About

සැමට මවක් මෙන් සති මැද එන     තරුණී
වටිනාකමින් මිණිමුතු පරදයි           තරුණී
දුවකට මවක් මෙන් ඔවදන් දෙන    තරුණී
දින දින දිනේවා! බැබළේවා!              තරුණී

කාන්තා ලෝවේ කාලීන අවශ්‍යතාවයක් සපුරනු වස් ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ( එවක මිහිර කර්තෘ ) මහතාගේ යෝජනාවක් අනුව 1969 ජූලි 09 වෙනිදා ලේක් හවුස් ආයතනය මුද්‍රණයෙන් තරුණි පුවත්පත එළිදක්වන ලදී. එවක සභාපති ධූරය හෙබවන ලද්දේ ඩී. ආර්. විජේවර්ධන අප නිර්මාතෘවරයාණන්ගේ පුතනුවන් වන රංජිත් විජේවර්ධන මහතාය. ශ්‍රී ලාල් හික්කඩුව මහතාගේ කර්තෘත්වයෙන් ඇරඹී තරුණී පුවත්පතේ මුල්ම සාමාජිකයන් වූයේ නන්දනී මෛත්‍රීවර්ධන, නෙළුම් ප්‍රනාන්දු සහ ඉඳුනිල් අමරකෝන් වන අතර චිත්‍ර ශිල්පියා වූයේ හරිප්‍රිය ගුණසේකරය. පිටු 28 කින් සුසැදි තරුණී පුවත්පත එවකට ශත 30 ක් විය.

එතැන් පටන් සුමනා සපරමාදු, පූජිත විජේතුංග, ප්‍රභාත් මානවසිංහ, අනුලා ද සිලවා, ධර්මා සමරනායක, ගාමිණී සමරසිංහ, ඉඳුනිල් වීරරත්න සහ ඇන්ටන් සැම්සන් ඇතුළු කර්තෘවරු ගණනාවක් යටතේ විවිධ අභියෝග මධ්‍යයේ තරුණී පුවත්පත අභිමානයෙන් ගමනක් පැමිණි අතර වත්මනෙහි තරුණි පුවත්පතේ ප්‍රධාන කර්තෘධූරය මනෝලි සුබසිංහ විසින් හොබවනු ලබයි.

මේ වනවිට කාන්තා පුවත්පත් කලාවට තරඟකාරී පුවත්පත් රැසක්ම එක්වී තිබෙන අතර ඒ සියලු අභියෝග ජයගනිමින් තම අනන්‍යතාවය රැකගනිමින් අලෙවියේ සහ කාන්තා ලොවේ විශ්වාසනීයත්වය රැක ගැනීමට 'තරුණී' සමත් වී ඇත.

රූපලාවණ්‍ය, ඇඳුම් මැසීමේ කලාව, සෞඛ්‍යය, ධනාත්මක චිනතනය ( සමාජ සංවර්ධන ලිපි ), වාස්තු, නිවාස සැලසුම්, සූපවේදය, අත්කම්, ගෙත්තම්, ස්වයං රැකියා අත්වැල, නව ව්‍යවසායකයින් හඳුන්වා දීම, හැඩවඩ, ගෙවතු වගා, ශාරීරික සුවතාවය, ක්‍රීඩා සහ ව්‍යායාම, කලා ලොවේ පුවත් සහ විශේෂාංග, කාලීන සිද්ධි පිළිබඳ දැනුවත් කිරීම, නවකතා, කෙටිකතා, කවි නිර්මාණ, නවීන විලාසිතා, මනාලියන් හැඩ ගැන්වීම, ආයුර්වේදය, ආගමික උපදේශනය, නවීන තාක්ෂණය සහ උපකරණ හඳුන්වා දීම, චාරිකා සටහන්, ප්‍රාදේශීය පුවත්, ව්‍යාපාරික පුවත්, අධ්‍යාපනික මඟ පෙන්වීම, පවුල් උපදේශනය, එදිනෙදා භාවිතයට සරල ඉංග්‍රීසි පාඩම් මාලා, කාලීන විදෙස් විශේෂාංග ආදී ලෙස කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම උදෙසා කාන්තාව දැනුවත් විය යුතු විවිධ ක්ෂේත්‍ර අළලා ඒ ඒ ක්ෂේත්‍රවල අත්දැකීම් බහුල, දැනුමින් සුපෝෂිත, ප්‍රවීණ සම්පත්දායකයින්ගේ දායකත්වයෙන් සැකසූ, වටිනාකමින් යුතු ලිපි, විශේෂාංග සමඟින් සෑම සඳුදාවකම "තරුණී" සතිපතා වෙළඳ පොළට නිකුත් වේ.

අවුරුදු 19 හිට 60-70 දක්වා වූ වයස් කාණ්ඩයන් තරුණී පාඨක ඉලක්කය ලෙස ගැනේ. කාන්තාවන් ප්‍රමුඛ වන අතර පුරුෂ පාර්ශවය ද අපගේ පාඨක පිරිස අතර වේ.

වර්තමානයේ සමස්ත පුවත්පත් කලාවට එල්ල වී ඇති අභියෝග රාශියකි. මුද්‍රණ කඩදාසිවල මිල වැඩිවිමත් සමඟ මේ වනවිට පුවත්පතේ මිල රු. 40 කි. වත්මනෙහි පිටු ගණන 68 ක් වන අතර මේ වනවිට සමස්ත පිටු ප්‍රමාණයම වර්ණයෙන් මුද්‍රණය වීමත් විශේෂත්වයකි. පුවත්පතේ ප්‍රවර්ධනය උදෙසා දීපව්‍යාප්තව තරුණී වැඩමුළු පැවැත්වීම, මලක මහිම ඇන්තූරියම් වගාව සමඟින් කාන්තාවන් අතර ස්වයං රැකියාවක් ලෙසින් ව්‍යාප්ත කිරීමේ සමාජ මෙහෙවරෙහි ද තරුණී පුවත්පත නිරැළී සිටී.

තව නොබෝ දිනකින් එනම් ජූලි 09 වැනිදා තරුණී පුවත්පතට වසර 50ක් සපිරෙනු ඇත. එම සුවිශේෂී මොහොත සමරනු වස් අඩු ආදායම්ලාභී පවුලකට නිවෙසක් තනා දීම ප්‍රධානම කටයුත්ත වේ. මේ සඳහා දිස්ත්‍රික් 306C1 සිංහ සමාජයේ හිටපු සිංහාධිපතිනිය වන රෑපා ධීරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම නිවෙස තනා දීමට මූලික කටයුතු යොදා ඇත.

ඒ හැරුනු විට 50 වැනි තරුණී අභිමානය නිමිති කොට ගෙන ඇගයීම් උළෙලක් පැවැත්වීමට ද යෝජනා කරමි. මෙය වසරක් පාසා හෝ දෙවසරකට වරක් පැවැත්වීමටත් අපේක්ෂා කෙරේ.

මනෝලි සුබසිංහ - කර්තෘ