හැමෝම ආස කරන Love Cake

අප්‍රේල් 4, 2022

 

 

‘ලව් කේක්' කියන්නේ කවුරුත් රස බලන්න කැමැති කේක් වර්ගයකි. කේක් අලෙවි කරන වෙළෙඳසල්වල ඉහළ මිලකට අලෙවි වන ලව් කේක් ඔබට පහසුවෙන් ම නිවෙසේ දී මෙලෙස සකසා රස බලන්න පුළුවන්. අලුත් අවුරුද්දේ රස කැවිල්ලක් තේ පැන් සංග්‍රහයකටත් මේ රසැති ලව් කේක් කදිම තෝරාගැනීමක් වනවා නිසැකයි. ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ලව් කේක් මෙලෙස සකසා ගන්න.

 

අවශ්‍ය දේවල්

 

රුලං ග්‍රෑම් 250ක්

බටර් ග්‍රෑම් 250ක්

සීනි ග්‍රෑම් 250ක්

බිත්තර 6ක්

කජු ග්‍රෑම් 200ක්

පුහුල් දෝසි ග්‍රෑම් 130ක්

රෝස් එසන්ස් තේ හැඳි 1ක්

ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1ක්

වැනිලා තේ හැඳි 1ක්

මී පැණි මේස හැඳි 2ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/2ක්

සාදික්කා කුඩු තේ හැඳි 1/2ක්

ලෙමන් ගෙඩි එකක පොත්ත ග්‍රේට් කරලා තේ හැඳි 1ක් පමණ

 

සාදන ආකාරය

 

මුලින්ම කජුවලින් කොටසක් (ග්‍රෑම් 150ක් පමණ) සිහින්ව කපාගන්න, කොටසක් (ග්‍රෑම් 50ක්) කුඩු කරගන්න. පුහුල් දෝසිත් පුංචිම කැබලිවලට කපාගන්න. බිත්තර සුදු මද කහ මද වෙන් කරගන්න. කපාගත් කජුවලට එසන්ස් වර්ග එකතුකර ටික වෙලාවක් තියන්න. රුලං ටික යන්තම් බැදගන්න, එහි රස්නය තියෙද්දීම එයට බටර් එකතුකර කලවම් කරගන්න. එයට කුරුඳු කුඩු හා සාදික්කා කුඩු එකතු කරන්න. බිත්තර සුදු මද හිම වගේ වෙනතුරු බිට් කරන්න. බිත්තර කහ මදවලට සීනි එකතුකර බිට් කරගන්න. සීනි සහ කහ මද මිශ්‍රණයට රුලං මිශ්‍රණය එකතුකරමින් හොඳින් කලවම් කරන්න. එයට කුඩු කරගත් කජු, සිහින්ව කපාගත් කජු, පුහුල් දෝසි එකතුකර හොඳින් කලවම් කරන්න. දැන් එයට පැණි එකතු කරන්න, ලෙමන් පොතුත් එකතුකර කලවම් කරන්න. බිත්තර සුදු මද ටික ටික එකතු කරමින් ෆෝල්ඩ් ආකාරයට කලවම් කරගන්න. පෙර රත්කරගත් අවන් එකක සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයෙන් විනාඩි 50ත් 60ත් අතර කාලයක් බේක් කරගන්න. අවන්වල උෂ්ණත්වය වෙනස් වෙන නිසා විනාඩි 50ක් වෙද්දී ටුත් පික් එකකින් බේක් වෙලා ද කියලා බලන්න. බේක් වුණු පසු පිටතට ගෙන නිවුණාට පසු අයිසිං සීනි ඉස පිළිගන්වන්න.

 

උපදෙස් සහ ඡායාරූප -

ඉතාලියේ පර්මාහි ප්‍රවීණ සූපවේදිනී

ජනනී ගුරුසිංහ

 

ලාවුලු අයිස් පලම්

රසවත් අතුරුපසක් සකසා පවුලේ ඇත්තන් සතුටු කරන්න කැමැති ද? මෙන්න ඒ සඳහා ලාවුලු අයිස් පලම්. මේ ගිනිගන්න පායන කාලේ පිපාසය සංසිඳවීමටත් අයිස් පලම් අපූරුයි.

 

අවශ්‍ය වන්නේ

 

හොඳින් ඉදුණු ලාවුලු ගෙඩියක්

ලුණු හා සීනී ඔබේ රස අනුව

වැනිලා අයිස්ක්‍රීම් මේස හැන්දක්

අයිස් කැට

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 2ක්

 

හදන්නේ මෙහෙමයි

 

සෝදා ඇටය ඉවත් කරගත් ලාවුලු මදය, අයිස් කැට, ෆ්‍රෙෂ් මිල්ක්, ලුණු හා සීනි සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරන්න. දැන් එය ජෝග්ගුවකට පෙනේරයකින් පෙරා ගන්න. වැනිලා අයිස්ක්‍රීම් එකතු කර හැන්දකින් කලවම් කරන්න. මිශ්‍රණය පොප්සිකල් මෝල්ඩ් එකකට දාලා පැය 5ක් පමණ අධි ශීතකරණයේ තබා රස විඳින්න. ලාවුලු කෑමට අකැමැති අයත් මේකට නම් කැමැති වේවි.

 

 

උපදෙස් හා ඡායාරූප - සූපවේදිනී තිලානි විතානගේ