පවුලේ වගකීම නොපිරිහෙලා ඉටුකරන මවක් වන්න

ඔබේ දරුවාගේ මිතුරා/මිතුරිය ඔබම වන්න
පවුලටම ගෘහවිද්‍යාව
අගෝස්තු 8, 2022

 

ගෘහණියට, මවට, තරුණියට පමණක් නොව කොයි කාටත් එක සේ වැදගත් යාවජීව විෂයයක් ගෘහ ආර්ථික විද්‍යාව. එබැවින් පවුලේ දියුණුවට මේ දැනුම යොදා ගැනීම ආදරණීය බව සතුයි.

 

පෝෂණ අවශ්‍යතා විවිධයි

අපේ පවුල පිළිබඳ සලකා බලන විට විවිධ තරාතිරම්වල, විවිධ අවධිවල සාමාජික, සාමාජිකාවන් ඉන්නවා. ඒත් ඔබ ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කර නැතුව ඇති. බලන්න, මේ අය අතර ළදරු වියේ පසුවන අය, යොවුන් වියේ පසුවන අය, ගර්භණී අය, කිරිදෙන මව්වරු, මහලු වියේ පසුවන අය ඇති. මේ අය පෝෂණ අවශ්‍යතා ඇති අයයි. ඒ ඒ අවධිවලට විශේෂ වූ කායික වර්ධන රටාවක් තිබීම හා එම අවධිවල දී අවශ්‍ය වන පෝෂක අඩු වීම හේතුවෙන් අහිතකර තත්ත්ව ඇති විය හැකි බැවිනි.

 

ළදරුවන්

ළදරු අවධිය ලෙස හඳුන්වන්නේ උපතේ සිට අවුරුදු 2ක් පමණ වන වයසේ පසුවන අයයි. මාස 6ක් යනතුරු මව්කිරිවලින්ම පෝෂණය කළ යුතුයි. එබැවින් ළදරුවාට මව්කිරි දීම සඳහා මවට අවශ්‍ය පෝෂ්‍ය ආහාර සකසා දීම පවුලේ වගකීමකි. ළදරු විය සඳහා ආහාර සකස් කිරීම ආරම්භ කළ යුත්තේ ක්‍රමානුකූලවයි.

දිරවීමට පහසු අර්ධ ඝන ආහාර ලබා දීම, එළවළු සහ පලතුරු එකතු කිරීම, රසකාරක, වර්ණකාරක එකතු නොකිරීම, ලුණු, සීනි, කුළුබඩු එකතු නො කිරීම, ගුණාත්මක බවෙන් යුතු අලුත් ආහාර වර්ග තෝරා ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

 

විවිධත්වය

විවිධත්වයෙන් යුතු ආහාර වේල් සකසා දීම ද ඔබ කළ යුතු වැදගත්ම දෙයකි. ඔබේ පවුලේ සාමාජික සාමාජිකාවන් වැරැදි ආහාරයන්ට හුරු වීම වැළැක්වීම කළ හැකි වන්නේ ඔබටමයි. පවුලේ සාමාජිකයන්ගේ විශේෂ අවධිවල දී වැරැදි ආහාර රටාවකට හුරු වුවහොත් ඉන් පසු කාලීන ගැටලු බොහොමයක් පැන නගී.

එසේම එකම ආහාරය එකම විදියට දෛනිකව ලබා නොදී ආහාරවල විවිධත්වයක් ඇති කිරීම, සුදුසු පිසීමේ ක්‍රම භාවිතය, ප්‍රසන්නව පිළිගැන්වීම, ප්‍රධාන ආහාර වේලකට ආසන්නව අමතර ආහාර නො දීම කළ යුතුයි. ළදරුවාගේ වයසට ගැළපෙන සේ ආහාර වේල සැකසීමත් කළ යුතුයි.

 

යොවුන් විය

 

මේ අවධිය අවුරුදු 10 සිට 20 දක්වායි. මේ අවධියේ අය ද අපේ පවුල්වල සිටී. ඔවුන් විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අයයි. යෞවන අවධිය කායික, මානසික ශක්තිය වැඩියෙන් වැය වන අවධියයි. වගකීම් රාශියකට මුහුණ දීමට ඔවුන්ට පූර්ව සූදානම් කළ යුතුයි. එබැවින් වැඩි පෝෂණයක් මොවුන්ට ද අවශ්‍යයි. වේගවත් ශරීර වර්ධනය, මාංසපේශි වර්ධනය, අස්ථි වර්ධනය, රුධිර පරිමාව වැඩි වීම මේ අවධියේ සිදුවේ. එබැවින් මස්, මාළු, කිරි, බිත්තර, මාංස භෝග වැනි දේවල් ආහාරයට එකතු කළ යුතුයි. මේ ඒ ඒ අවධිවලට ගැළපෙන ආහාර නිවෙසේ ආර්ථිකයට දරාගත හැකි පරිදි සකසා දීම ආදරණීය ගෘහණියකගේ වගකීමයි.

ආකල්ප, අදහස්, චර්යාවන් විවිධ වූ යෞවන අවධිය කුණාටු සමය, සංක්‍රාන්ති අවධිය වැනි නම්වලින් හඳුන්වන්නේ ද ඒ නිසයි. මේ කාලය ක්ෂණික ආහාර රටාවලට නිතැනින්ම බරයි. එබැවින් නිවෙසක ගෘහණිය, අම්මා උපක්‍රමශීලිව මේ නරක පුරුදුවලින් දරුවන්ව ඈත් කළ යුතුයි. ඇතැම් මව්වරුන් එසේ නො කිරීම කණගාටුදායි කරුණකි.

මේ අවධියේ දී දරුවන්ගේ ක්‍රියාශීලී බව වැඩිය. කායික වර්ධනය ශිඝ්‍රයෙන් සිදුවේ. ප්‍රාථමික සහ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වේ.

මේ නිසායි යොවුන් විය විශේෂ පෝෂ්‍ය අවශ්‍යතා ඇති අවධියක් ලෙස සලකනුයේ. එබැවින් ඔබේ දරුවාගේ දිවි මඟ සාර්ථක වන්නේ තම පෞරුෂය වර්ධනය කරගන්නේ පවුල තුළිනි. පෝෂණය, පිළිගැනීම, ආදරය, සහයෝගය, ගරු කිරීම, කායික, මානසික, ආර්ථික සමාජයීය අවශ්‍යතා සපුරා දීම මුල් කරගෙනයි. යොවුන් පුතකුගේ හොඳම මිතුරා පියාත්, යොවුන් දියණියකගේ හොඳම යෙහෙළිය මවත් විය යුතුයි. පවුල තුළින් ලැබෙන මේ සෙනෙහසින් දරුවා සමාජයෙන් ආරක්ෂිතයි. එවන් පරිසරයක හැදෙන දරුවා අනවශ්‍ය මිතුරා කරදරවලින් අත් මිදේ. සමාජ විරෝධී දේ සිදු නොවෙයි. යහපත් පුරවැසියකු වී සමාජගත වේ. එබැවින් ඔබ පවුලේ වගකීම නොපිරිහෙලා ඉටු කරන මවක් වන්න.

 

 

උපදෙස්

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ

උපදේශන හා වෘත්තීය

මාර්ගෝපදේශ සම්පත් දායිකා

එච්.එම්. ඉන්ද්‍රානි විජය බණ්ඩාර