කතුවැකිය

වැටත් නියරත් ගොයම් කා නම්...

ඔක්තෝබර් 9, 2019

‘ආරෝග්‍යා පරමා ලාභා’ යනුවෙන් බුදුහිමියන් දේශනා කළේ නීරෝගීබව මෙලොව ඇති එකම ලාභය වන හෙයිනි. අතීතයේ අපේ මුතුන් මිත්තන් වැඩිහිටියන් නීරෝගීව ජීවත් වුණු බව අපි අසා ඇත්තෙමු. එසේම වයසට ගොස් මිය යනතුරුම වාගේ ඔවුන් හොඳින් වැඩපළ කරගෙන සිටි බවද දැක ඇත්තෙමු.

එහෙත් වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවක් නොවූ අතීතයේ බෝවන රෝග වසංගත කාලයෙන් කාලයට පැතිර ගොස් මිනිසුන් ලෙඩ කර තිබේ. සමහර කාලවල මෙවැනි වසංගතවලින් මිනිසුන් සිය දහස් ගණන් එකවිට මිය ගිය අවස්ථා ද වාර්තා වී තිබේ.

මැලේරියා රෝගය, ළාදුරු වැනි රෝග ඊට උදාහරණ ලෙස ගත හැකියි.

එහෙත් බලධාරීන් විසින් ඊට සාර්ථකව මුහුණ දෙමින් සැලසුමකට අනුව ක්‍රියාත්මක වී ඒවා සාර්ථකව මෙරටින් තුරන් කිරීමට කටයුතු කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. මැලේරියා මර්දන ව්‍යාපාරය ඊට හොඳම උදාහරණයකි.

මේ සඳහා එදා සිටි රජයත්, සෞඛ්‍යය බලධාරීන්, වෛද්‍යවරුන් එම වැඩසටහන් මෙහෙයවූ නිලධාරීන් මෙන්ම ඒවා ක්‍රියාත්මක කළ කම්කරුවන් දිවා රෑ නොබලා වෙහෙස වූ බව අප අසා ඇත්තෙමු.

ඒ ඔවුන් සිය වගකීම, රාජකාරිය සහ යුතුකම තේරුම් ගෙන වැඩකටයුතු කළ හෙයිනි.

එහෙත් අද වනවිට මේ සියල්ලම වෙනස්වී තිබේ. ජනගහනයේ වැඩිවීමත් සමඟ සෞඛ්‍යය ගැටලු රාශියකි.

බෝවන රෝග, වසංගත රෝග නොමැති වුවත් දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, පිළිකා, වකුගඩු රෝග වැනි රෝගවලින් පෙළෙන්නන් බහුල වී ඇත.

මෙයට වර්තමානයේ අප ගන්නා ඇතැම් ආහාර මෙන්ම වැරැදි ආහාර පුරුදු, කය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොමැතිකම, ආතතිය, විෂ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය වැනි කරුණු හේතුවන බව සොයාගෙන තිබේ.

මේ නිසා ඖෂධ භාවිතය ඉහළ ගිය අතර විදෙස් රටවලින් ආනයනය කිරීමට අමතරව අපේම රටේ නිෂ්පාදනය කිරීමටත් රජය කටයුතු කළේය.

ඒ සමඟම බාල ඖෂධ බෙදාහැරීම, කල් ඉකුත් වීම නිසා විනාශ කිරීම සඳහා ඉවත් කළ ඖෂධ යළි ඇසුරුම් කොට වෙළෙඳ පොළට නිකුත් කිරීම වැනි කූට ව්‍යාපාර පිළිබඳව ද වරින් වර වාර්තා විය. ඒවා නීතියේ රැහැනට හසුවුණු අවස්ථා ද තිබේ.

මෙවැනි අවස්ථාවක එවැනි කල් ඉකුත් වූ ඖෂධයක් හෝ බාල වර්ගයේ ඖෂධයක් පිළිබඳව ඒවා ලබාගන්නා රෝගියාට දැනගන්නට හැකියාවක් නැත. එයින් රෝගය සුවවනවා වෙනුවට මරණය කරා යන ගමන ඉක්මන් වීමක් ද විය හැකිය.

මේ සටහන තැබෙන්නේ මෙවැනි දේටත් වඩා භයානක වූ ඖෂධ පිළිබඳව පසුගියදා සිදුවුණු තවත් එක් සුවිශේෂී හෙළිදරව්වක් නිසාය.

මේ බව හෙළිදරව් වුණේ කෝප් කමිටුව හමුවේ පැවැති පරීක්ෂණයකදීය.

“සතුන් යොදා පරීක්ෂා කළයුතු කැස්ස පැණිය රෝගීන් යොදා පරීක්ෂා කරලා” යන ශීර්ෂයෙන් යුතුව එය පුවත්පත්වල වාර්තා වී තිබිණි.

වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර සතුන් යොදා පරීක්ෂාවට ලක්කළ යුතු පැණියක් ආයුර්වේද ශික්ෂණ රෝහලට පැමිණි රෝගීන් පිරිසක් යොදා ගනිමින් සිදුකළ බව මෙහිදී හෙළි වුණු කාරණාවයි.

මේ පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත දැන් පරීක්ෂණයක් පැවැත්වෙයි.

පෞද්ගලික සමාගමක් විසින් ආනයනය කරනලද මේ කැස්ස පැණිය වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අනුමැතිය ලබාගත යුතු අතර ආචාර ධර්ම කමිටුව විසින් පරීක්ෂාවට ලක් කිරීමක් සිදු කළ යුතු වේ.

එහෙත් ඖෂධ පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කළ යුතු ආචාර ධර්ම කමිටුව නියෝජනය කරන දේශීය වෛද්‍ය මහාචාර්යවරයකු අදාළ පෞද්ගලික සමාගමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන බව ද අනාවරණය වී තිබේ.

කියන්නට ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නට ඒ අවනඩුව යන්නයි.