රම්පෙ පඳුරට විස ජලය එපා !

පෙබරවාරි 21, 2022

ගෘහණියගේ දැනුම  පොත

"මුළුතැන්ගෙට අත්‍යාවශ්‍ය රම්පේ පැළයක් හිටවන  නිවැරැදි විදිහ දැනගනිමු."

 

ගෙවත්ත වගා කරනවා කියනවාට වැඩිය කිචන් ගාර්ඩන් (kitchen Garden) කියන එකේ පොඩි ගැම්මකුත් තියෙනවා නේද? නිකම් පොෂ් වගේ ගතියක්. කොහොම හිතලා හරි කමක් නැහැ වැඩේ වෙනවා නම්...? ගිය සතියේ මම පෙන්වා දුන්නා වාගෙ සතියට එක ගානෙ වගා කළත් මාස දෙකක් යද්දි බෝග අටක් බවට පත් වෙලා.

ඒක හරිම සාධනීය තත්ත්වයක්. මම ඔබට යෝජනා කරනවා මෙය සතියට බෝග දෙකක් ලෙස ආරම්භයක් ගන්න කියලා. තවදුරට ගියොත් මෙය පවුලේ බැඳීම් වර්ධනය කරන සොඳුරු ව්‍යායාමයක් බවට පත් කර ගන්නත් පුළුවන්.

ඔබ රැකියාවක් කරන ගෘහණියක් නම් උදෑසන නිවෙසේ වාතාවරණය හරිම සංකීර්ණ එකක්. අනිත් අයට පැයක් දෙකක් කලින් අවදි වෙලා තේ පිළියෙල කිරීම, ඉවුම් පිහුම් ආදියේ නිරත වෙලා ඉන්න අතරේ,

“අම්මා... මගේ සපත්තු හේදුවාද...“ ඒ පුතා.

“මගේ ඇඳුම් මදින්නෙ නැද්ද...“ ඒ සැමියා.

“අම්මා... මගේ කොණ්ඩෙ ගොතන්නෝ...“ ඒ දුව.

ඔය දරුවො දෙන්නෙක් හිටියොත් විතරයි. ඔය අතරේ, ඔබ ඔබේ වැඩ ටික කර ගන්නත් ඕනෙ. මේ සියල්ල එක්ක වැඩට යන්නත් කලින් ම ඔබ හෙම්බත් වෙලා. ඔබේ වැඩවල අතපසුවීම්, මඟහැරීම්, නොසලකා හැරීම් සිදුවුණොත් කුටුම්භයේ සමස්ත යාන්ත්‍රණයම බිඳ වැටෙනවා. ඔබ තමයි පවුලේ සමාදාන විනිශ්චයකාරවරිය. ඔබ තමයි බන්ධන ශක්තිය, ඔබ තමයි පවුලේ නොසැලෙන ඉන්ද්‍රඛීලය... ඔබම තමයි පවුලේ දුක්ගන්නා රාල... අන්න ඒකට තමයි ‘මව්වත්කම‘ කියන්නේ. ඒක නැතිනම් අපේ දරුවන් ලැබූ පමණින් ‘අම්මා‘ කෙනෙක් වෙන්න බැහැ.

“මුදු ගුණය ඇති අය

දරුවන් ලැබිය යුතු වෙය“

බර්ටෝල් බ්‍රෙෂ්ට් හුණුවටයේ කතාවේ එහෙම සඳහන් කළෙත් අන්න ඒ මව්වත්කම ගැනයි.

අන්න ඒ හින්දා කාගෙ සහයෝගය නැතත් ඔබට මේ දේවල් කරන්නම වෙනවා. ඉතින් තව එක වැඩක් වැඩිවුණා කියලා එය ඔබට අමතර බරක් වෙන්නේ නැහැ. ඔබ ආරම්භයක් ගන්න.

ඉන් පස්සේ සැමියාගෙන්, දරුවන්ගෙන් ආදරණීය ඉල්ලීමක් කරන්න. ‘.....මට චුට්ටක් උදව් වෙන්න පැයක් දෙකක්...‘කියලා. ඕනම දෙයක ආරම්භය ටිකක් විතර අමාරුයි. හැබැයි තරමක් දුරට යද්දි එහි අමාරුවක් දැනෙන්නේ නැහැ. මේ වැඩෙත් එහෙමයි. ආරම්භය තමයි අමාරු.

Kitchen Graden එකේ ඔබේ අතින් ඉන්දවෙන පැළ ටිකෙන් ටික වැඩිලා ලොකු වෙද්දී අනෙක් අයටත් එහි වටිනාකම දැනේවි. අන්න එතකොට සැමියා, දරුවන් මේ වැඩේට සහයෝගය දෙන්න ඒවි.

ගෙදර දොරේ වියදම් දරුවන්ගෙන් හංගාගෙන කොහොම හරි කරන්න එපා. ජීවත් වීමේ අසීරුතාව, බර ඔවුන්ටත් දැනෙන්න අරින්න. එය ඔවුන්ගේ අනාගතයට හොඳ පූර්වාදර්ශයක් වනු නිසැකයි.

Kitchen Graden ගැන ලියන්න ගිහින් මේ අමතර කතා ගොඩක් කිව්වේ ඇයි දන්නවද? ඔබේ වටිනාකම ඔබටම තේරුම් කර දෙන්නටයි. කරපිංචා පැළෙන් පටන් ගත්තු වැඩේ දිගටම කරගෙන යමු හොඳේ.

එහෙනම් අද අපි එකේ වගාකරන්නේ මොන පැළයක්ද කියලා බලමු. අපේ මුළුතැන්ගෙට තවත් අත්‍යවශ්‍ය රසකාරකයක් තමයි රම්පෙ කියන්නෙ. රම්පෙ කියන්නේ රසකාරයක් විතරමද ?... නැහැ.... ආහාරයේ ඇති විස ද්‍රව්‍ය උරා ගැනීමේ අපූර්ව හැකියාවක් රම්පෙ සතුයි. අන්න එතැනදි හිතන්න කාරණාවක් තියෙනවා. ආහාරයේ වගේම රම්පේ පඳුරට සපයන ජලයේ ඇති විස රසායනත් එය උරා ගනු ලබනවා. එවැනි තැනක වැඩුණු රම්පෙ ආහාරයට දැම්මාම එහි ඇති විස රසායන ආහාරයට එකතු වෙනවා.

අපි බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නෙ මුළුතැන්ගෙය, නාන කාමරය, රෙදි සෝදන යන්ත්‍රය ආදියේ ඉවත ලන ජලය රම්පෙ පඳුර තියෙන කුඩා වළකට යොමු කරන්නයි.

මොකද කිව්වොත් රම්පෙ කියන්නේ ජලයට ප්‍රිය, තෙතමනය හොඳින් තිබෙන තැනක වැඩෙන ශාකයක් නිසයි. ඔබේ ගෙවත්තේ රම්පෙ පඳුරක් දැනටමත් තියෙනවා නම්, තිබෙන්නේ අර කිව්ව විදිහේ තැනක නම් වහාම වෙනත් තැනත රෝපණය කර පිරිසුදු ජලයන් පමණක් පෝෂණය කරන්න.

එවිට ගුණදායි රසකාරකයක් ඔබට ලැබේවි. නිරන්තරයෙන් තෙතමනය හොඳින් තිබෙනවා නම් රම්පෙ පැළයකට වැඩි ආලවට්ටම් අවශ්‍ය නැහැ නිකම්ම වළක් කපල ඇනල දැම්මත් හොඳින් වැඩෙනවා. හොයා ගන්න බැරි නම් පැළ තවාන්වලින් සුළු මුදලකට මිලදී ගන්නට පුළුවන්.

ලබන සතියේ Kitchen Graden එක හැදීමේ තවත් පියවරක් ගැන දැනුවත් වෙමු.

 

උපදෙස් -

අජන්ත ජයසේකර