කොරෝනා මඬින්න බෙහෙත් කරලක්

ප්‍රති වයිරසයක පෙත්තක් නිපදවීම ද අරඹලා
ඔක්තෝබර් 20, 2021

 

එන්නතක් විද ගැනීමට සිදුවීම ලොකු කුඩා වෙනසක් නැතිව සිතට පුංචි තිගැස්මක් ඇති කරන කාරණයක්. එහෙත් බේත් පෙත්තක්, බේත් කරලක් ගැනීම වතුර වීදුරුවක් පානය කරනවා හා සමාන සුපුරුදු අත්දැකීමක්.

වසරකට කී වරක් නම් කෙනකුට කුමන හෝ රෝගයකට, රෝග ලකුණකට බේත් පෙත්තක්, බේත් කරලක් ගැනීමට සිදු වෙනවාද ? කෝවිඩ් - 19 වසංගතය සමඟ එන්නත් ගැනීමට කැමැති වුවත් අකැමැති වුවත් එන්නත් මාත්‍රා අනිවාර්යයෙන් ගැනීමට සිදුවෙලා. මෙය අනාගතයේ උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් තරම් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙන නිසා දිගින් දිගටම වාර්ෂිකව ෆ්ලූ එන්නත මෙන් ( ඉන්ෆ්ලුවෙන්සා වැළැක්වීමට දෙන එන්නත ) කෝවිඩ් - 19 සඳහා ද එන්නත ගැනීමට සිදුවේවි. එන්නත් ගැනීමට බියක් දක්වන්නන්ට මෙය සුබ ආරංචියක් නො වෙයි.

එහෙත් එවන් අයට සුබ ආරංචියක් ද තිබෙනවා. ඒ ඉදිරියේදී බොහෝ විට මේ වසර අවසානයේදී කරල්, පෙති වශයෙන් ගත හැකි කෝවිඩ් වළක්වන ඔසු ලබා ගත හැකි වන බවට ඇති ආරංචියයි. අමෙරිකානු රජය නව කොරෝනා වෛරසයට එරෙහි පෙති, කරල් නිපදවීමේ පර්යේෂණ කටයුතුවලට ඩොලර් බිලියන තුනකට වඩා මේ වන විට වැය කර තිබෙනවා.

බොහෝ වෛරස් රෝගවලට එරෙහි පෙති, කරල් නිපදවී තිබෙනවා. ඉන්ෆ්ලුවෙන්සා, එච්අයිවී, හෙපටයිටිස් සී වැනි රෝග ඒ අතරින් ප්‍රධානයි. අසාත්මිකතා සහ ආසාදිත රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෝසි පවසන අන්දමට ඉදිරියේදී කෝවිඩ් - 19 ලකුණු පහළ වූ සැණින් හෝ වෛරසය ආසාදිතවී ඇති බව පීසීආර් හෝ ඇන්ටිජන්වලින් තහවුරු වූ පසු කෙනකුට ඖෂධ ශාලාවකින් නව කෝවිඩ් ඔසුව ගත හැකියි. ඔසුව ගත් පසු පැය 24 ක් තුළදී වෛරසය අක්‍රීය වෙනවා. Merck සහ Ridgeback Biotherapeutics ආයතන එක්වී නිපදවා ඇති කරල හැකි ඉක්මනින්ම ලොවටම බෙදා හැරීමට බලාපොරොත්තු වෙනවා.

මේ බෙහෙත් කරල නම් කර ඇත්තේ මොල්නියුපිරවිර් (molnupiravir) නමින්. වෙනත් වෛරස් ආසාදනවලට ද නව ඔසුව භාවිත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මොල්නියුපිරවිර්, ෆ්ලූ සඳහා අත්හදා බලමින් තිබූ ඔසුවක්. පසුව එය කෝවිඩ් මැඩලීම සඳහා වැඩිදියුණුකර තිබෙනවා. ඩෙල්ටා, ගැමා වැනි නව කොරෝනා ප්‍රභේද මැඬලීමට නව ඔසුවට හැකියාවක් ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. එයත් රෝගීන්ට සුබ ආරංචියක්.

මෙය එන්නත්වලට සාපේක්ෂව ලාබදායක ඖෂධයක්. දින පහක් පෙති ගැනීමට සිදුවුවහොත් රෝගියකුට ඒ සඳහා වැයවන්නේ ඩොලර් 700ක මුදලක් පමණයි. මොල්නියුපිරවිර් වැඩිහිටියකු දින පහක් පැය දොළහකට වරක් ලබා ගත යුතුයි. පවුලේ රෝගියකු සිටනවා නම් අනෙක් අයට මොල්නියුපිරවිර් ගැනීමෙන් රෝගය වැලඳීම වළක්වාගත හැකිදැයි කියා ද සොයා බලමින් පවතිනවා. පිළිකා වැනි වෙනත් රෝගවලට ඔසු ගන්නා විට ඇති වන බලපෑමත් ඔවුන් සොයා බලමින් සිටිනවා. කෝවිඩ් මඬින කරල ගැන ඇති එකම අසුබ ආරංචිය නම් කරල ගනිද්දී ගර්භණී වුවහොත් උපත් ආබාධ ඇති දරුවකු බිහිකිරීමට ඇති අවදානම ඉහළ යාමයි.

මේ අතර ෆයිසර් එන්නත නිෂ්පාදනය කළ කණ්ඩායම ද පහසුවෙන් ගත හැකි ප්‍රති වෛරසයික පෙත්තක් නිපදවීම අරඹා තිබෙනවා.

කෝවිඩ්වලට ඇති බිය නැති කිරීමට එන්නත්වලට වඩා පෙති උපකාර විය හැකි බව පර්යේෂකයන් ගේ විශ්වාසයයි. එමෙන්ම රෝහල්ගත කිරීම් හා මරණ සියයට පනහකින් අඩු කිරීමට හැකි බව ඔවුන් පවසනවා.

මෙවැනි ඔසු මඟින් රෝගය පවතින කාලයත්, සිරුරට වන හානියත් අවම වෙනවා. රෝගය දරුණු වීමත් වළකිනවා.

පෙති, කරල් නිසා එන්නත තව දුරටත් අවශ්‍යවෙනවාද?

කෙතරම් සාර්ථක පෙති නිෂ්පාදනය වුවත් තවමත් කෝවිඩ් - 19 න් රැකවරණය ලැබීමට ඇති හොඳම ආරක්ෂකයා එන්නත බව දැනට ඇති පිළිගැනීමයි.

එහෙත් කරල්, පෙති මඟින් වඩාත් සාර්ථව රෝගය මර්දනය කරන්න ලැබෙනවා. එහෙත් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වයස්ගත ජනතාවට මෙයින් වැඩි ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය නීති පිළිපැදීමත් ඉතා වැදගත්.

 

 

අන්තර්ජාලයෙනි