ගෑනු ළමයෙක් හරියට වීදුරු බඩුවක් වගේ පරිස්සම් වෙන්න ඕනේ

ජූලි 28, 2021

 

හැම තරුණ දියණියකට ම හොඳ හික්මීමක්, ශික්ෂණයක් තිබිය යුතුයි

අපේ සංස්කෘතිය තුළ මවකට ඉතා ඉහළ වටිනාකමක් තියෙනවා

 

ඔන්ලයින් ක්‍රමයෙන් අධ්‍යාපනය ලබාදීම පිළිබඳ සිසු සිසුවියන් මෙන්ම මව්පියන් ද දැනගත යුතුම කරුණු ගැන කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පති
සඳමාලි අවිරුප්පොල මහත්මිය රැගෙන එන උපදෙස් මාලාවේ පස්වැන්න

ලොකු කුඩා සෑම සියලුදෙනාම භීතියට පත්කරමින් කොරෝනා වසංගතය මුළු ලෝකයම ගිලගෙන හමාරයි. ඒ නිසාම ඇතිවූ ආර්ථික අවපීඩනය සේම සමාජීයය, මානසික පසුබෑම වෙනත් රටවල මෙන්ම මෙරටට ද ඉමහත් බලපෑමක් ඇති කළේය.

 

විශේෂයෙන්ම හෙට දවසේ මෙරට අනාගතය බාර ගැනීමට සිටිනා මල් කැකුළුවන් අපේ ළමා පරපුර සේම තුරුණුවියේ පසුවන ජවයෙන් පිරිපුන් තරුණ පරපුර ද මේ හමුවේ යම් තරමක අකර්මණ්‍ය භාවයට පසුබෑමකට පත් විණි.ඒ සමගම වසංගතය හමුවේ අපිට මුහුණ දීමට සිදු වූ අනෙක් අපහසුතාව බවට පත් වන්නේ ළමා පරපුරෙන් තරමක් දුරට ඈත් කරන්නට සිදු වූ පරිගණකය සහ අන්තර්ජාල පහසුකම් ඔවුන් වෙත ළං කරවීමට සිදුවීමයි.

 

රටක් වශයෙන් කෙසේ හෝ ලෝකයේ පවත්නා නව ප්‍රවණතාවයන්ට මුහුණ දීමට අපට සිදුවේ. එහිදී දරුවන් සහ තරුණ පිරිස සමඟින් ගනුදෙනු කිරීම ඉතාමත් පරෙස්සමට කළ යුත්තකි.

ඉතින් අද දවසේ අපගේ මාතෘකාව බවට පත්වන්නේ මේ නව ප්‍රවණතා හමුවේ තරුණ දියණියන්ගේ හැසිරීම් රටාව පිළිබඳයි. ඒ ඇසුරේ කටයුතු කළ යුතු ආකාරය කෙබඳුදැයි අද අපි විමසා බලමු.

 

මෙරට ප්‍රධාන පෙළේ බාලිකා පාසලක විදුහල්පතිනියක ලෙසින් ඔබතුමිය වඩාත් සමීපවන්නේ අපගේ ගැහැනු දරුවන් සමඟයි. එහිදී තරුණ ගැහැනු දරුවන් සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය අත්දැකීම් ඇසුරෙන් පහදන්න.

 

" අද අප ගෙවමින් ඉන්නේ සෑම අංශයකම නව ප්‍රවණතාවයන් ගොඩනැගෙමින් කාලීනව වෙනස්වෙමින් යන යුගයක්. රටක් වශයෙන් ගත්තම ආර්ථික, සමාජයීය, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික, තාක්ෂණික ආදී සෑම ක්ෂේත්‍රයක්ම නව ප්‍රවණතා සමඟ ඉදිරියට ගමන් කරමිනුයි ඉන්නේ.

මෙවැනි යුගයක තරුණ දියණියක විචක්ෂණශීලීව හැසිරීම ඉතාම වැදගත්. සිදුවන හැම ප්‍රවණතාවයක් ගැනම හොඳ

අවබෝධයකින් සිටිය යුතු වෙනවා. කුමන හෝ ක්ෂේත්‍රයක වේවා කාලීනව සිදුවන වෙනස්කම් ගැන මනා වැටහීමක් තරුණ දියණියකට තිබිය යුතුයි. ඒ සඳහා පොත පතෙන් ලබන දැනුම වගේම සමාජ අවබෝධයත් වැදගත්. තමන් විද්‍යා, ගණිත, කලා වාණිජ මොන විෂය ධාරාව හැදෑරුවත් විෂය දැනුමට එහා ගිය සමාජ අවබෝධයක් දියණියකට අවශ්‍යයි. එවිට

තමයි හොඳ ජීවිත අවබෝධයක් ලැබෙන්නේ."

 

අද දියණියක් කියන්නේ හෙට දවසේ ඇය මවක්.

 

" ඇත්තටම ඔව්. අද දියණියක් කියන්ෙන හෙට මවක්. අපේ සංස්කෘතිය තුළ මවකට ඉතා ඉහළ වටිනාකමක් තියෙනවා. එනිසා හැම දියණියක්ම අනාගතයේ කුමන වෘත්තීය භූමිකාවකට ඇතුළු වුවත් මාතෘ භූමිකාවට ගැළපෙන දයාව, කරුණාව, ඉවසීම, ආදරය යන උතුම් ගුණාංග උපයා ගත යුතුමයි."

 

ඒ උතුම් මාතෘත්වයේ කිරුළ හිස පලඳින්නට සිටින ගැහැනු දරුවන් වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව සිටින අවස්ථා ද අපට දකින්නට ලැබෙනවා.

 

" අද දවසේ ලෝකයේ අධි තාක්ෂණික දියුණුවත්, මුදල් පසුපස හඹා යෑමත් සමඟ කාන්තාව පවා වෙළෙඳ භාණ්ඩයක් බවට

පත්වෙන අවස්ථා තිබෙනවා. ඇතැම් විට දැන හෝ නොදැන ගැළපෙන නොගැළපෙන වෙළෙඳ ප්‍රචාරණවලට කාන්තාව අසුවන්නට පුළුවනි. ඉස්සර අපේ වැඩිහිටියෝ පැවසුවේ " ගෑනු ළමයෙක් හරියට වීදුරු බඩුවක් වගේ පරිස්සම් වෙන්න ඕනේ " කියලයි.

තමන් අවට සිදුවන දේ පිළිබඳ හොඳ අවබෝධයකින් දියණියක ජීවත් විය යුතුයි. සුදුසු දේ තෝරා ගැනීමට, නුසුදුසු දේ බැහැර කිරීමට, නොගැළපෙන දේ නොබියව ප්‍රතික්ෂේප කිරීමට ශක්තියක් හැම දියණියක්ම ගොඩනගා ගන්න ඕනෙ. හරි දේ වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත් වීමටත්, නොගැළපෙන වැරැදි දේ නිවැරැදි කිරීමටත් හැකියාව ගොඩනගා ගත යුතුයි. මිතුරු මිතුරියන්, පවුලේ සියලුදෙනා සහ තමාගේ අවට සමාජයේ හැමදෙනා සමඟම සුහදව ජීවත් විය යුතුයි.

ඇත්තටම දියණියකට මේ කාලය තමයි ජීවිතයේ සුන්දරම අවධිය. ඒ නිසා ඒ සුන්දරත්වය අනාගතයේ දී මතක් කරලා සතුටු වෙන්න පුළුවන් විදිහට ගත කරන්න හැම දියණියක්ම වගබලා ගන්න ඕනෙ.

මේ කාලයේ ඔබේ සිත් චංචලයි. නිතර ඒ මේ අත දිව යනවා. අයාලේ යන්නට නොදී ඔබේ සිතිවිලි හසුරවා ගැනීම හැම දියණියකගේම වගකීමයි.

මේ ලෝකේ ඔබට වැඩියෙන්ම ආදරේ කරන්නේ ඔබේ අම්මයි තාත්තයි බව මතක තබාගන්න. ඒ නිසා එක එක අතට කැරකෙන දිය සුළිවලටවත්, සැඩ පහරවලටවත් අහුවෙන්නැතුව ඔබේ ජීවිතය මේ කාලෙ නිදහසේ ගලාගෙන යන්න දෙන්න. ජීවිතය ලස්සන වෙන්නෙ එතකොටයි.

එහෙම නැත්නම් ඔබට අතීතය අමිහිරි මතකයක් පමණක් වෙයි.

හැම තරුණ දියණියකටම හොඳ හික්මීමක්, ශික්ෂණයක් තිබිය යුතුයි. කෙනකු බාහිරින් බලලා දෙන විධානයකට අනුව ඒ වෙලාවට හැඩගැසීම සිදු නොවිය යුතුයි. තම ඇතුළාන්තයෙන් එන හික්මීම තමයි වැදගත් වෙන්නේ.

හැම ආගමික ඉගැන්වීමකම කාන්තාවන්ගේ ශික්ෂණයට ඉහළ වටිනාකමක් දෙනවා.

වෙනස්වන ලෝකයට ගැළපෙන ලෙස හැඩගැසීම අද දවසේ දියණියකගේ හැසිරීමේ තිබිය යුතුම අංගයක්.

හැබැයි මේ හැඩගැසීම ධනාත්මක වාගේම සදාචාරාත්මක එකක් වෙන්න ඕනෙ. හැම දියණියක්ම පියකරුව, නිරෝගීව, ශක්තිමත්ව, සෞඛ්‍ය සම්පන්නව සිටීමත් ඉතා වැදගත්. ඒ සඳහා පෞද්ගලික ස්වස්ථතාව, ආහාර

රටාව ක්‍රීඩා සහ ව්‍යායාම, අධ්‍යාත්මික යහපැවැත්ම ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

ඒ වාගේම සෑම දියණියක්ම මානුෂික ගුණාංගවලින් පිරි ප්‍රඥාවන්ත සදාචාර සම්පන්න, ක්‍රියාශීලී විය යුතු සේම ඇය සෙනෙහස සහ දයාව පිරුණු හදවතකින් යුක්ත දියණියක විය යුතුමයි.