පාසල් යන එන මඟතොට ඔබ හැසිරිය යුත්තේ කොහොමද?

මැයි 2, 2022

 

මනෝ උපදේශිකා

අමා දිසානායක ආදරණීය දියණිය වෙනුවෙන් හෙළි කරදෙන හෙට දිනන මඟ

 

දුවේ පුතේ, ඔයා මේ ලෝකයට බිහි වෙන්නත් කලින්ම මේ සමාජය ඔයා ඉන්න ඕන විදිය තීරණය කරලා ඉවරයි. ඔබටත්, මටත් අප සියල්ලන්ට එය පොදු ක්‍රමයක්. එයින් හැඟවෙන්නේ අප සැමදෙනාම යම් සමාජ ක්‍රමයකට අනුගත විය යුතු බවයි. නැතිනම් මේ සමාජයේ පැවැත්මට එය බාධාවක්. විශේෂයෙන්ම පාසල් යන දූ දරුවන්ගෙන් සමාජය අපේක්ෂා කරන චර්යා රටාවක් තිබෙනවා. මුළු මහත් සමාජයේම ඇස් ඔවුන් කෙරේ විවෘතව පවතින්නේ එනිසයි. ඒ කියන්නේ ඔබ ඔබගේ අරමුණ පසුපස හඹායනවා සේම සමාජයේ අපේක්ෂා ඉටු කිරීමටද නිරායාසයෙන් බැඳී සිටින බවයි.

 

අද අප ඔබ සමඟ කතා කරන්නට යන්නේ පාසල් යන එන මඟතොට ඔබේ හැසිරීම හැඩ ගස්වා ගන්නේ කෙසේද යන්නයි. පාසල් කාලය කියන්නේ දරුවකුගේ ජීවිතයේ සුන්දරම අවදියයි. ඒ වගේම එය සමාජයක් බිහි කරන අවදියයි. අද පාසලේ හැදී වැඩෙන දරුවා අනාගතයේදී සමාජය භාර ගන්න පුද්ගලයා බවට පත් වේ. පාසල් ජීවිතය දරුවකු තනිවම තීරණ ගන්නා දැනුම් තේරුම් ඇති අවදියයි. මේ නිසා යොවුන් ඔබ නිවැරැදි අවස්ථාවේදි නිවැරැදි තීරණයට එළඹුණේ නැතිනම් අනාගතය අඳුරට යනවා. ඔබට පාසලේදී මෙන්ම මඟතොටදී ද හිතුමතේ අසංවරව හැසිරීමට පුළුවන්කමක් නැහැ. සමාජය කිසිසේත් එය අනුමත නොකරන අතර ඔබ සමාජයෙන් ප්‍රතික්ෂේප වීමට එය හේතුවක් විය හැකියි.

ඔබ පාසල් සහ අමතර පන්තිවලට සහභාගිවීම සඳහා තෝරා ගන්නේ පොදු ප්‍රවාහන (දුම්රිය හෝ බස්රිය), පෞද්ගලික වාහනයක් හෝ කුලී රථයක විය හැකියි. මේ කුමන මාර්ගයක් තෝරා ගත්තද ඔබගේ හැසිරීම් චර්යා හොඳින් පාලනය කර ගැනීමට ඔබ වගබලා ගත යුතුයි. පාරේ බසයේ ඔබ යනඑන විටදී කොන්දොස්තර මහතා හෝ වෙනත් වැඩිහිටියකු ඔබට 'ජනේලයෙන් එළියට හිස යොදන්න එපා, ඉස්සරහට ගන්න, පඩියෙන් උඩට යන්න' වැනි දෙයක් කියූ විට ඔබ ආවේගශීලී නොවිය යුතුයි. ඔබ ළමයෙක් ලෙස ඒ අවවාද වලට අවනත විය යුතුයි. බසය තුළ කෑකෝ ගසමින් සද්දෙන් හිනාවෙලා තව කෙනකුට අසා සිටීමට අපහසු තරම් වචන කියමින් හැසිරෙන්නට එපා. එයින් හානි වන්නේ ඔබටමයි. එවිට අවට සමාජය ඔබව අසංවර තරුණියක් ලෙස දකියි.

ඒ වගේම ඔබ මේ යනඑන මඟතොට්දී හොඳ නිරීක්ෂකයකු වන්න. බොහෝ වෙලාවට ඔබට කරදර සිදු වෙන්නෙ තමන් දන්න කියන පුද්ගලයන්ගෙන්මයි. හොඳම යහළුවා වුණත් ඔබව වැරැදි චර්යාවකට යොමු කරන්න පුළුවන්. ඔබ හොඳම මිතුරිය ලෙස ඇසුරුකරන කෙනා වුවත් තව කෙනකුගේ ගොදුරක් වෙන්න පුළුවන්. සුන්දර මලක් ඇතුළෙ වුණත් විස තියෙන්න පුළුවන් වගේ සමාජයේ සිටින අය හැම කෙනාම හොඳ අය නොවේ. එහෙත් ඔබට පුළුවන් වෙන්න ඕන තව කෙනකුගේ ගොදුරක් නොවී ප්‍රවේසම් වන්න. මේ සඳහා ඔබ සතුව ගොඩ නැඟුණු සමාජ ඉවක් තිබීම අවශ්‍යයි. එය ගොඩනැඟෙන්නේ නම් ඔබ සෑම විට විචාර බුද්ධියෙන් කටයුතු කරාවි.

පොදු ප්‍රවාහන සේවය කියන්නෙත් විවිධ සමාජ මට්ටම්වල පුද්ගලයින් මුණ ගැසෙන තැනක්. ඉතින් ඔබ පාසලට යනඑන අතරතුර ඒ පුද්ගලයින් හොඳින් නිරීක්ෂණ කරන්න හොඳින් මතක තියා ගන්න. පොදු ප්‍රවාහන සේවය කියන්නෙ මිනිස්සු ඔබව දකින, ඔබව මනින තැනක්. ඔබේ වැරැදි හැසිරීම් චර්යා තුළින් ඔබේ ගරුත්වයටත්, ඔබේ මව්පියන්ටත් ඔබේ පාසලේ කීර්තියට ද සෘජුව බලපානවා.

කුලී රථයක ගියත් ඔබේ හැසිරීම් චර්යාව ඉතා වැදගත්. ඇතැම් වෙලාවට සමාජය කියන දෙයක් තමයි මේ කුලී රථවල යන ළමයින්ගේ හැසිරීම ඉතා පහත් මට්ටමක තියෙනවා කියලා. ඉතින් ඔබ හිත්නනේ ඔබ ගැන සමාජය කෙතරම් පරීක්ෂාවෙන් ඉන්නවද කියලා. විශේෂයෙන් මේ හැසිරීම් ඔබේ වට්නාකම මව්පියන්ගේ පාසලේ වටිනාකම පහළට ඇද දමනවා. ජීවිතය ගැන වගකීමෙන් සිතන්න පුළුවන් අවධියක ඔබ ඉන්නෙ. ඔබ හැදුණොත් සමාජයම ඉබේටම හැදෙනවා.

ඔබේ ගෙදර වාහනයක ගියත් ඔබ අම්මා තාත්තට බල කරන්න එපා මාර්ග නීති කඩකර වෙලාවට පාසල ළඟට ගෙන යන්න කියලා. එම ගමනේදී ප්‍රමාදයක් වනවා නම් මොනතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවත් වේලාසනින් අවදි වී වෙලාවට යාමට කටයුතු කරන්න. මේ කුමන ආකාරයට ඔබ පාසල් ගියත් ඔබගේ හැසිරීම් හා කාලය ඉතා වැදගත්. හැකි සැමවිට මේ යන එන මඟතොට ගෙවෙන කාලයත් ඔබේ අධ්‍යාපන කටයුතු දායක කර ගන්න. පොතක් කියවන්න. එහෙම නැත්නම් මඟ දෙපස වෙන දේවල් බලා හොඳ නිරීක්ෂකයෙක් වන්න. හොඳ රේඩියෝ චැනලයක් සුසර කරගෙන සවන් දෙන්න. අමතක වුණ සටහන් බලා ගන්න. විභාග ප්‍රශ්නයකට උත්තර සැලසුම් කරන්න. උදෑසන අවදි වෙලා පාසල් එනවා නම් ඒ මඟ හැරුණ නින්ද ලබා ගන්නටත් ඔබට පුළුවනි.

ඔබේ මව්පියන් ඔබට වියදම් කරන්නෙ ඔබව රැකබලා ගන්න ගොඩක් දුක් මහන්සි වෙලා. ඔවුන්ගේ දාඩිය කඳුළුවලට සාධාරණයක් කරන්න. ඒ සඳහා කළයුත්තේ හොඳින් ඉගෙනගෙන විභාගය ඉහළින් සමත්වීමය. මේ සඳහා පූර්ව සූදානමත් දරුවකුට ඉතා වැදගත්. කල්වේලා ඇතුව පාසලට යන්න. වැඩ සැලසුම් කර ගන්න. ඔබ අධ්‍යාපනය අවසන්කර තරුණියක් ලෙස ජීවිතයට මුහුණ දෙද්දී මේ දේවල් වැදගත්. මේ ආකාරයට ඔබේ වටිනාකම් මව්පියන්ගේ වටිනාකම්, ඔබේ පාසලේ වටිනාකම් රැකගෙන ඔබේ අධ්‍යාපන වටිනාකම රැකගෙන ඔබේ අධ්‍යාපන අරමුණු කරා සාර්ථකව ළඟාවීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වේ. නිරන්තරයෙන් ඔබ මතක තබා ගත යුතුම දේ නම් ඔබ මේ සියලු ධෛර්යය යොදවන්නේ ඔබේ අධ්‍යාපන ගමන ඔබේ අධ්‍යාපන අරමුණ ජය ගැනීමට වග. ඒ සඳහා ඔබට කළහැකි උපරිම දෑ සිදු කිරීමට පසුබට නොවන්න.