පාඨක නිර්මාණ

Week of නොවැම්බර් 25, 2020

දිය පිට දිය රැළි
තරංගා රණසිංහ ~
 
රළ පිට රළ නැග එන අහසට
මූදක දිය පිට  ඇදෙන ඔරුවක
රොත්තෙන් රොත්ත ඉපිලෙන මාළු අහිනට
දැල එළන වළලු දැතට ජීවිතය බරක් වේද?
 
මහ ජල කඳක දෙපතුළ තියාගෙන
අඹරවා ගෙන එන සුළං අල්ලගෙන
ඔරු කඳ මැද  ඉරණම ලියාගෙන
මසුන්  මරන්නියේ, නුඹ තනියම දැල එළන
 
බැද්දේ මල් පිපුණ ද රුවට රුවින්
බඹරුන් පියඹා  ආවත් මලට අයිති නැති
මලේ රේණු බිම වැටුණේ හිතේ දුකට
හීන හතක් මැද මල් පිපුණේ නැහැ දියපිට
 
සමුදුර ගඳ ද පීනා යන මාළුන්ට
රැල්ලෙන් රැල්ල හිඳෙනා වැවක දියට
හදවත දෙපලු වී හඬනා කඳුළු කැට
රන් කොත මුදුණේ කරඬුව දැනෙනවද?
 
පරාක්‍රම  සමුද්‍රයේ මසුන් මරන්නන්  අතර එකම එක්
 මසුන් මරන්නියක් තම දැල එළයි.
 
 
අපූර්ව ගුණය මේ නිර්මාණයේ විශේෂත්වයයි. මසුන් මරන්නියක් පිළිබද නිර්මාණයකට  පාදක විම දුලබ සිදුවීමකි. දුරුත්තේ කෝපිමල් කවි එකතුවෙහි මේ  නිර්මාණය හමුවේ.
මුතු කඳුළු
මංජුලා ක්‍රිෂාන්ති මෙන්ඩිස් ~ ගොවියාපාන - අහංගම
 
අහස  හරියට  දුක්බරයි ඈ
හඬන හිත වාගේ...
වැටෙන්නට අර අඳියි වැස්සක්
මෙන්න දැන් වාගේ....
 
කොපුල් තල මත වැටෙන රූරා
නෙත් කෙවෙනි  අඟ දිලිසෙනා මුතු
කඳුළු බිඳු වාගේ...
කඳුළු බිඳු  වාගේ...
 
හඬන අහසට  සුදු වලාකුළු
හාදු දෙයි රහසේ
කඳුළු නවතා අහස හිනැහේ
හිරු සමඟ රහසේ
හිත් අහස ළඟ මුමුණ මුමුණා
ආදරේ කීවේ
කවුරුදෝ රහසේ
 
 
 
මවකගේ ඉකිබිඳුම
තරංගා නෙළුම් ගුණතිලක ~ මුණගම - හොරණ
 
 
වැලට  ගෙඩි බර නැහැනේ මගේ දෝණියේ
පිපුණත් නුඹ මලක් වී පෙති අඩුය දෝණියේ
නොතේරුම්කම නුඹේ ඇත, අනෙක් දූ - වරුන් මෙන්නොව
නුඹ උපන් දවසේ - මහමෙරක් තරමට නුඹ ගැන සිතූ මට
නුඹගේ තතු දැනගත් මොහොතේ, දැනුණි  බර මහමෙරක් තරමට
 
මනස නොවැඩුණු දියණියක් බව - වෙදැදුරන් මට පැවසු මොහොතේ
සිරුරම මගෙ  කිළිපොලා ගියේ - දෙකපුල් තෙමී මගේ
වෑස්සුණු කඳුළු කැට, නුඹ වෙනුවෙන්ම දෙතනේ වෑස්සුණු
කිරිවලට වඩා වැඩිය  මගෙ දියණියේ
 
කමක් නැහැ දෝණියේ - මවක් වූයේ නුඹ නිසා මම
වඳ ගැහැනියක යන නාමේ - මැකූයේ නුඹේ අම්මාගේ
නුඹ තමයි මගේ දෝණියේ
ඒ නිසා නුඹට පිං - මගේ රන් දෝණියේ
මහමෙරක්  තරමට....
 
 
 
කිවිඳියගේ පරිකල්පනය තුළින් අත්දැකීම අපූර්ව එකක් බවට පත්කර ඇත. එය නැවුම්ය.
විරසක වූ හදක්
නිපුනි සන්ධ්‍යා රුද්‍රිගු ~ සුදුවැල්ල - මාදම්පේ
 
 
දුහුල් සළුවක් වී වලා ගැබ
අඳුරු සඳ මුවා කරවා
සිත්  අහස මේඝ නද
නොඉවසුම් දරා
ඔබේ හද මත
මගේ ඇස් ළඟ
කඳුළු ගංගා විසිරුණා
 
ඉරේ  රන් කෙඳි මතින්
සඳ එළිය දිලිසිලා
වෙඳැඟිල්ල සැරසුණා
පැතුම් මල් පිබිදී
මුව පුරා දෙඩු පෙම් වදන්
දෙහදක නැවතුණා
 
මැදියමේ අග තනිව ළතැවෙන
ඉකිබිඳින සිත ඒ වදන්
මුසාවක් යැයි මිමුණුවා
කටු තුඩක පෑරුණ රිදුම්
සයනයේ අග මියැදුණා
 
සුවඳ වත්සුණු දැනුණු හිත ළඟ
ආදරේ රන්සුණු සැඟවුණා
නුඹ දුරක - ඒත් නුඹේ හිත
මගේ ළඟ
හිතේ රූ මං  සලේ
ආදරය ඉතිරුණා
 
 
අංජනම් දේවී....
දසුනි සවින්ද්‍යා වික්‍රමආරච්චි ~ වැල්ලවාගාර - මාදම්පේ
 
 
සුවඳ දුම් පිරි පාළු දෙවොලක
කොනක තිබූ ඒ කළු අඳුන්තිල
මතට වැඩ සිටි ඔබේ රන්රුව
ගෙනගියා මා ඈත බවයට
 
රෙගත් දොමි  කිට තකිට දොමිතක
දෙවොලෙ හඬ දෙන දවුල් බෙරපද
කැඳවූවා ඈ මගේ දෙවොලට
වඩිනු මැන දේවියේ අංජන
 
දෙවොල සරසන  ඔබේ සිනහව
සිහිකලා මට පැරැණි සෙනෙහස
එදා සොඳුරිය වගේ ළඟ ඔබ
සසරෙ හුරුවට නැවත හමුවුණ
 
දිවියෙ සතුටට සිතූ මාහට
ලැබුණෙ මනුලොව සෑම බවයෙම
සසරෙ  එකටම යන්න පැතු ඔබ
තනිව දෙවුලොව වැඩියෙ කෙලෙසක
 
හමුවීම වෙන්වීමෙ ඇරැඹුම
සතුටු වී නම් දුකකි අතළඟ
මෙය කියා දුන් එකම ලිය ඔබ
සසරෙ  තවමත් හමුව වෙන්වන
 
 
 
 

Week of නොවැම්බර් 25, 2020