා මෙවැනි තත්ත්ව ඇති වේ.

 

පිරිමි දරුවන්ගේ වැඩිවියට පත්වීමත් සමඟම වන හෝමෝන වෙනස්වීම නිසා මෙන්ම මහලු වයසේදී ඇතිවන හෝමෝනවල වෙනස් වීම නිසා ද මෙම තත්ත්වය ඇතිවිය හැකිය. සමහර ඔෟෂධ දීර්ඝ කාලීනව ගැනීම සහ අධි ප්‍රමාණවලින් මද්‍යසාර ගැනීම සහ සමහර රෝගී තත්ත්ව ද මෙම තත්ත්වයට හේතුවක් විය හැකිය.

 

අක්මාවේ ක්‍රියාකාරීත්වය තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය හා වෘෂණවල ක්‍රියාකාරීත්වයේ අඩපණ වීම නිසා ද මෙම තත්ත්වය ඇති වේ. වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ වීමත්, සමහර පිළිකා තත්ත්ව නිසාද මෙලෙස ඇතිවීම කලාතුරකින් දැකිය හැකිය. මන්දපෝෂණය නිසාද මේ ආකාරයට පියයුරු විශාල වීමක් දැකිය හැකිය.

පිරිමි දරුවන්ගේ වැඩිවියට පත්වීමත් සමඟම වන හෝමෝන වෙනස්වීම නිසා ඇතිවන පියයුරු විශාල වීම නැවත බොහෝවිට යම් කාලයකදී යථා තත්ත්වයට පත්වන මුත් එහිදී ඇතිවන මානසික හා සාමාජීක පීඩනය සැලකිය යුතු තරම් වන අවස්ථා ඇත.

 

මේ තත්ත්වයට ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබේ.

වෛද්‍යවරයා විසින් කරනු ලබන මූලික පරීක්ෂණයට පසු අවශ්‍ය අවස්ථාවලදී ස්කෑන් පරීක්ෂණ මෙන්ම හෝමෝන පරීක්ෂණ සිදුකරනු ලැබේ. වැඩිවියට පත්වන පිරිමි ළමුන්ගේ ඇතිවන මෙවැනි තත්ත්වයන් බොහෝවිට ඉබේම යථා තත්වයට පත්වන අතර එසේ නොවන අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා යොමුකරනු ලැබේ.

ඖෂධ වර්ග නිසා ඇතිවන පියයුරු විශාල වීම් එම ඖෂධය නැවැත්වීමෙන් බොහෝවිට යථා තත්ත්වයට පත්වේ.

 

නමුත් බොහෝවිට යථා තත්ත්වයට පත්වන නොවන අවස්ථාවලදී ශල්‍යකර්මයකින් වැඩිපුර ඇති පටක ඉවත් කිරීමට යෝජනා කරනු ඇත. වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න.