Doctor door

මැයි 27, 2025

ඔබේ ගැටලුව අපට එවන්න

 

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නිරෝගීකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

උපදෙස් -

කායික රෝග

විශේෂඥ වෛද්‍ය

එච්.ඩී. විජේසිංහ

 

වැලමිට වේදනාවක්

 

ප්‍රශ්නය

42 හැවිරිදි මාගේ දකුණු අතෙහි වැලමිට ප්‍රදේශයේ වේදනාවක් පවතී. අත්ල දක්වාම ඇතැම්විට වේදනාව පැතිරේ. මෙයට කුමක් කළ යුතු ද?

 

පිළිතුර

වැලමිට ආශ්‍රිතව ඇතිවන මෙම තත්ත්වය ටෙනිස් එල්බෝ වශයෙන් හඳුන්වයි. මෙම රෝගයේදී වැලමිට පිට පැත්තේ වේදනාවක් දැනෙනු ඇත. එමෙන්ම වැලමිට පිට පැත්තෙන් අස්ථිමය නේරීමක් දක්නට ලැබේ. වැලමිට දිගහරින විට වේදනාව වැඩි වන අතරම එය අත්ල දක්වා පැතිරේ. ඔබ අත වෙහෙසා යම් කාර්යයක යෙදීමේදි මේ තත්ත්වය වැඩියෙන් දැනෙන්නට පටන් ගනියි. සමහරවිට මඳ වේදනාවක් ලෙසින් දැනී එයින් අනතුරුව යමක් අල්ලා ගැනීමට පවා අපහසු තරම් වේදනාවක් දැනෙනු ඇත. ඒ වගේම බොහෝ රෝගීන්ට වේදනාව දැනෙන ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමත් අපහසුයි.

 

මේ තත්ත්වය ඖෂධ සහ ව්‍යායාම මඟින් සුව කර ගත හැකිය. ඔසුසල්වලින් ලබාගත හැකි බ්රේස් පටි බැඳීමෙන් සහනයක් ලබා ගත හැකියි. මෙය දිගුකාලීනව පැවතීමෙන් ඔබේ දෛනික කටයුතුවලට බලපෑමක් ඇතිවිය හැකි නිසා නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.

 

 

නිතර ඇස් කසන්නේ ඇයි?

 

 

ප්‍රශ්නය

 

මාගේ දියණියට අවුරුරුදු 15කි. ඇය සති කිහිපයක සිට නිතර ඇස් කසයි. ඇතැම් අවස්ථාවලදී කඳුළු ගලයි. මෙය කිනම් රෝගයක් ද?

 

පිළිතුර

 

මෙය ඇති වන්නේ, නි‍ෙවසේ ඇති කරන සුරතල් සතුන් මාර්ගයෙන් ද, ආහාර මඟින් දුහුවිලි හේතුවෙන් ද ආදි තොරතුරු ගැන අවධානය යොමු කිරීම වැදගත්.

ඇස් කැසීම මූලික කරගෙන ඇතිවන මේ රෝගී තත්ත්වය අප බොහෝ දෙනෙක් හඳුනන ඇස් රෝගයට යම් සමානකමක් දැක්වුවත්, මේ එම රෝගය නොවේ. ඇස් කැසීම, ඇසෙන් කඳුළු ගැලීම, ඇස් රතුවීම, ඉදිමීම, කෙවීම වැනි අපහසුතා මේ රෝගයේදී අත්දකින්නට ලැබෙන රෝග ලක්ෂණයි. එනම් මෙය ඇස් කැසීම හා සම්බන්ධ අසාත්මික තත්ත්වයකි. තවද මෙය බෝ නොවන රෝගී තත්ත්වයකි. අප බොහෝ දෙනකු දන්නා ඇස් රෝගයේදී ඇස් රතු වීම කබ ගැලීම දක්නට ලැබෙන අතර, එය බෝවන රෝගී තත්ත්වයකි. Ocular allergy රෝගී තත්ත්වයේදී ඇසෙන් වැඩිපුර කඳුළු ගැලීම ද දැකිය හැකි වේ. මෙවැනි තත්ත්වයකදී ප්‍රතිකාර සඳහා අක්ෂි වෛද්‍යවරයෙකු වෙත දරුවන් යොමු කිරීම වැදගත්ය.

 

 

නින්දේදී අත් හිරිවැටෙනවා

ප්‍රශ්නය

මා 51 හැවිරිදි සිවුදරු මවක්. මාසයක පමණ කාලයක සිට නින්දේදි දකුණු අත හිරිවැටී ඇහැරෙයි. එසේ වූ විට අත යථා තත්ත්වයට පත්වීමට තරමක කාලයක් ගත වෙයි. එය මට මහත් අපහසුවක් ගෙන දෙන්නකි. මෙය ප්‍රතිකාර ලබා ගත යුතු තත්ත්වයක් ද?

 

පිළිතුර

 

මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පැරෙස්තීසියා (paresthesia) යනුවෙනි. අත් සිරුරට යටකරගෙන වැතිරී නිදාගැනීම , අත් හිසට යටින් තබාගෙන කොන්දට බරදී උඩු අතට හැරී නිදාගැනීම හෝ අත් අඹරවාගෙන පැත්තකට හැරී නිදාගැනීම ස්නායු වෙත අධි පීඩනයක් ඇතිකරවන සුළු දුර්වල නිදන ඉරියව් වේ. මෙම වැරදි නිදන ඉරියව් නිසා රුධිර ප්‍රවාහයට බාධා ඇතිවිය හැකි අතර ස්නායු පද්ධතිය පුපුරු ගසන සංවේදනයක් ඇතිකරවමින් ප්‍රතික්‍රියා කිරීමට පටන්ගනියි. මෙම සංවේදනය තමයි ඔබට ක‍ටු අනිනවාක් මෙන්  දැනෙන්නේ.