අමිලගම බලන්න යනකොට හොරෙන් ම මගේ ඇඳුම් බෑග් එකත් වාහනයට දාගත්තා

බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජී. එම්. මාලා පෙරේරා
දෙසැම්බර් 30, 2020

 

යම් ආයතනයක මුල් පුටුවක් හෙබවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එවැනි තැනකට පැමිණීමට ජීවිතයේ බොහෝ කැපකිරීම් කිරීමට සිදු වේ. එබැවින් කාන්තාවකට එය ලෙහෙසි පහසු කාර්යයක් නොවන තරම් ය.

කාන්තාවක සතු පවුලේ වගකීම් යුතුකම් සමඟින් වෘත්තීය දිවියේ ජයග්‍රහණ ලබා ගැනීම අභියෝගයකැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. එහෙත් නිසි ලෙස තම කාර්යයන් සිදු කරන අයකුට ඒ සාර්ථකත්වය ලබා ගැනීම සිතන තරම් අපහසු කාර්යයක් ද නොවන බැව් ඇය අපට පසක් කළාය.

බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජී. එම්. මාලා පෙරේරා යනු තමා කරන කාර්යය නිසි ලෙස කිරීමෙන් නිසි තැන ලැබෙන බව අපට සාධක සහිතව ඔප්පු කළ තැනැත්තියකි. දැනට ලොව පුරා පවතින වසංගත තත්ත්වය හමුවේ අපේ රටේ දේශීය වෛද්‍යවරියක ලෙස මෙන්ම බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වරිය ලෙසත් ඇය සතු කාර්යභාරය ඉමහත් ය.

ඇය පැමිණි ගමන් මඟ පිළිබඳ මෙන්ම ඇයගේ වත්මන් කාර්යභාර්ය පිළිබඳ දැනගැනීම සඳහා මාලා වෛද්‍යතුමියගේ කාර්යාලයේ දී අපි ඇය හමුවුණෙමු.

හැම කෙනකුගේම ජීවිතයේ පදනම වෙන්නේ පාසල. ඒ නිසා ඔබේ පාසල් කාලයෙන් ම කතා බහ පටන් ගනිමු..

මම මුලින් ම ගියේ පහත්ගමුව රෝමානු කතෝලික කණිෂ්ට විද්‍යාලයට, ඉන් පසුව හංවැල්ල මධ්‍ය විද්‍යාලයට ගියා. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ පළමු වැනි උපාධිධාරී කණ්ඩායමට ඇතුළු වීමට හැකි වුණා. ඒ කාලේ රටේ පැවැති වාතාවරණයත් සමඟ ම වැඩිම කාලයක් විශ්ව විද්‍යාලයේ රැඳුණ පිරිස වුණේ අපි. සාමාන්‍යයෙන් අවුරුදු පහක කාලයක් වුවත් 1982 අධ්‍යයන වර්ෂයට විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා අපි ඉන් පිට වුණේ 1989 වර්ෂයේ. ඒ නිසා මුල්ම පත්වීම ලැබුණේ 1992 වර්ෂයේ දී..

මට මුල්ම පත්වීම ලැබුණේ ඌව පළාතේ අමිලගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවට. දෙවැනි පත්වීම බදුල්ල දිස්ත්‍රික්කයේ ම කළුපහන මධ්‍යම බෙහෙත් ශාලාවට. ඌව පළාතේ වසර 5 කට ආසන්න කාලයක් සේවය පිරීමෙන් පස්සේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයට පැමිණියා. එහි වසර 15 ක් සේවය කිරීමෙන් පසුව බස්නාහිර පළාතේ පළාත් රෝහල කියන මීගොඩ රෝහලේ නේවාසික වෛද්‍ය නිලධාරී ලෙස වසර 5 ක් පමණ සේවය කළා.

ඉන් පස්සේ ලංකාවේ පළමු වතාවට ආයුර්වේද වෛද්‍ය සේවයේ අධි ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණයකින් තේරුවා. මම අධිශ්‍රේණියේ නිලධාරියෙක් ලෙස තේරුණ නිසා මට බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් තනතුර හිමි වුණා.

ඈ පැමිණි ගමන් මඟ පිළිබඳ බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස් තුමිය අපිට කෙටියෙන් එසේ පැහැදිලි කිරීමක් කළ ද එය ලෙහෙසි පහසු ගමනක් නොවූ බව නම් ඒකාන්ත ය.

දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මුල්ම කණ්ඩායමට ඇතුළත් වීමට ඔබට පසුබිම සැකසුණේ කොහොමද?

අපි උසස් පෙළ නිමා වී සිටින කාලයේ දී මගේ මිතුරියකගේ මවක් තමයි මේ ගැන කිව්වේ.. මගේ මිතුරිය බටහිර වෛද්‍ය පාඨමාලාවට තේරුණා, ඇගේ මව මට පෝස්ට් කාඩ් එකක් එවලා තිබුණා වෙද විදුහලක් ආරම්භ කරනවා ඒගැන සොයා බලන්න කියලා. ඒ ගැන තොරතුරු සෙව්වාම දැනගන්න ලැබුණා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය ඕඒර්ඉ කියලා නව පාඨමාලාවක් ආරම්භ කරන බව.

අපි මේ ගැන ගෙදරදිත් කතාබහ කළා.. ලංකාවේ පළමුවෙන් ම අරඹන පාඨමාලාවක් නම් එයට වැඩි අවස්ථාවන් ලැබෙන බව අපේ පවුලේ අයත් කිව්වා. ඒ නිසා තමයි මේ පාඨමාලාවට ඇතුළු වුණේ. වෙදකම ගැන දැනුමක් හෝ විශේෂ කැමැත්තක් ඒ අවස්ථාවේ දී තිබුණේ නැහැ. ඒත් එහි අධ්‍යපනය ලබනකොට ඒ ගැන මට ලොකු උනන්දුවක් ආසාවක් ඇති වුණා. එය කොයිතරම් ද කියනවා නම් පළමු වසරේදී දෙවනපෙළ ඉහළ සාමාර්ථයක් ලැබුවා. ඒ වගේ දිගටම ඉහළ සාමාර්ථයන් ලබා ගත්තා.. අවසාන විභාගයේ දී පවා දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට හැකි වුණා.

ඉහළ සාමාර්ථයන් ගත් හැමකෙනෙක් ම වගේ ගුරු මඬුල්ලට එකතු වුණා.. ඒ වුණත් මට කථිකාචාර්යවරියක් ලෙස සේවය කිරීමට වඩා අවශ්‍ය වුණේ මිනිස්සුන්ට බෙහෙත් කිරීමටයි.

ඔබේ සේවා කාලයේ මුල් වකවානුවේ දී එය අභියෝගයක් වෙන්නට ඇති..

ඔව්, අනිවාර්යයෙන් ම. දෙපාර්තමේන්තුවේ හැඳින්වීමේ හැටියට අමිලගම අතිදුෂ්කර ප්‍රදේශයක්. විදුලිය, නල ජලය නැති කඳු ගැටයක් උඩ පිහිටි ගමක්. නමුත් ලස්සන ප්‍රදේශයක්. අපේ ඌව පළාත් ප්‍රධාන කාර්යාලය තිබුණේ දියතලාවේ. එවකට හිටිය කොමසාරිස් තුමා මට කිව්වා ඒක හරිම දුෂ්කර නිසා දියතලාවට ළඟ තැනක ඉන්න කියලා. ඒත් මට වුවමනා වුණා පත්වීම ලැබුණු තැන මොනවගේද කියලා බලන්න. ඔහු කිව්වා, බලන්න එක්ක යනකල් රෝහලේ සේවය කරන්න කියලා.. අමිල ගම බලන්න යනකොට මම හොරෙන්ම මගේ ඇඳුම් බෑග් එකත් වාහනයට දාගත්තා.

ලංකාවේ තිබුණු විවිධ කලබල ආදිය නිසා එය වසර ගණනාවක් පාළුවට ගොස් කැලෑවකින් වැහිලා තිබුණේ.. ඒ නිසා මෙය තරමක අභියෝගයක් වුණා. ගමේ මිනිස්සුන්ට වෛද්‍යවරයකුගේ දැඩි වුවමනාවක් තිබුණ නිසා වරුවකින් ඒ ස්ථානය ශුද්ධ පවිත්‍ර කරලා මට නැවතීමට කාමරයක් වගේම තනියට නවතින්න ආච්චි කෙනෙකුත් කතාකරලා දුන්නා. ඒ වගේම මමත් ඔවුන්ට අදටත් මතක තිබෙන ආකාරයේ සේවයක් සිදු කළා. අදටත් ඔවුන් සමඟ සබඳතා පවත්වනවා. මට දුරකථනයෙන් කතා කරනවා.

ආයුර්වේද වෛද්‍යවරයකු සතුව තිබෙන දැනුම මොන වගේද?

අපේ පාඨමාලාවෙදි බටහිර වෛද්‍ය ක්‍රම ගැනත් දැනුමක් ලබා දෙනවා. එහෙම කරන්නේ බටහිර විදියට වෙදහෙදකම් කරන්න නෙවෙයි. ආයුර්වේද වෙදකමට එන රෝගියා බටහිර වෙදකම කරලා ආවොත් ඒ දේ කුමක්ද එතනින් එහාට අප කළ යුතු දේ කුමක්ද කියලා දැන ගැනීමට තමයි ඒ දැනුම අපි උපයෝගී කරගන්නේ... මේ දැනුම මට දුෂ්කර ප්‍රදේශයේ සේවය කිරීමේ දී වඩාත් ප්‍රයෝජනවත් වුණා. මම තුවාල මැහුවා, ඒවාට අවශ්‍ය උපකරණ මට ඉල්ලූ පමණින් ම ලැබුණා. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ තුවාල ආදිය දුරුකතර ගෙවාගෙන නගරයේ රෝහලට යාමට පෙර ගමේදිම හොඳ කිරීමට ලැබීම මම ලද ජයග්‍රහණයක්. මිනිස්සුන්ටත් මාගැන මේ නිසා විශ්වාසයක් ගොඩනැගුණා.

ඌව පළාතේ බොහෝ තැන්වල පැවැති විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙක් ලෙසින් සහභාගී වුණා. දැන් වගේ ප්‍රජා සෞඛ්‍ය සේවය ඒ දිනවල තිබුණේ නැති නිසා මෙය ගම්වල ජනතාවට වඩාත් වැදගත් සේවයක් සලසන්නක් වුණා. කතරගම දක්වා සෑම ප්‍රදේශයකම මේ වෙනුවෙන් සංචාරය කිරීමට මට හැකි වුණා. මේ හැමදේම කළේ අමිලගම මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍යවරිය ලෙස කටයුතු කරන අතරේමයි. මම අහවල් දවසේ එන්නේ නැහැ කිව්වොත් ගමේ මිනිස්සු ඊට පෙර දවසේ රාත්‍රිය දක්වා බෙහෙත් ගැනීම සඳහා පැමිණෙනවා. ඒ නිසා කවදාවත් ආයතනය වහලා නිසා බෙහෙත් ගන්න බෑ කියලා කිසිම දවසක පැමිණිල්ලක් ඇවිල්ලා නෑ. මම මගෙන් විය යුතු කාර්යය නොපිරිහෙලා ඉටු කළා.

මම ගමේ ආවෙත් මාස තුනකට විතර සැරයක්. ඒ තරමට ම මම කැපවීමෙන් එහි සේවය කළා. මට ගෙවල් ළඟ තැනක සේවය කරන්න , පහසු තැනක සේවය කරන්න අවශ්‍ය වුණේ නෑ.. මගේ සේවය වඩාත් අවශ්‍ය තැනට ලබා දීම තමයි මගේ අරමුණ වුණේ. ආධුනික කාලයේ පවා අනෙක් වෛද්‍යවරුන්ගේ අඩුපාඩු ඇති රෝහල්වලට ගිහින් මම සේවය කළා.

ඒ වගේම මම කිසි වෙලාවක මගේ ප්‍රධානීන් සමඟ ගැටුම් ඇතිකර ගත්තේ නෑ.. හැම වෙලාවෙම මගේ අදහස් ඉදිරිපත් කළා, යම් මතයන් ගැන මතවාද තිබුණා. ඒත් ඒවා දිගින් දිගට ගෙනයාමට හෝ තරහමරහ වීමට මට අවශ්‍ය වුණේ නැහැ. හැම විටම සුහදශීලීව කටයුතු කළා.

මම නිතරම නීතියට අනුවයි වැඩ කළේ. මම පවතින නීති රීතිවලට අනුගතව වැඩ කරනකොට මගේ යටතේ වැඩ කරන අයටත් නීතියට පිටින් යන්න බෑ.. කොටින්ම මම බෙහෙත් ගත්තත් ඒකට චිට් එකක් දානවා. නීතිය හැමෝටම පොදු වුණා.

එහිදී ඔබ ලබා ගත් අලුත් අත්දැකීම්, සාර්ථකත්වය ලැබූ කාර්යයන් ගැනත් කතා කරමුද..

මම අමිලගමදි වගේම දෙවැනියට පත්වීම ලැබූ කළුපහනෙදි පවා අරිෂ්ට සහ ආසව යන දෙවර්ගයේ බෙහෙත් අඩු මුදලකට නිෂ්පාදනය කළා. ඒ සඳහා එම ප්‍රදේශයේ තිබෙන බෙහෙත්බඩු වර්ග මිනිසුන් ලවාම ගෙන්වා ගත්තා. එයින් ලැබෙන ප්‍රතිලාභ පවා ඔවුන්ට ම ලබා දුන්නා. එමඟින් ඔවුන්ට එම ද්‍රව්‍ය ගැන දැනුමක් ලැබුණ නිසා බෙහෙත් සඳහා ලබා ගන්නා ගහ කොළ රැකීමකුත් වක්‍රාකාරයෙන් සිදු වුණා.

ඒවගේම සමහර ප්‍රතිකාර ක්‍රම රෝගීන්ට පහසු වෙන ලෙසින් වෙනස් කළා. ආයුර්වේද බෙහෙත් කිව්වාම ගොඩක් අය තරමක් අදිමදි කරන්නේ ඒවා හදා ගන්න බෑ කියන දේ නිසයි. ඒ නිසා මම සරල බෙහෙත් වට්ටෝරුවල බෙහෙත් ද්‍රව්‍ය කුඩුකර තබාගෙන එම කුඩුවලින් පත්තු එවෙලේම සකසා දීමේ ක්‍රමයක් දියත් කළා. අපි එවෙලේ බෙහෙතක් බඳිනවා සහ අනෙකුත් ප්‍රතිකර්ම ඔවුන්ට ම කරගැනීමට හැකි වන ලෙසින් ක්‍රමවේදයක් සකස් කළා. වෛද්‍යවරියක් ලෙස මම උපරිම තෘප්තියකින් සේවය කළා.

මගේ සේවය ගැන ඉහළ නිලධාරීන් පවා සතුටු වුණා. කොළඹ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී විශාල අභියෝග ගණනාවකට මුහුණ දුන්නා. 1996 වසරේදී තමයි මම ඒ ආයතනයට පැමිණියේ.. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එකතුවෙලා වැඩසටහන් කළා. උපස්ථායක, සම්බාහක, ඖෂධ සංයෝජක, හෙද වැනි සේවකයන්ගේ උසස් වීම් සඳහා නිසි ක්‍රමවේදයක් තිබුණේ නෑ.. ඒවා නිසි ක්‍රමවේදයක් අනුව සකස් කළා. රට පුරා පවතින සම්බාහන ආයතනවල සිටින සම්බාහකයන් සඳහා විධිමත් පුහුණුවක් සහිත පාඨමාලාවක් අපේ ආයතනය මඟින් ලබා දීමට කටයුතු කළා. නමුත් එය කණ්ඩායම් 5 ක් පමණයි සිදු කිරීමට හැකියාව ලැබුණේ.

මම මෙහිදී දින හතම රැකියාව කළා. ඒ තරමට ම මම ඒ දේවල් වෙනුවෙන් කැප වුණා. ඇතැම් අය හිතුවේ මම දින හතේ ම රැකියාව කරන්නේ ඉන් මට කුමනාකාරයේ හෝ ප්‍රතිලාභයක් ලැබෙන නිසා කියලයි. කවුරු මොනදේ හිතුවත් මම මගේ කාර්යයන් දිගටම කරගෙන ගියා.

අදත් ඒ දේවල් මම එතනින් එළියට බැහැපු දවසේ තිබූ තරමින් ම නතර වෙලා.

ඒ දේවල් ඉන් එහාට ක්‍රියාත්මක වෙලා නෑ. මම ආයුර්වේද හෙදියන් පුහුණු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. එය පවා මේ වන විට නැවතිලා. මම සම්ප්‍රදායම නොකර තරමක් ඉන් පිටතට යන කෙනෙක්.

මම මීගොඩ වෛද්‍යායතනයේ වෛද්‍ය නිලධාරී ලෙස ඉන්නාවිටත් පැවසුවේ මිනිසුන්ට ඉක්මනින් සුවයක් ලැබෙන ලෙසින් ප්‍රතිකාර විධි කරන ලෙසයි.

සති දෙකක් ගත වන විට රෝගයේ යම් කිසි සුවයක් ලැබෙන ලෙසින් ප්‍රතිකාර කිරීමට ඉඩකඩ සැලසුවා. එය තවදුරටත් ඉදිරියට ගෙනත් දිනයක් තුළ රෝහලට ඇතුළත් වෙලා ප්‍රතිකාර ගෙන පිටවී යාමට හැකි ඩේ ඇඩ්මිෂන් ක්‍රමයක් ක්‍රියාත්මක කළා. අදටත් ඩේ ඇඩ්මිෂන් ක්‍රමයට ප්‍රතිකාර කරනවා. මේ දේවල් වෛද්‍යවරයා ම සිදු කිරීමත් විශේෂත්වයක්. විශේෂ ප්‍රතිකාර ඒකක ඇති කළා.

මේ කුමන දෙයක් කළත් මම යටිපෙළක් හැදූ නිසා ඒ දේවල් තාමත් ක්‍රියාත්මක වෙනවා. දක්ෂතා තියෙන ආධුනික වෛද්‍යවරුන්ට මම අවස්ථාව ලබා දුන්නා. රාජකාරියත් සතුටින් කිරීමට හැකි විය යුතුයි.

ආයුර්වේදය හා දේශීය වෙදකමේ තියෙන වෙනස්කම් මොනවද?

පනත අනුව ආයුර්වේදය කියන එක හඳුන්වලා තියෙන්නේ ආයුර්වේද, දේශීය වෙදකම, ආසියාතික රටවල පවතින දේශීය වෙදකම්වල සම්ප්‍රයුක්තියක් ලෙසයි. එවිට අපේ දේශීය වෙදකම පමණක් ම නෙවෙයි.

ඉන්දියාවේ පවතින ආයුර්වේදය හා ලංකාවේ පවතින ආයුර්වේදය තුළ වෙනස්කම් පවතිනවා. ආයුර්වේදය ඉන්දියාවෙන් ලංකාවට පැමිණෙන කාලය වන විට එය සංකල්පමය වශයෙන් හොඳින් පෑහුණා.

අද වන විට ආයුර්වේද ප්‍රතිකර්ම සඳහා භාවිත කරන්නේ දේශීය අමුද්‍රව්‍යයි. අපේ රටේ වෙනිවැල්ගැට භාවිත කරන දේ සඳහා ඉන්දියාවේ භාවිතයට ගන්නේ දාරුහරිද්‍රා කියන පැළෑටියයි.

එය වෙනිවැල් පවුලටවත් නෑකම් කියන ශාකයක් නෙවෙයි. දාරු හරිද්‍රා ශාකයක්. ඒත් වෙනිවැල් වැලක්. ඒත් මේ දෙකේම ගුණාත්මක බව සමානයි. බහුතරයක් ම අපි ආයුර්වේදය සඳහා භාවිත කරන්නේ දේශීය අමුද්‍රව්‍ය හා බෙහෙත්. දැන් කිසිම කෙනෙකුට මේ ආයුර්වේදයයි, මේ කොටස දේශීය දේ යැයි ඉරක් ඇඳ වෙන්කළ නොහැකි සේ මේ දෙක සංයෝජනය වෙලා.

හිතුමතයේ ආයුර්වේද හෝ දේශීය බෙහෙත් ගැනීමට දැන් බොහෝ දෙනෙක් පුරුදු වෙලා.. මෙය හොඳ දෙයක්ද?

කොහෙත්ම නෑ. මේවට දාන්නේ ගස්වල මල්, කොළ, පොතු, ඇට බව සත්‍යයක් වුවත් ඒ දේවල් වුවත් වෛද්‍ය අනුදැනුමකින් තොරව ගැනීම එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි එක් අයෙකුට දුන් බෙහෙත් සීට්ටුවක් ඒ ලෙඩේම තියෙන තවත් රෝගියකුට දීම සුදුසු නැහැ. අපි බෙහෙත් දීම සිද කරන්නේ එක් එක් පුද්ගලයාගේ වයස, ශරීර ස්වභාවය ආදිය අනුවයි. එක් අයකුට දෙන බෙහෙත් තවත් අයකුට ඔරොත්තු නොදෙන්න පුළුවන්. ඒ නිසා බෙහෙත් වට්ටෝරු යම් යම් තැන්වල ප්‍රසිද්ධ කළ පමණින් ඒවා සාදාගෙන බෙහෙත් කිරීම හොඳ දෙයක් නෙවෙයි. එක් එක් අයගේ ශරීර ස්වභාව අනුව දෙනු ලබන මාත්‍රා ප්‍රමාණය වෙනස් වේ. ඒ වගේම බෙහෙත් දෙන නිශ්චිත කාල රාමුවක් තියෙනවා. ඒ දේවල් දන්නේ වෛද්‍යවරයා පමණයි.

අද තියෙන තවත් දෙයක් තමයි යම් කිසි දෙයක් ගුණයි කියූ පමණින් ඒ දේ උදේ දවල් රාත්‍රී නිතරම ගැනීමට පෙළඹෙනවා. පලතුරු වුවත් අසීමිත ලෙස ආහාරයට ගන්න අද බොහෝ දෙනා පෙළඹිලා. මේ හැම දෙයක්ම යම් කිසි ප්‍රමාණයකට ආහාරයට ගැනීමයි සුදුසු.

* දේශීය බෙහෙත් වර්ග ගැනීමේදී අනුපානවල ඇති විශේෂත්වය මොකක්ද?

අනුපාන කියන්නේ ශාක පත්‍රවල දලු එකතු කරලා හදන දෙයක්. එයට ශක්තිය වැඩියි. එයින් වීර්ය එකතු වෙනවා. ඉන් ලැබෙන ගුණය වතුරෙන් ලබා ගන්න බෑ. ඇතැම් බෙහෙත් වට්ටෝරුවලට සීනි සමග බොන්න කිව්වොත් එය සීනි සමඟ බීමෙන් තමයි නියම ගුණය ලබා ගත හැකිවෙන්නේ. මීපැණිවල යෝගවාහී ගුණය තියෙනවා. යෝගවාහී ගුණය කියන්නේ සිරුර පුරාම බෙහෙත රැගෙන යාමේ ගුණයයි. එවිට අනුපාන ලෙස මීපැණි එකතු කළ යුතු යැයි වෛද්‍යවරයා නිර්දේශ කරතිබේ නම් එය අනිවාර්යයෙන් එකතු කළ යුතුයි.

ඔබේ පවුලේ විස්තර ගැනත් කියමුද?

මට දරුවන් තුන්දෙනයි. පුතා යාපනය විශ්ව විද්‍යාලයේත් වැඩිමල් දියණිය රුහුණු විශ්ව විද්‍යාලයේත් අධ්‍යාපනය ලබනවා. බාල දියණිය අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගය ලිවීමට සූදානමින් ඉන්නවා. මගේ පවුලේ අයගෙන් මට ලොකු නිදහසක් ලැබිලා තියෙනවා. ඒ නිසා රැකියාව සේවයක් ලෙස වැඩි වටිනාකමක් ඇතිව කිරීමට මට හැකි වී තිබෙනවා.

මට සොයුරියන් දෙදෙනෙක් සහ එක් සොයුරෙක් ඉන්නේ. ලොකු නංගී ටෙක්ස්ටයිල් ඉංජිනියර් කෙනෙක්.. ඇය කැනඩාවේ ඉන්නේ.. මගේ අනෙක් නංගී ඉලෙක්ට්‍රොනික් ඉංජිනියර් කෙනෙක්, මගේ මල්ලී කම්කරු දෙපාර්තමේන්තුවේ.

ඔබේ ජීවිත අත්දැකීම්වලින් අනෙක් අයට දෙන පණිවිඩය...

මම විභාග සඳහා හෝ කාලය වැඩිය කැප කරන්න කැමැති නැහැ. පළමුවර වෛද්‍ය අංශයෙන් විශ්ව විද්‍යාලයට යාමට ලකුණු මදි වුණත් නැවත විභාග කරමින් ඉන්නේ නැතිව ඒ ලකුණුවලින් කළ හැකි දේට යොමු වුණා. හැමදේම ඒ විදියට කිරීම මඟින් මට සාර්ථකත්වය හිමි වුණා. මගේ දරුවො පවා අධ්‍යාපන ඉලක්ක තෝරා ගත්තේ ඒ විදියටයි.

ඇගේ ජීවිතයෙන් අපේ කාන්තාවන්ට මෙන්ම දරුවන්ට ද ලද හැකි ආදර්ශ බොහෝ ය.

 

ඡායා - ශාන් රූපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.