ජ්‍යාමිතික හැඩතල සහ එයින් කළ හැකි නිර්මාණ

ජූලි 7, 2021

 

බතික් අපේ රටේ අනන්‍යතාව ප්‍රකට කරන කලාවක්. මේ වනවිට බතික් කලාවට නව පණක් ලැබිලා. විදේශිකයන් අතර පවා ඉහළ ඉල්ලුමක් තිබුණු මෙයට දැන් දේශීයවත් ලැබෙන්නේ විශාල ඉහළ ප්‍රතිචාරයක්. නිර්මාණශීලී හැකියාව ඇති අයකුට ඉතාමත් පහසුවෙන් ස්වයං රැකියාවක් ලෙස නියැලී හොඳ ආදායමක් උපයා ගන්නට ඇති හැකියාව නිසාම අප තරුණී පාඨක ඔබට ඒ පිළිබඳව කියා දෙන්නට සිතුවා. ඒ අනුව ඇරැඹුණු බතික් පාඩම් මාලාවේ මේ වනවිට අතිශයින් ජනප්‍රියයි.

 

පසුගිය කලාපයක අප බතික් නිර්මාණයක් සඳහා මෝස්තර තෝරාගන්නා අන්දම ගැන කතා කළා මතක ඇති. ඒ අනුව චිත්‍ර ශිල්පය පිළිබඳව අවබෝධයක් හැකියාවක් ඇති අයකුට තමන්ට කැමැති ආකාරයේ මෝස්තර ඇඳ ඒවා බතික් නිර්මාණ බවට පත්කළ හැකි බව දැන් ඔබ දන්නවා.

එසේම චිත්‍ර පිළිබඳව හසල දැනුමක් නොමැති අයකුට වුවද අන් අයකුගේ නිර්මාණ යොදා ගැනීමකින් තොරව තමාගේ නිර්මාණශීලීත්වය අනුව ජ්‍යාමිතික හැඩතල උපයෝගීකර ගනිමින් බතික් නිර්මාණ සිදු කළ හැකියි. අද අප ඔබට ඉදිරිපත් කරන මේ ජ්‍යාමිතික හැඩ තල එවැනි නිර්මාණ වලට උදාහරණ.

එහෙත් ජ්‍යාමිතක හැඩතල බොහෝ විට සුදුසු වන්නේ බිත්ති සැරසිලි, කොට්ට උර, කුෂන් කවර, මේස රෙදි, ඇඳ ඇතිරිලි, තිර රෙදි සඳහා වේ.

මෙවැනි ජ්‍යාමිතික හැඩතල එවැනි නිර්මාණ සඳහා යොදා ගන්නේ නම් පහත කරුණු පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුවේ.

 

මේස රෙද්දක් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

* සංකීර්ණ නොවූ සරල මෝස්තරයක් භාවිත කිරීම.

* ඇසට අපහසුතාවයක් ඇති නොවන වර්ණ සෑම විටම භාවිත කිරීම.

* එමෙන්ම වර්ණ අවම ලෙස භාවිත කිරීම.

* බිත්තිවල පැහැයන් පිළිබඳව සැලකිලිමත්විය යුතුය.

* මෝස්තරයේ සමමිතික බව පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

 

කුෂන් කවරයක් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

* වර්ණවත් විය යුතුය.

* Sofa / පුටු සෙටියේ පැහැයට ගැළපිය යුතුය.


* බිත්තිවල වර්ණය පිළිබඳව සැලකිලිමත්විය යුතුය.

* ස්ථානය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුවේ.

උදා:- නිවෙසක, කාර්යාලයක්ද, සංචාරක නවාතැන්පලක්ද යන්න.

* ඒ සඳහා යම් තේමාවක් අවශ්‍ය නම් ඒ පිළිබඳවද විශේෂයෙන් සැලකිලිමත්විය යුතු වේ.

උදා:- සංචාරක නවාතැන්පලක්, එහි ලාංඡනය ඒ සඳහා යොදා ගන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ.

එසේම විවිධ රේඛා ඇසුරින්ද විවිධ වූ හැඩතල අපට නිර්මාණ කර ගත හැකි. එම රේඛා තුළින් අපට විවිධ හැඟීම් ජනනය වේ.

නිර්මාණකරුවකුට ඒ පිළිබඳව ද මනා දැනුමක් තිබිය යුතුවේ.

උදා:-

තිරස් රේඛා:- නිශ්චල හා ස්ථායිතාවය පෙන්වන අතර සිහින් සිරුරක් මහත්කර පෙන්වීමට යොදාගත හැකිය.

සිරස් රේඛා:- උස සිරුරක් ඇති අයකු මිටි කර පෙන්වා දීමට යොදා ගත හැකිය.

විකර්ණ රේඛා:- ක්‍රියාව සහ චලනය පෙන්වාදීමට යොදා ගනී.

සිග් සැග් රේඛා:- ව්‍යාකූලත්වය හා නොසන්සුන්තාවය පෙන්වාදීමට යොදාගනී.

වක්‍ර රේඛා:- චලනය ප්‍රකාශයට පත්කිරීම පෙන්වා දීමට යොදා ගනී.

බතික් නිර්මාණයේදී සමමිතික බව රැක ගැනීම සඳහාත් නැවත

නිර්මාණයේ පහසුව සඳහාත් වැඩි වශයෙන් ජ්‍යාමිතික

මෝස්තර නිර්මාණශීලිව යොදා ගැනීමෙන් නිර්මාණයට වටිනාකමක් එකතු වේ. මෙහිදී ඔබට ඇතිවන වාසිය නම් එවැනි මෝස්තර සඳහා ඔබට අච්චුවක් භාවිතා කිරීමට ඇති හැකියාවයි.

ශ්‍රී ලාංකීය පාරම්පරික මෝස්තර රටා සඳහා ද බහුලව යොදා ගෙන ඇත්තේ ජ්‍යාමිතික හැඩතල හා රේඛා බව අපට පෙනේ. එවැනි පාරම්පරික මෝස්තර බතික් නිර්මාණ සඳහා අතීතයේදී යොදා ගත් නිසා අප රටටම ආවේණික වූ බතික් මෝස්තර කලාවක් ලෝකයට හඳුන්වා දීම පිළිබඳව අපි ඔවුනට කෘතඥතාපූර්වක විය යුතුවේ.

 

 

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා

 

ඡායාරූප -අන්තර්ජාලයෙනි