එන්නත් කළත් කොරෝනා හැදෙන්නේ පුළුවන්ද?

අගෝස්තු 4, 2021

 

ෆයිසර් එන්නත් එක් මාත්‍රාවක් ලබා දුන් පසු කෝවිඩ් - 19 වැලඳුණු පුද්ගලයන්ගේ සිරුරේ නව කොරෝනා වෛරස විසබීජ, එන්නත් නො කළ රෝගය වැලඳුන අයට වඩා අඩුවෙන් පවතින බව පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා.

අතේ ඇඟිලි පහ එක වගේ නැහැ. ගති ස්වභාවයෙන් වගේම රූප ස්වභාවයෙන් ද අප එකිනෙකාට වෙනස්. විස බීජයක් ශරීරගත වූවත් මේ තත්ත්වය එලෙසින්ම පවතිනවා. කෝවිඩ් - 19 එක් පුද්ගලයකුට මාරාන්තික වෙද්දී තවත් පුද්ගලයකුට රෝග ලකුණුවත් පෙන්නුම් කෙරෙන්නේ නැහැ.

සමහරුන්ට එන්නත් අසාත්මික වෙද්දී තවත් අයට එන්නත් කළ තැන දැනෙන වේදනාවවත් නො දැනී තිබෙන්න පුළුවන්.

එන්නත් කළත් රෝගී වන පිරිස ගැන මෙන්ම එන්නත් කළ ද රෝගීවී මිය යන පිරිස ගැන කණගාටුදායක පුවත් අවාසනාවකට අසන්න ලැබෙනවා.

නව කොරෝනා වෛරසය ආසාදනය වී බරපතළ වීම වැළැක්වීමට ඇති එකම විසඳුම කෝවිඩ් - 19 එන්නතයි.

රෝහල්ගත වී සිටීමට සිදුවන දින ගණන එයින් අඩු වෙනවා. රෝගයෙන් මිය යාමට තිබෙන ඉඩ කඩත් අඩුයි.

එහෙත් අප අමතක නො කළ යුතු දෙයක් තිබෙනවා. මේ දක්වා නිෂ්පාදනයකර ඇති කිසිදු එන්නතක් සියයට සියයක්ම රෝගයෙන් අපව ආරක්ෂා කරන්නේ නැහැ. ලොව සියලුම එන්නත් සම්බන්ධයෙන් මෙය සත්‍යයක්.

ඒ නිසා එන්නත් ලබා ගත්ත ද නව කොරෝනා වෛරසය ආසාදනය වීමට පුළුවන් වාගේම කලාතුරකින් රෝගය උත්සන්නවී මිය යාමට වුවත් ඉඩ තිබෙනවා.

උදා - ෆයිසර් එන්නත කෝවිඩ් - 19 ලකුණු වර්ධනය වීමේ අවදානම සියයට 95කින් අවම කරන බවත් රෝගය බෝවීම එන්නත් කළ පුද්ගලයන්ට වඩා විසි වාරයකින් අවම කරන බවත් සායනික පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.

එන්නත් කළ අය නව කොරෝනා වෛරසය ආසාදනය වූ පසු පෙන්නුම් කරන ලක්ෂණ අතර හිසරදය, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, උගුර වණ වීම, ගඳ සුවඳ නො දැනීම ප්‍රධානයි.

මේවා එන්නත් නො කළ පිරිසට ඇතිවන රෝග ලකුණුවලට සමානයි. එසේ වුවත් එන්නත් කළ අයට රෝග ලකුණු අඩු ගණනක් ඇතිවන අතර රෝගය ඉක්මනින් සුවපත් වෙනවා.

පූර්ණ ලෙස එන්නත් කළ පුද්ගලයන්ට කිසිදු රෝග ලකුණත් පෙන්නුම් නො කර ද රෝගය වැලඳී තිබීමට පුළුවන්. එන්නත් නො කළ කෙනකුට වඩා මෙවැනි අයගෙන් තවත් කෙනකුට රෝගය බෝවීමට තිබෙන ඉඩ අඩුවීම එන්නතින් වන තවත් වාසියක්.

එන්නතින් සියල්ලන්ටම එකවගේ රැකවරණයක් නො ලැබෙන්නේ ඇයි?

සමහරුන්ගේ සිරුරේ එන්නත නිසි පරිදි ක්‍රියා කරන්නේ නැහැ. මීට විවිධ හේතු බලපානවා. උදා - ජාන, ගන්නා සමහර ඖෂධ

වියපත් අයට ද නිසි පරිදි ප්‍රතිදේහ නො සෑදෙන්න ප්‍රළුවන්.

එන්නත් දෙකම ලබා ගත්ත ද සිරුරේ ප්‍රතිශක්තිය නිසි මට්ටමට ගොඩ නැඟුණේ නැත්නම් රෝගය වැලඳෙනවා.

කලින් කෝවිඩ් වැලඳුණු කෙනකුට වුවත් නිසි පරිදි ප්‍රතිදේහ සෑදුනේ නැත්නම් යළා රෝගී වීමට ඉඩ තිබෙනවා.

තමන්ගේ සිරුරේ අවශ්‍ය තරමට කෝවිඩ් - 19 ට එරෙහි ප්‍රතිදේහ නිපදවී තිබෙනවාදැයි බලා ගැනීමට කළ හැකි පරීක්ෂණයක් දැන් තිබෙනවා.

මෙය COVID-19 IgG antibody test ලෙස හඳුන්වනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වී දින 4 - 7කින් ප්‍රතිදේහ සෑදීම ඇරඹෙනවා. මේ පරීක්ෂණයට එතරම් ඉහළ මුදලක් වැය කළ යුතු නැහැ.

කෝවිඩ් ආසාදිත වූවන්, එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය, පළමු මාත්‍රාව ලබා ගෙන දෙවැනි මාත්‍රාව තවම නො ලැබුණු අය, තමන්ට කෝවිඩ් වැලඳී සුව වූවා ද කියා සැකයක් ඇති අය හෝ කැමැති ඕනෑම කෙනකුට මේ පරීක්ෂණය කර ගැනීමට පුළුවන්. ප්‍රතිදේහ අවශ්‍ය තරම් තිබීම යහපත්. එහෙත් ප්‍රබල නව ප්‍රභේදයක් ශරීරගත වුණොත් ඒ ප්‍රතිශක්තිය පුමාණවත් නො වන්න පුළුවන්.

ඒ නිසයි මුහුණු ආවරණයක් පැලඳීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිතර සබන් ගා අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු දිගින් දිගටම පවත්වාගත යුත්තේ.

 

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ

අමිල චන්ද්‍රසිරි