ඔබේ ගැටලුව අපට එවන්න

මැයි 5, 2025

 

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

 

උපදෙස් -

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට

 

 

 ඔහු ආදරය කරන්නේ දෙපාවලට

 

ප්‍රශ්නය

 

විසිඑක් හැවිරිදි තරුණියක වන මගේ පෙම්වතාගේ වයස අවුරුදු විසිනවයකි. පෞද්ගලික ආයතනයක විධායක තනතුරක් දරන ඔහු නිහඬ අහිංසක ජීවිතයක් ගත කරන්නෙකි.

නමුත් අප නිදහසේ ගත කරන අවස්ථාවල ඔහු මගේ දෙපාවල වළලුකරෙන් පහළ කොටස කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. මගේ දෙපාවල එම කොටස ස්පර්ශ කිරීමට, සේම සිප ගැනීමට පවා ඔහු පෙලඹෙන අවස්ථා එමටය. පෙම්වතාගේ මේ හැසිරීම් සම්බන්ධයෙන් මගේ සිතේ තරමක ගැටලුවක් ඇති වී ඇත. පෙම්වතා තුළ පවතින මෙම අසාමාන්‍ය තත්ත්වය කිසියම් මානසික රෝගී ලක්ෂණයක්ද? මේ සඳහා ප්‍රතිකාර තිබේද?

 

පිළිතුර

 

මෙම තත්ත්වය මනෝ වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙනුයේ අර්චන කාමය (Fetishism) යනුවෙනි.

ලිංගික අවවර්තන ගණයට වැටෙන මානසික රෝගයක් වන මෙම අර්චන කාමය අප සමාජයේ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කරන්නවුන්ගේ ක්‍රියා මුල්කර ගනිමිනි.

මෙබඳු පුද්ගලයන් තෘප්තිමත් වනුයේ කාන්තාවන් සමඟ සාමාන්‍ය පරිදි ලිංගිකව හැසිරීමෙන් නොවේ. එසේ සොරකම් කර ගන්නා ඇඳුම් ඇසුරිනි. මෙම අර්චන කාමය නම් රෝගී තත්ත්වය ඇඳුම්වලට පමණක් සීමා වූවක් නොවේ.

කාන්තාවන්ගේ සෙසු ශරීරාංග අබිබවා දෙපා කෙරෙහි සුවිශේෂ ලිංගික ආකර්ෂණයක් ඇති කර ගැනීම foot fetishism හෙවත් Podophilia යනුවෙන් හැඳින්වෙයි.

 

එහෙත්, ඒ ආකර්ෂණය දෙපා කෙරෙහි පමණක් රැඳී තිබේ නම්, එය අර්චන කාමය නම් රෝගය ලෙස මූලික වශයෙන් හඳුනාගත හැකියි. එබඳු පිරිමි, කාන්තාවන්ගේ දෙපා සුරතල් කිරීමෙන් (Foot Fonding) නොනැවතී ඒ මඟින් පූර්ණ ලිංගික තෘප්තියක් ලැබීමටද උත්සාහ කරති.

කාන්තා යට ඇඳුම් සොරකමේ සිට මෙවන් රුචිකත්වයන් දක්වා පැතිර ගත් අර්චන කාමය පිටුදැකිය හැකි විධිමත් මනෝ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර තිබේ.

ඔහුව ළඟම රෝහ‍ලේ මනෝ වෛද්‍ය සායනය වෙත හෝ පිළිගත් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතා වැදගත්ය.

-------------------

 සමාජ රෝගයක් නිසා ජීවිතය එපා වෙලා

 

 

ප්‍රශ්නය

මම 38 හැවිරිදි එක් දරු මවක්. වසර කිහිපයක සිට මා ලිංගික ඉන්නන්ගේ රෝගයෙන් පීඩා විඳිමි. මා සැමියාගෙන් දික්කසාද වූ කාන්තාවක්. එක්තරා පුද්ගකයකු සමඟ ඇති වූ ලිංගික සම්බන්ධයක් නිසා මා හට මේ රෝගය වැලඳුණි. මම මෙයට ප්‍රතිකාර ලබා ගෙන සුව වූවත් නැවතත් එම තත්ත්වය වර්ධනය වී ඇත. ඒ නිසා මට මාගේ ජීවිතය තොර කර ගැනීමට පවා සිතෙයි. මෙය සුවකර ගැනීමට මා හට උදව් කරන්න.

 

පිළිතුර

 

මෙය ඇත්තෙන්ම ‘හියුමන් පැපිලෝමා’ කාණ්ඩයේ වයිරසයක් නිසා ඇතිවන තත්ත්වයකි. මෙය බෝ වෙන්නේ ලිංගික සබඳතාවක් නිසයි. මෙම රෝග තත්ත්වය මවකට ඇති විටක දරු ප්‍රසූතියේදී එය දරුවාටද වැලඳෙන්න 400කින් 1ක් වගේ අවදානමක් තියෙනවා. ඒ වගේම මෙම රෝගයෙන් පෙළෙන කාන්තාවක් වෙත් නම් ඒ අයට සාමාන්‍ය කාන්තාවකට වඩා ගැබ්ගෙල පිළිකා වැලඳීමේ අවදානමක් පවතිනවා.

රෝගය වැලඳුණොත් නිට්ටාවටම සුව කළ නොහැකියි. නමුත් ගැටිති ඉවත් කිරීම සඳහා ප්‍රතිකාර තියෙනවා. රෝග ලක්ෂණ ජීවිත කාලය පුරාම මතු විය හැකියි. මේ සඳහා මුඛ අනුසාරයෙන් ලබාදෙන ඖෂධ නැහැ. මේ සඳහා භාවිත කරනු ලබන්නේ රසායනික ආලේපන ක්‍රමයයි. ෆොඩොෆිලින්, TCA වැනි රසායනික මේ සඳහා ආලේප කරනු ලබනවා. අනෙක් ක්‍රමය තමයි, ‘ක්‍රයෝතෙරපි’ නම් ක්‍රමය. මෙහිදී ප්‍රතිකාර කෙරෙන්නේ දියර නයිට්‍රජන් වායුව භාවිතයෙනුයි. ගැටිති විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇත්නම් කලාතුරකින් ඒවා ඉවත් කිරීමට සැත්කම්ද සිදු කරනු ලබනවා.

කොහොම වුණත් මෙම ප්‍රතිකාර ක්‍රම තීරණය වන්නේ රෝගියා සිටින තත්ත්වය මතයි.

ගැටිති සුව වන තුරුම සායනයේදී සතිපතා ප්‍රතිකාර ගත යුතුයි. එසේම මෙවැනි රෝගීන් තම ලිංගික ප්‍රදේශ පිරිසුදුව වියළි ස්වභාවයෙන් තබා ගැනීම වැදගත්. එසේම අනිවාර්යයෙන්ම තමන් සමඟ ලිංගික සබඳතා පවත්වන පාර්ශ්වයද මෙවැනි අවස්ථාවක පරීක්ෂාවට ලක් කළ යුතුයි. ලිංගික ඉන්නන් හැදුණු කාන්තාවන් වසරකට වතාවක් ගැබ්ගෙල පරීක්ෂාවක් කර ගත යුතුයි.