කාර්යාලයට යන ඔබට හැඩැති ටයිට් සායක්

ඔක්තෝබර් 20, 2021

 

කෙටි සාය විලාසිතා කාර්යාලයට යන බොහෝදෙනෙක්ගේ තේරීමකි. ටයිට් සාය ඒ අතරින් විශේෂිතයි. අද ඔබ වෙනුවෙන් ගෙන එන්නේ හැඩැති මෝස්තරයකට මසාගත් ටයිට් සාය විලාසිතාවකි.

 

අවශ්‍ය මිමි

ඉණවට = අඟල් 32

උකුළවට = අඟල් 38

උකුළ දක්වා උස = අඟල් 7

උස = අඟල් 24

මෙම මිමි වෙනුවෙන් ඔබේ මිමි මැනගන්න.

ටයිට් සාය සඳහා සාමාන්‍ය ටයිට් සාය සමඟ උඩින් ඇති පළුව සඳහා ඔබට පතෙරාමක් කැපීමට සිදුවේ.

ඇඳුම් කැපීමට හුරු අයෙක් නම් ඔබට රෙදි මත වුවද ඇඳ කපාගත හැකියි. එමෙන්ම සාය සඳහා ඉණට බෙල්ට් එකක් භාවිත නොකර ඇතුළට පටියක් තබා නමා මසා ඇත.

පහසුව සඳහා මෙහිදී පතරොමක් සාදාගනිමු.

පතරොම සඳහා ඉදිරිපස නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එම රේඛාවේ සිට පහතට අඟල් 1/2ක් තබා ඉණ රේඛාව අඳින්න. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස හා සම්පූර්ණ උසට අඟල් 1ක මැහුම්වාසි එකතුකර E ලකුණු කරන්න. එම රේඛා උකුළ රේඛාව හා වාටිය රේඛාවයි.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට මැහුම්වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ.

උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට මැහුම්වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ.

D සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය DE වේ. E සිට ඇතුළට අඟල් 1ක් පමණ ලකුණු කර Dට යා කරන්න. B හා D ද ඇඳගන්න.

මෙම පතරොම තබා ඉදිරිපස කොටස නැම්මට තබා කපාගන්න.

පසුපස සඳහා බලවාටියට තබා බලවාටියේ සිට අඟල් 1ක් වාසි තබා ඉතිරි ප්‍රමාණය ඉදිරිපස ප්‍රමාණයට කපා ගන්න.

උඩින් යොදා ඇති අනෙක් පතරොමේ රැලි කොටස සඳහා ඔබට වෙනම කපා එය පතරොමට තබා මසා ගත හැකියි.

නැතිනම් පතරොම තබා ඇඳ රැලි කොටස සඳහා එය ඉණෙන් ඉහළට මඳක් කවාකාරව ඇඳ අවශ්‍ය උස තබා හැඩේට ඇඳ ගන්න.

එලෙස ඇඳීමේදී මෙම පතරොම සඳහා සම්පූර්ණ පළුවම භාවිත නොකර පතරොමෙන් කොටසක් අයින් කර ඇඳ ගන්න.

 

මැසීම

පසුපස විවරය තබා සිපරයක් අල්ලා ගන්න. දකුණුපස අංශය මැසීමේදී කොටස් තුනම තබා මසා ගත යුතුයි.

වැඩිපුර දික්කර කපා ගත් කොටස ඉණට ප්ලීට් එකක් තබා සාදාගන්න. අනෙක් පස අංශය මසා වාටිය මසන්න. ඉණට වෙනම පටියක් කපා තබා මසා ඇතුළට නමා ගන්න.

උපදෙස් ප්‍රවීණ උපදේශිකා

දිලුෂි දසනායක