වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
දරුවන්ට සිදුවන අතවර වැඩිහිටියන් විසින් වසන් කරනවාද ?

දරුවන්ට යම් අතවරයක්, අසාධාරණයක් සිදු වූ විට අධිකරණ මාර්ගයට එළඹීමට මැලිකමක් දැක්වීම බොහෝ විට දක්නට ලැබේ. විශේෂයෙන් දරුවන් ලිංගික අතවරයන්ට ලක් වූ විට මවුපියන් ඒ පිළිබඳ හෙළි කිරීමට බිය වන්නේ සමාජයෙන් එල්ල විය හැකි අපවාද සහ අපහාසයන්ට ඇති බිය හේතුවෙනි.
මෙම තත්ත්වය රටක නීතිය ක්‍රියාත්මක කිරීමට බලවත් බාධකයක් ලෙස පෙනීයයි. අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපහසු වීම නිසා ඔවුන් නැවත නැවත එවැනිම අපරාධ කිරීමට පෙළඹිය හැක. එමෙන්ම වින්දිත දරුවාට සිදුවන ශාරීරික හානියට වඩා මානසික හානිය දිගු කාලීන බලපෑමක් ජීවිතයට එල්ල කළ හැක. වින්දිතයන් තුළ ද නීතිය පිළිබඳ විශ්වාසයක් නැතිවීමෙන් වෙනත් අපරාධ සඳහා පෙළඹීමේ හැකියාවක් ද ඇත. වින්දිත දරුවාගේ පවුලේ අය විසින් නීතිය අතට ගෙන ක්‍රියා කිරීම නිසා අනවශ්‍ය ගැටලු ඇති වන අවස්ථා ද දක්නට ඇත.
දරුවන් නීතිය හමුවට ගෙන යාම තීරණය කළ යුත්තේ වැඩිහිටියන් විසිනි. ඔවුන් බොහෝ විට මේ සඳහා මැලිකමක් දක්වන්නේ දරුවාගේ හා පවුලේ උදවියට ඇතිවන ලජ්ජාව, අපහාසය සහ සිදුවීම ප්‍රසිද්ධියට පත් වීමෙන් සමාජයට මුහුණ දීමට නොහැකි වේ යැයි ඇති වන බිය නිසාවෙනි. එමෙන්ම අපරාධය සඳහා යුක්තිය ඉටුවීමට ගතවන කාලය දීර්ඝ වීම ද මීට හේතුවක් වී ඇත. විශාල වශයෙන් මුදල් හා කාලය වැය කිරීමට සිදුවීමෙන් වසර ගණනාවක් යන විට වින්දිතයන් හෙම්බත් වී අපරාධයට යුක්තිය ඉටු කර ගැනීම සම්බන්ධව ඇති උනන්දුව ඔවුන් තුළින් ගිලිහී යයි. ස්ත්‍රී දූෂණ සිදුවීම්වලට මුහුණ දෙන ගැහැනු දරුවන් විවාහ වන වයසට එළඹෙන වයසේ දීද අධිකරණ ක්‍රියාමාර්ගයට සම්බන්ධවීමට සිදුවීම ඔවුන්ගේ පුද්ගලික ජීවිතයට බලවත් අහිතකර බලපෑමක් එක් කරයි. එමෙන්ම විමර්ශන කටයුතු සිදු කරන පාර්ශ්වයන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන්ද වින්දිතයන් නීති මාර්ගයට එළඹීමට මැලිකමක් දක්වයි.
කෙසේ වෙතත් දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ දී හැකිතරම් දරුවාට අසාධාරණයක් නොවන පරිදි කාර්යක්ෂම ලෙස එම කටයුත්ත සිදු කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන ඇත. විශේෂයෙන් දරුවන් සහ කාන්තාවන් සම්බන්ධ අපයෝජන සම්බන්ධ පැමිණිලි, විමර්ශන සිදු කිරීමට වෙනම ඒකකයක් සාමාන්‍ය පොලිස් ස්ථානයෙන් බැහැරව ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. එම ස්ථානවල දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමටද පියවර ගෙන ඇත. මෙයින් උත්සාහ ගෙන ඇත්තේ දරුවන්ට හා වැඩිහිටියන්ට බියකින්, සැකයකින්, ලජ්ජාවකින් තොරව සුහදශීලී ලෙස කරුණු නොසඟවා හෙළි කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමයි. එමෙන්ම දරුවන්ගේ සාක්ෂි වීඩියෝ සාක්ෂි මගින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකසා ඇත. දරුවන් සම්බන්ධ අපරාධවලදී එම දරුවන් විවෘත අධිකරණයට ඉදිරිපත් නොකර විනිසුරුවරයාගේ නිල කාමරයේදී කැඳවීමටද මේ වන විට නීතියෙන් ප්‍රතිපාදන සලසා ඇත. කෙසේ වුවද ලංකාවේ දරුවන්ට සිදුවන අපරාධ සම්බන්ධව යුක්තිය ඉටු වීමේ දී අඩුලුහුඬුකම් තවමත් සැලකිය යුතු පමණට පවතී. ඒ කෙසේ වුවද දරුවකුට යම් අසාධාරණයක් වූ විට දරුවා වෙනුවෙන් යුක්තිය ඉටු කරවාගෙන අපරාධකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමට හැකි සෑම පියවරක්ම ගැනීම වැඩිහිටියන්ගේ යුතුකමකි.