ඉතිහාසයක් ලියූ නව කොරෝනා

අප්‍රේල් 15, 2020

2020 යනු අපූරු අංක පෙළගැස්මක් වුව ද එය මානව සමාජයට මේ වන විටත් බියකුරු මතකයක් වී අවසානය. ඒ නව කොරෝනා වෛරසය නිසාය. තවත් වසර දෙකක්වත් යන තුරු මේ රුදුරු වෛරසයේ දරුණු පලවිපාකවලට මානවයාට මුහුණ පෑමට සිදුවනු ඇත.වෛරසයෙන් ඉතිහාස ගතවුණු කළු පැල්ලම් බොහෝය. ඒ අතර අඳුරු වලාවක රිදී රේඛාවන් මෙන් මිහිරි අත්දැකීම් ද එකක් දෙකක් නැතුවා නොවෙයි.

සුසානා කැපුටෝවා ස්ලෝවැකියා රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරිය මෙන්ම එරට ජනාධිපති ධූරයට පත්වූ ළාබාලම පුද්ගලයා ද වෙයි. එහෙත් ඇයට පෙබරවාරි ‍මාසයේ දිවුරුම් දීමට සිදුවූයේත්, ඇය ඉදිරියේ ඇමැති මණ්ඩලයට දිවුරුම් දීමට සිදු වූයේත් මුඛ ආවරණ පැලඳ ගෙනය. මේ නිසා ඇය මුඛ ආවරණයක් පැලඳ ජනාධිපති ධූරයට පත් ඉතිහාසෙය් පළමු ජනනායිකාව ද විය හැකිය.

දෙදරු මවකවූ හතළිස් හය හැවිරිදි සුසානා 2019 පැවැති ජනාධිපතිවරණයේදී 58% ක ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගත්තාය. ඇය නීතිඥවරියකි. පරිසර ක්‍රියාකාරිනියක ද වන සුසානා අසල්වැසි රාජ්‍යයන් සමඟ මිත්‍රත්වෙයන් කටයුතු කරන්නියක ලෙස ප්‍රකටය.

ස්ලෝවැකියා මධ්‍යම යුරෝපයේ කුඩා රාජ්‍යයකි.

 

එළිසෙබත් මහ රැජනගේ රාජකීය කතාව

 

දෙවැනි එළිසෙබත් මහ රැජන යනු යුග යුග නම රැන්දූ පිය උරුයේ කිරුළ පමණක් නොව ලෝ වාසීන්ගේ ආදරයේ කිරුළ ද දිනූ නායිකාවකි. ඇය තැබූ වාර්තාවන් අතරට කොවිඩ් - 19 නිසා තවත් වාර්තාවක් එක් විය.

මහ රැජන ආවාට ගියාට කතාපවත්වන්නියක නොවෙයි. සිය 68 වසරක රාජ්‍ය කාලෙය්දී ඇය මෙසේ ජාතිය අමතා ඇත්තේ පස් වතාවක් පමණි. වාර්ෂිකව නත්තල් පණිවිඩය රැගෙන ආව ද මෙවැනි සාරගර්භ කතාවක් ඇය පවත් වන්නේ සිය රාජ්‍ය මෙවැනි මහා වියවුලකට පත්ව සිටින අවස්ථාවකදී පමණි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රට දැන් මුහුණ පා සිටින්නේ පරපුරේ දැවැන්තම සෞඛ්‍ය අර්බුදය බව ප්‍රකාශ කරද්දී මහ රැජන නිහඬව නොසිටියාය.

93 වැනි වියේ පසුවන මහ රැජන මෙසේ නොබියව තමන්ව ජාතියට අවශ්‍යම වේලාවේ කළ කතාවට සමස්ථ ලෝකවාසීන්ම ආදරය කරයි. මහ රැජන කොවිඩ් 19 වෛරසය පරාජය කිරීම සඳහා බ්‍රිතාන්‍ය ජනතාව එකාවන්ව එකමුතු කිරීමේ අරමුණින් කරනු ලැබූ කතාව මිලියන 23.3 ක ජනකායක් නරඹා ඇති අතර එය එදාමෙදා තුර එරට ජනකායක් වැඩිවශයෙන්ම නැරැඹූ වැඩ සටහන් දහයෙන් එකකි.

ඇය බ්‍රිතාන්‍ය වැසියන්ට කොරෝනා යුද්ධයට එරෙහිව සටන් වදින්නට ආරාධනා කෙළේ අපි නැවත හමුවෙමු යන වදන් පෙළන් ආදරණීය බලාපොරොත්තුවක් සිත් තුළ ඇතිකරමිනි.

වියපත් වුව ද රැජනගේ ගාම්භීර හඬ පෞරුෂයේ කිසිදු වෙනසක් දක්නට නොලැබුණි.

ඇය දෙවැනි ලෝක යුද සමයේදීද (1940 දී) ගුවන් විදුලියෙන් නව යොවුන් දැරියක ලෙස ජාතිය අමතා තිබේ.

 

කොරෝනාව පැරදවූවෝ

ගලේ ගැසුවත් මාරයාට පරාජය කළ නොහැකි පුද්ගලයන් අප අතර ජීවත් වෙයි. 107 හැවිරිදි ඔලන්ද ජාතික කෝනෙලා රාස් එවැන්නියකි. 2020 ගෝලීය වසංගතයේ ගොදුරක් නොවුණු ඇය කෝවිඩ් වෛරසයෙන් දිවි ගලවා ගත් වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙයි. කෝනෙලා රෝගීවී ඇත්තේ ත් හරියටම ඇයගේ 107 වන උපන් දිනය යෙදුණු මාර්තු 16 වැනි දිනට පසු දිනය.

පල්ලියේ දේව මෙහෙයට සහභාගී වී පැමිණි පසු ඇයට අසනීප ගතියක් දැනී තිබේ. ඇය සමඟ දේව මෙහෙයට සහභාගී වූ වැඩිහිටි නිවාසයේ හතළිස් දෙනාටම වෛරසය ශරීරගතවී ඇති බව පරීක්ෂණවලින් හෙළිවිණි. එයින් දොළොස් දෙනකුම මිය ගිය ද කෝනෙලා පරාජය කිරීමට කොරෝනාට නොහැකි විය. පවුලේ කිසිවකු ඇය දිවි බේරා ගනීවි කියා සිතුවේ නැත.

කිසිදු නිදන්ගත රෝගයක් නැති ඇය තවමත් සැරයටියක වාරු නොමැතිව දෙපයින් ඇවිදියි.

 

කොරෝනා මඬින ගැහැනු මොළ

පිරිමින් නායකත්වය දෙන රටවලට වඩා කාන්තාවන් නායකත්වය දෙන රටවල කොරෝනා මර්දනය සාර්ථකව සිදුකෙරෙමින් පවතියි. ඊට හොඳම උදාහරණ සපයන දේශයන් වන්නේ ජර්මනිය සහ නවසීලන්තයයි. අප්‍රේල් 13 වැනි දින වන විට නවසීලන්තයෙන් රෝගීන් 1,349 ක්වාර්තාවී තිබුණු අතර මිය ගොස් සිටියේ පස් දෙනකු පමණි. නවසීලන්ත අගමැතිනිය වූ ජැසින්ඩා ආඩන්ගේ නායකත්වය මේ සාර්ථකත්වයේ යෝධ ශක්තිය විය. බෝවීමේ දාමය ආරක්ෂක පවුරෙන් බිඳ හෙළමු යන තේමා පාඨයෙන් ඇය සිය ජනතාව මෙහෙය වූවාය.

අනෙක් සාර්ථක කාන්තා නායකත්වය ජර්මනියේ චාන්සලවරිය ඇන්ජලා මර්කල්ගෙනි. ජර්මනියේ ලක්ෂයක් ආසාදිත පුද්ගලයන් හමුවූ නමුදු මරණ සංඛ්‍යාව සියයට 1.6 කට සීමා විණි.

ඒ ඇය කඩිනමින් රෝගය සඳහා පරීක්ෂණ කිරීම ඇරැඹූ බැවිනි.

අපේ රටේ ද සුව ඇමැති ධූරය දක්ෂ ක්‍රියාශූර ඇමැතිනියක වන පවිත්‍රා වන්නිආරච්චි විසින් දැරීම රෝගීන්ගේ සංඛ්‍යාව මෙපමණ සීමා වීමට හේතුවක් වී ඇති බව අවිවාදයෙන් කිව යුතුය. ගෝඨාභය රාජපක්ෂ ජනපත්තුමන්ගේ කොරෝනා මර්ධනය කිරීමේ දූරදර්ශී වැඩපිළිවෙළට ඇය සැබෑම ශක්තියක් වී තිබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.