පෝදිනට බුදු සුවඳ මගෙ හදට දැනෙනවා
පව පිරුණු අතීතය සිහිවෙමින් දැවෙනවා
හදවතින් හඬ හඬා හිමිගෙ වත දකිනවා
මෙතේ බුදු දකින්නට පාරමී පුරනවා
වර්ෂ 2024 ක්වූ March 25 වැනිදා Monday
පෝදිනට බුදු සුවඳ මගෙ හදට දැනෙනවා
පව පිරුණු අතීතය සිහිවෙමින් දැවෙනවා
හදවතින් හඬ හඬා හිමිගෙ වත දකිනවා
මෙතේ බුදු දකින්නට පාරමී පුරනවා
ලොවම වෙලාගත් විසෙන්
සුන්විය සැණින්
මනු ලොව මිනිසා
ආශාවෙන් ගොඩ නැඟූ
තණ්හාවේ සිහිවටන
ඉතිරිකර තැබුවා ලොවට
රැගෙන යාමට
නොහැකි බැවින් එය
පරලොවට
මලක් මෙන් මුදු ලෙසට මගේ තුරුලෙහි හොවා
ඇසක් මෙන් රැක ගතිමි නොදී දුක් රෑ දිවා
මටත් තිබුණිද ලොවක් අත හැරුණි එය පවා
මවක් වූ දිනේ සිට මගෙ ලොවම ඔබ තමා
ඔබෙ රිදුම ඔබට වැඩියෙන් දැනුණෙ මගෙ හදට
ඔබෙ දිනුම මට දුන්න ඔබට වැඩියෙන් සතුට
නෙළා දුන් සුවඳ මල් ඔබ දැමුව මුත් බිමට
ඔබට රිසි මග යන්න දිරිය දුන්නෙමි සිතට
මගෙ ලොවෙන් පියමංව නව මතක ගියද පුත
කටු රුකුල් ගිරිදුර්ග අපමණයි සතර අත
නිවා ගන්නට විඩා නැවතුණොත් අතරමඟ
මව්සෙනේ නවාතැන පුතේ අත ළඟම ඇත...
බුදු හාමුදුරුවන් ඉස්සර සිටින කොට
මං හිටියනම් එන විට කැලයට දරට
වන මල් නෙළා අතුරා සිරි පතුල වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට වරුවකට
කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත වගේ
එතකොට බලත හැකි පොරවා වඩින රහේ
කිණිහිර ගහක මල් හෙලවෙන වැනි හුළඟේ
පන් උගුලන් ඇවිත් සායම් පොවා ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා ගෙන
අම්මට ආත්තට අත ගස්සවා ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා ගෙන
රාහුල පුංචි හාමුදුරුවො වඩින කොට
ගෙදරට වැඩමවා ගෙන සුදු වියන් යට
කිරිබත් හදා සුවඳැල් හාලෙන් රසට
ටික ටික වළඳවනවා ඇවිදින් ළඟට
ගල් පෙරළපු දවසෙ ගිජුකුළු පව්වෙ සිට
මං හිටියනම් සත පණහක් දී අතට
රා බොන අපේ ලොකු මාමා පිටත් කොට
දැනමුතු කමක් කරනව දෙව්දත් තෙරට
බුදු හාමුදුරුවන් හට බැණ වදින විට
මොකටද ඉතින් ඉන්නට බැරි වුණා කොට
අම්මල මොනව කීවත් මොලවලා මිට
දෙනවා චිංචි මානවිකාවගෙ කටට
සච්චකයාට ඇවිදින් වාදෙට පැන්න
සැක්කරයා මොටද ආවේ ඔර වන්න
දිව ඇද විරිත්තල පණ්ඩිතකම යන්න
මල්ලියි මමයි හිටියම ඇති නිය වන්න
මගෙ මල් පොකුරු දුටුවම ඉවසුමක් නැතී
පොඩි පොඩි හාමුදුරුවරු ඔළුවේ නැවතී
කිරි එතනා හෙටත් ගෙනැවිත් මල් කිනිතී
දෙනවද කියා හෙමිහිට අහනවා ඇතී
පණ දෙන්න අපට බැහැ
ඒ සොඳුරු අතීතෙට
ඔබ - මා වෙනස් වී
අද ඉන්නෙ ලෝ දෙකක
විරහ ගී ඇසෙන විට
දුක දැනේ හොඳටෝම
මේ රැහැන් බිඳ දමා
දුව එන්න හිතයි මට
හිමිදිරිය ලස්සනයි
අප දෙදෙනාගේම
තිතක් විය හද කොනක
නව යොවුන් ප්‍රේමයම
ඔබ පියෙකි මා මවකි
දරු සෙනේ දරාගෙන
හමුවුණොත් දිනෙක මතු
නොහඳුනන ලෙස නොවී
හිනැහෙන්න වෙර ගනිමු
තණමත රැඳුන සීතල දිය බිඳුවකට
නැගී බිඳෙන සුසිනිඳු දිය බුබලකට
මිරිඟු දියට දියයැයි සිතුණේ කුමට
සමකළ දිවිය නිසරුයි දැනුණා මෙමට
නිමානොවන දිගු ගමනක් විය සසර
නොසිතිය යුතුය මිනිසෙකු වීමැයි නිතර
කණ සම්පත්තියක් නොමැතිව දිවි කතර
ඉපදී නොහැක බියකරු සසරින් එතර
ඉපදුණු සැමට මරණය යන පොදු දහම
ඔබටත් මටත් නොව සැමහට වේ උරුම
කොහිදී කෙලෙස මියැදෙන බැව් නොදැනීම
ජීවිත ගෙවන අපහට නොව සැනසීම
හටගත් සියලු දේ පැවැතී නැතිවේය
මම යැයි මගේ යැයි කිසිවක් නැත්තේය
නුවණැස වඩා ඇතිතතු දැන යුත්තේය
විදසුන් වැඩුවහොත් සසරින් මිදුණේය
අඩඳුර මකා කඳු මස්තකයකින් උස
පුන්සඳ නැගී එයි හෙමිහිට අහස් කුස
හරි සුන්දරයි වටපිට සනසවන ඇස
සැරසෙයි වෙසක් දිනකට දැන් හතර දෙස
පෙණ පිඬු රටා ලෙස පාවෙන වලාකුළු
පසුබිම් තරු අහුරු හරියට දැකුම්කළු
විලසින් දැල්වෙනා බුදුගෙයි පහන්සිලූ
වෙසඟේ සඳ පහන් රෑ කල මෙලෙසමලූ
ඇසෙනව වරින්වර නාදය ඝණ්ඨාරේ
සිත පංසල් යනව ඇසෙනා හැමවාරේ
මිනිසත් භවේ සරනා විට සංසාරේ
මෙදිනට සිතට කිසියම් වෙනසක් තේරේ
ඉටි පන්දම් එළියෙ දැල්වෙන වෙසක් පහන්
මඳ ආලෝකයක් විහිදන ලෙසකි සහන්
කනමැදිරියෝ ඒ අතරින් එළිය කරන්
පියඹති බොදු බැතිය නියඬව සිතට අරන්
පංසල් පාර මඟ පිරුවට පිය මනිති
සන්සුන් බවින් නිවණක සුව සිහි කරතී
ඒ දැක බවුම් දම් ගහකොළ වුව පුරතී
සොබා දම් සාදු හඬ දසතින් ඇසෙතී
නිවා හද අනුරාග
පොවා දම් රස ඕය
දිවාකර මනු රාජ
වඳිම්! වඳිම්!! ඔබ පාද
උවම් වෙන තව කුමටද
සියුම් මනු සිත පොබ විණ
උතුම් පෝදා පැහැසර
පියුම් මත වැඩි සේක
ගිගුම් දී මුළු සක්වල
දහම් සක්හඬ පාමින
ගොයුම් හොත් සණරාමර
උතුම් බුදු වූ සේක
ගුවන් ගැබ කළුවර කර
සුගත් මගෙ සදහම් සඳ
පවන් රොද සේ නික්මෙන
පිරිනිවන් වැඩි සේක
සාම්ප්‍රදායික වෙසක් බැති කවියකින් වෙනස් වූ කලාත්මක නිර්මාණයකි. කිවිඳියගේ කවිබස අපූරුය. ගුවන් ගැබ කළුවර කර පිරිනිවන් වැඩි සේක එක් නිදසුනකි.
තරුණී සතියේ කවි කුසුම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ අඟහරුවාදා ‘ප්‍රභාතය‘ තුළින් ප්‍රචාරය වේ. මෙය ප්‍රියන්තනී ගමගේ යහම්පත්ගේ නිෂ්පාදනයකි.
අඩසිය වසකට ආසන්න කාලයක් තිස්සේ දුවට, මවට හා මිත්තනියට ළබැඳි පවුලේ මිතුරිය වූ තරුණී තව තවත් තාරුණ්යයේන් ඔප වී පෙරගමනේ....
[email protected]
[email protected]
011 2 429 429
අන්තර්ජාල දැන්වීම් : (+94) 112 429 315
Nuwan : +94 77 727 1960