දරුවන්ට නිතර නිතර පහර දීමෙන් ඔවුන්ගේ මානසික මට්ටම බිඳ වැටෙන බව දන්නවාද?

මැයි 31, 2021

 

පුංචි දරුවන් මල් වගේ. ඔවුන්ගේ පුංචි හිත්වලට පුංචිම දුකක්වත් දරා ගන්න අපහසුයි. ඉතිං දරුවන් සමඟ එදිනෙදා කටයුතු කරද්දී මව්වරුන් ලෙසත් වැඩිහිටියන් ලෙසත් අපි හරිම පරෙස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම කාර්යබහුල ගෘහණියක් නම් දරුවා අතින් සිදුවන පුංචි වැරැදිවලට පවා කේන්ති ගන්නේ ඒ කාර්යබහුලත්වය නිසා විය හැකියි. එවැනි අවස්ථාවල බැණ වැදීමටත් සමහරවිට පහර දීමටත් ඔවුන් කටයුතු කරනවා. නමුත් එසේ කේන්ති ගෙන නිතර දරුවන්ට පහර දෙන්න ගියහොත් දරුවන්ගේ මානසික මට්ටමට එය විවිධාකාරය බලපෑ හැකියි.

දරුවන් සමඟ කටයුතු කරන විට විවිධ ගැටලුවටල මුහුණ පෑමට සිදුවෙනවා තමයි. ඒත් එවැනි අවස්ථාවල බුද්ධිමත්ව තටයුතු නොකළහොත් එය දරුවන්ගේ අනාගත ජීවිතයට අහිතකර ලෙස බලපාන්නට පුළුවන්. ඒ නිසා එවැනි ගැටලුවකට ඔබත් මුහුණ පාමින් සිටිනවා නම් ලියන්න තරුණීට. ඔබේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න තරුණී නිරතුරුවම සූදානමින් සිටිනවා.

අපගේ ලිපිනය

'කියන්න බැරි දේ ලියන්න',

තරුණී, ලේක්හවුස්,

කොළඹ -10.

 

ප්‍රශ්නය

මම 24 වියැති තරුණියක්මි. මෙය මාගේ සහෝදරියක පිළිබඳ ගැටලුවකි. ඇය විවාහකයි. වයස අවුරුදු 6 සහ 8 වයස්වල දරුවන් දෙදෙනෙක් ඇයට සිටී. ඇයගේ සැමියා ව්‍යාපාරිකයෙක්. මා සිටින්නේත් ඔවුන්ගේ නිවෙසේමයි. කෝවිඩ් වසංගත තත්ත්වයත් එක්ක පාසල් නිවාඩු ලැබී ඇති නිසා දරුවන් දෙදෙනාත් මේ දිනවල නිවෙසටම කොටු වෙලා. ඒ නිසා ඔවුන් පුංචි පුංචි දඟ වැඩ කරනවා. මාගේ වැඩිමල් සහෝදරිය, එසේත් නැතිනම් දරුවන්ගේ මව නිතරම දරුවන් සමඟ කෝප ගෙන දරුවන්ට පහර දෙයි. සැම විටම දරුවන් සමඟ නොරුස්සන ලෙස හැසිරෙයි. දිනපතාම මේ සිදුවීම් දෙස බලා සිටීම මා හට අපහසු බවක් ගෙන දෙයි. දරුවන්ට නිතර පහර දීමෙන් ඔවුන් තව තවත් මුරණ්ඩු වී අධ්‍යාපන කටයුතුවල පවා උනන්දුවෙන් නොකරයි. මෙලෙස නිතර දරුවන්ට පහර දීමෙන් ඔවුන්ගේ මානසික මට්ටම දුර්වල වනවා ද? සොයුරියගේ මේ හැසිරීමට කුමක් කළ යුතු ද?

පින්නවල - හසිනි

පිළිතුර

දරුවන්ට, ඔවුන්ටම අනන්‍ය වූ සිතුම් පැතුම් ගති සිරිත් තියෙනවා. හරියට වැඩිහිටියකුට වගේම. ඉතිං කුඩා දරුවකුට මොනයම් කාරණාවකට හරි පහර දුන්නම ආපසු පෙරලා පහර දෙන්න තරම් ශරීර ශක්තිය නැති දරුවෝ ඒක මානසිකව දරා ගන්නවා. පහර දීමෙන් දරුවකුගේ මනසට සිදුවන හානිය ඉතා වැඩියි. කෝවිඩ් තත්ත්වයත් එක්ක දරුවන්ට නිවෙසටම වී සිටීමට සිදුව ඇති නිසා මේ දිනවල බොහෝ නිවෙස්වල මෙවැනි සිදුවීම් වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. මේ නිසා කෝවිඩ් අවසන් වෙද්දී දරුවන්ට මානසික ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වෙන්න පුළුවන්. ඒ නිසයි මවක් වගකීමෙන් කටයුතු කළ යුතු වන්නේ.

*මෙලෙස පහර දීමෙන් දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ වැටේ

කුමක් හෝ වැරැද්දක් කළ විට ඔබ දරුවාට පහර දෙනවා නම් ඒ දරුවා තමන්ගේ ආත්ම විශ්වාසය බිඳ ගන්නවා. එයින් දරුවා තුළ ඇති වෙන්නේ මොන දේ කරන්න ගියත්, මට වරදින්න පුළුවන්, මට ගුටි කන්න වෙයි හෝ මට මේක කරන්න බැහැ වගේ පසුගාමී සිතිවිලි. නිතරම තමන් කරන දේ හරිදෝ කියන චංචල සිතුවිල්ල දරුවා තුළ ඇති වෙනවා.

තමන්ට වඩා දුර්වලයන් මත ප්‍රචණ්ඩත්වය පැතිරවීම තමන්ට පහර දෙනකොට දරුවාට

 

ඊට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. ඉතිං දරුවා හිතනවා මට ආපහු ගහන්න බැරි නිසා, මං පොඩි නිසා තමයි මට ගහන්නේ කියන කාරණාව. එතකොට දරුවා පුරුදු වෙනවා තමන්ට වඩා දුර්වලයන්ට රිද්දන්න.

උදාහරණයක් විදිහට බාල සහෝදරයන්ට, තමන්ට වඩා පොඩි යහළුවන්ට වගේම ගෙදර ඉන්න බල්ලාට, පූසාට හිරිහැර කරන්න ඔවුන් පෙළඹෙනවා. මොකද නැවත පෙරලා හිරිහැර කරන්න තමන්ට වඩා දුර්වල කෙනෙක් එන්නෙ නැති කියන කාරණාව දරුවගේ හිතේ තියෙන නිසා. ඔවුන් තමන් පහර කෑමෙන් ලැබෙන වේදනාව, පීඩනය එමඟින් පිට කර ගන්න පුරුදු වෙනවා. මෙවැනි දරුවන් මුළුගැන් වෙන අතර නිතර පහර කන දරුවා නිතර ම ඉන්නේ බයෙන් ඒ වගේම සැකෙන්. කොයි මොහොතේ තමන්ට ගුටි කන්න වේ ද කියා විමසිලිවීමත්ව හැර ඔවුන් වෙන දේකට යොමු වන්නේ නැහැ. ඒ වගේම හැමෝගෙන්ම හැංගිලා ඉන්නත් මේ දරුවන් කැමැතියි. එතකොට තමන් වෙත තියෙන වැඩිහිටි අවධානය අඩු වෙනවා කියලා මේ දරුවන් හිතනවා. ඒ වගේම පහර දීම් තුළින් දරුවා තුළ ඇති වන ලැජ්ජාව ඔවුන් සමාජයෙන් සැඟවිලා ඉන්න මුල් වෙනවා. මිතුරන්ට ගුරුවරුන් ට අසල්වැසියන්ට මුහුණ නොදී තනියම පැත්තකට වෙලා ඉන්නයි ඔවුන් නිතරම කැමැති.

*මුරණ්ඩු බව

පහර කෑම දරුවකු තුළ මුරණ්ඩු සිතුවිලි ඇති වෙන්න ප්‍රධානම හේතුවක්. වරදක් කළාම ගහන බව දන්නා දරුවාට ගුටි කන එක සාමාන්‍ය දෙයක් වෙනවා. තවදුරටත් පහර දීම ඔහු තුළ බියක් දන වන්නේ නැහැ. හැබැයි මනසින් ලොකු පීඩාවක් විඳිනවා. මේ පීඩාව දරුවා පිට කර ගන්නේ තව තවත් වැඩිහිටි අවවාද නොතකා හැරීම සහ ඔවුන් කේන්ති ගැස්වීම තුළිනුයි.

 

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ

විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ