අපේ කොල්ලන්ගේ දස්කම් සමඟ T-20 ලෝක කුසලාන තරගාවලිය නරඹමු.

නොවැම්බර් 3, 2021

 

ක්‍රිකට් කියන්නේ අපේ ජාතික ක්‍රීඩාව නොවුණත්, බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවට හරිම කැමැතියි.

96 එක්දින ලෝක ක්‍රිකට් කිරුළ දිනාගැනීමත් සමඟ අපේ රට ලෝකයේ ඉහළටම එසවුණා කිව්වොත් නිවැරැදියි. ඉන්පසු අවස්ථා කිහිපයකම ලෝක කුසලානය දිනා ගැනීමේ අභියසටම පැමිණෙන්නට අපට හැකිවීමත්, විස්සයි විස්ස ලෝක කුසලානය අවස්ථා දෙකකදී දිනාගන්නට සමත්වීමත් නිසා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය නොකරන කෙනෙක් නොමැති තරමට එය අපේ ජන ජීවිත වලට සමීප වුණා.

ඒත් කාලයත් එක්ක අපේ ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය නිසාත්, පරිපාලනමය ගැටලු නිසාත් දිගින් දිගටම තරග පැරදීම හමුවේ අපට ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්නට පවා සිත් නොවූ බව නොරහසක්.

මෙවන් වාතාවරණයක් හමුවේ 7 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පසුගිය 17 වැනිදා ආරම්භ වුණා. මේ තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 14 වැනිදා. පසුගිය කාල වකවානුවේ දිගින් දිගටම තරග පැරදීම හේතුවෙන් අපේ කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ මූලික වටයට මුහුණ දෙන්න සිදුවුණා.

පළමු කාණ්ඩය යටතේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර කොදෙව් කණ්ඩායම් සමඟ A කාණ්ඩයේ පළමු වැන්නා වුණු ශ්‍රීලංකා කණ්ඩායම සහ B කාණ්ඩයේ දෙවැන්නා වුණු බංගලාදේශ කණ්ඩායම ඇතුළත් වෙයි.

දෙවැනි කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්ථානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය තරග වදින අතර එයට A කාණ්ඩයේ දෙවැන්නා වුණු නැමීබියාව සහ B කාණ්ඩයේ පළමුවැන්නා වුණු ස්කොට්ලන්තය ඇතුළත් වෙයි.

දසුන් ශානක වාසනාවන්ත නායකයෙකි. වනිඳු හසරංග ලොව හොඳම විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙන අතර පිත්තෙන් ද දස්කම් දක්වමින් අයර්ලන්තය සමඟ තරගය ජයමාවතට ගෙන ආවේය. බංගලා දේශ තරගයේ අසලංක අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළේ සෙසු රටවලට අභියෝගයක් දිය හැකි බව පෙන්වමිනි. කුසල් ජනිත් සහ චන්දිමාල් අත්දැකීම බහුලම ක්‍රීඩකයන් දෙදෙනාය. ඔවුන් තවමත් සුපුරුදු රිද්මයට පැමිණ නැති මුත් අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වෙන බව සිතිය හැකිය. කෙසේ වෙතත් ගෙවී ගිය කාලයේ දිගින් දිගටම පරාජයේ අමිහිරි අත්දැකීම් දුටු ක්‍රිකට් ලෝලී අපට මේ ජයග්‍රහණ ඉඩෝරයට වට මහ වැස්සක් මෙනි. මේ ජයග්‍රාහී රිද්මය දිගටම රඳවා තබා ගනිමින් යළිත් වරක් අපේ රටට ලෝක ක්‍රිකට් කිරුළක් රැගෙන එන්නට අපේ කොල්ලන්ට වාසනාව ලැබේවා. ඔබටත් නිවෙසේ සිට තරග නරඹන්නට මේ කාල සටහන උපයෝගී වේවි.