අනුරාධා අපි අතරට ආවේ වාසනාවත් අරගෙන

දශක හතරකට නොඅඩු ආදරණීය බැඳීමක්...
ජූලි 22, 2020

ආදරණීය බැඳීම්වලින් යුතු සොඳුරු කැදැල්ලක හෝරාවක් ගෙවීමට ලැබීම සත්‍ය ලෙසින්ම ආදරණීය අත්දැකීමකි. අද අපි ආදරණීය හෝරාවක් ගත කිරීම සඳහා තෝරා ගත්තේ රටක් ආදරය කරන කලා යුවළකගේ සොඳුරු කැදැල්ලයි.

බොහෝ ළෙන්ගතු අයුරින් අප පිළිගත්තේ සංගීත් නිපුන් සනත් නන්දසිරි නම් වූ ප්‍රතාපවත් සංගීතවේදියාගේ සෙවණැල්ල මෙන් සිටිමින් ඔහුගේ සාර්ථකත්වයට අත්වැල් සැපයන ඔහුගේ ආදරණීය බිරිය මල්කාන්ති නන්දසිරි ය.

ඔබ කලාවට අත්පොත් තිබ්බේ කොහොමද?

මම කතෝලික පවුලක වැඩිමල් දියණිය. මට බාල නංගිලා මල්ලිලා ගොඩක් ඉන්නවා, නිර්මලා රණතුංග, නිරංජලා සරෝජනී, සකුන්තලා පීරිස්, කුමාර් පීරිස්, බඩපිස්සා මනෝජ් පීරිස්. අපි පවුලේ අය හරිම එකමුතුයි, කුරුලු කූඩුවක් වගේ.. අපි කතෝලික පරිසරයක හැදුණේ. අපේ තාත්තා කතෝලික ඉංග්‍රීසි පුවත්පතක (ද මෙසෙන්ජර්) ප්‍රධාන කර්තෘවරයා විදියට කටයුතු කළා. මම මුලින්ම ශාන්ත ජෝසප් කොන්වන්ට් එකට තමයි පාසල් ගියේ. ඊට පස්සේ මම විද්‍යා විෂයයන්ට ආස නිසා මාව කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට දැම්මා.. මොකද ඒ පාසලේ විද්‍යාගාරයක් තිබුණා. ඒ නිසා මම හයවෙනි පන්තියේ දී තමයි ඒ පාසලට ගියේ.. අපේ ගෙදර රේඩියෝ ෆියුෂන් එකක් තිබුණා. ඉස්සර මේකට මාසෙකට රුපියල් 10ක් ගෙවන්න ඕනේ.. උදේ ඉඳන් රෑ වෙනකල් ඒක දාලමයි තිබු‍ණේ. කුස්සියේ ඒක සවි කරලා තිබුණේ අම්මා නිතර ගැවසෙන තැන නිසයි. අම්මා සංගීතයට හරිම ආසයි. රේඩියෝ ග්‍රෑම් එකකුත් ගෙදර තිබුණත් අපි කාටවත් ඒක අල්ලන්න අවසර තිබුණේ නෑ..

මම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක්. ඒ වගේම තමයි පාසලේ හැම විවිධ ප්‍රසංගයකම, සාහිත්‍ය සමිතිවල ගීත ගායනා කළා. අම්මා හරි ආසයි මම සින්දු කියනවා අහන්න, එයත් හිමින් ඒක මුමුණනවා. මට අවුරුදු දහයේදී අම්මා ගුවන්විදුලියේ තිබුණු ‘ආධුනික පැය‘ කියන වැඩ සටහනට අයදුම්පතක් දාලා ඒකෙ පරීක්ෂණයකට මාව එක්කන් ගියා. ඒක මෙහෙයුවේ ආරියදාස පීරිස් මහත්තයා. පරීක්ෂණයෙන් සමත් වුණ මගේ ගීතයක් වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වෙනකොට මට වයස අවුරුදු දහයයි මාස දහයයි. මේ ‘ආධුනික පැය‘ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්න මට හැකි වුණා. ගුවන් විදුලි සංස්ථාවේදී කරුණාරත්න අබේසේකර මහතා අපේ අම්මට කිව්වා ‘මෙයා දක්ෂයි, ඒනිසා ළමා පිටියට දාන්න..‘ කියලා. ළමා පිටිය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ. කරුණාරත්න අබේසේකරයන්, සරත් විමලවීර, බී.ඩී. ඩැනී, තිලකසිරි ප්‍රනාන්දු මේ සියලු දෙනා මට මුණගැහුණේ ළමා මණ්ඩපය තුළදී..

ඒ වගේම රූපා ඉන්දුමතී, ලාලනී සෝමසිරි, යසපාල පෙරේරා මගේ ළමා මණ්ඩපයේ සමකාලීනයෝ.

මම පාසලේත් අධ්‍යාපන කටයුතු හොඳීන් කරගෙන ගියා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා ඉඳිද්දි විභාගයෙන් පසුව මට පාසලෙන් ම ඇරැයුම් කළා ප්‍රාථමික අංශයේ ගුරුවරියක් ලෙස සේවය කරන්න කියලා.. සී.ටී. ප්‍රනාන්දු අපේ පවුලේ හිතවතෙක්. ඔහු දිනක් අපේ අම්මගෙන් ඇහුවා සංගීත සංදර්ශනයකට මාව එක්කගෙන යන්න ද කියලා.. ඔහු ගැන තිබූ විශ්වාසය නිසා අම්මා මාව ලොකු මල්ලිත් එක්ක නුවර ලේක් ක්ලබ් එකේ තිබුණු එම සංදර්ශනයට යැව්වා.. ඒ කාලේ හින්දි තනුවලට සිංහල වචන දාපු සින්දු තමයි මම ගායනා කළේ.. මට ඒවා නිර්මාණය කරලා දුන්නේ දයා ද අල්විස්, රත්නා ලංකා අබේවික්‍රම. ඒ වෙනකොට මට වයස 18 යි. මේ ගීතවලට මිනිස්සු ගොඩක් කැමැති වුණා..

 ඔබේ ජීවන ගීතය ගයන්න සහායක ගායකයා හම්බවුණේ කොහොමද?

හොඳ ගීත රචකයෙක් වුණු විමලධර්ම ජයවීර මට කතා කළා වෙසක් නාට්‍යයක ගීත ගායනා කරන්න. එවෙලේ ඔහු කිව්වා මේ ගීතවල තනු නිර්මාණය කරන කෙනා ඉන්දියාවේ සංගීතය ඉගෙන ගත්ත කෙනෙක් ලංකාවට ඇවිත් සතියයි කියලා. මම ඒ කාලේ හින්දි සින්දු අහනවා, චිත්‍රපටි බලනවා, ඒ නිසා මම ඉන්දියාවට හරි ආසයි. ඉතිං මට මේ වැඩේට සම්බන්ධ වෙන්න හරි ආසාවක් ඇති වුණා. මේ ගීත පටිගත කරන තැනට ගියාම සර්පිනාව වාදනය කරන්න හිටියා සුදු ලස්සන ඉන්දියන් කෙනෙක්. එයාලා ඉන්දියාවෙන් ආවෙ කියලා කිව්වේ.. මම එතැනට යනකොට එයාලා වෙනත් භාෂාවකින් කතා කළා.. නංගි වාඩිවෙන්න කිව්වම මම බිම ඉඳගත්තා.. පස්සේ කාලේ මහත්තයා මට කිව්වා එයා එතැන අයත් එක්ක කිව්වලු බලන්න කිසි හැදියාවක් නැති ගෑනු ළමයෙක් කිසි ගාණක් නැතුව දඩස් ගාලා බිම ඉඳගත්තනෙ කියලා.. මම ඒ කාලේ බොලඳ කෙළිලොල් චරිතයක්. දැන් අය වගේ හැඩවැඩ වෙලා ගියේ නෑ, කොට සායකුයි ෂර්ට් එකකුයි ඇඳගෙන ගියේ.

 

2020/07/22 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.