වැඩ කරන්න දැක්මක් ලැබුණේ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වූ නිසයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්
ජනවාරි 6, 2021

 

මෝස්තර නිර්මාණ ශිල්පයේ ඇත්තේ සියුමැලි කලාවකි. මෙවැනි නිර්මාණකරුවකුගේ නිර්මාණ ශිල්පිනියකගේ දෑතින් මැවෙන්නේ සිතෙහි වූ පරිකල්පනය මුසු නිර්මාණයකි. මෙවැනි මෝස්තර නිර්මාණ ශිල්පීය හැකියාව පරිපාලනය වැනි සංකීර්ණ ප්‍රායෝගික කටයුත්තකට ගළපාගැනීම තරමක ප්‍රශ්නාර්ථයකි.

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය වැනි අභියෝගාත්මක තනතුරක් එවැනි ක්ෂේත්‍රයක ප්‍රවීණයකුට හිමිවීම ද අසාමාන්‍ය සිද්ධියකි. එසේම එම තනතුර කාන්තාවකට ප්‍රථම වරට පිරිනැමීම දෙස ද සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවම බලා සිටියේ විමතියෙනි. ඒ සියලු අභියෝග බාධක හා ප්‍රශ්නාර්ථයන් මැද නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර තනතුර මෙයට වසරකට පෙර හිමිවූයේ මෝස්තර නිර්මාණ ශිල්පී කාන්තාවකටය.

ඇය අනුරාධා යහම්පත්...

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය ඇයට හිමිවීමත් සමඟ කවුරුත් බලාසිටියේ මෙවන් වූ අභියෝගයක් ඇය කෙසේ ජයගනීද යන ප්‍රශ්නාර්ථයෙනි. වෙනස්ම වූ සංස්කෘතියක් හා පරිසර පද්ධතියක් ඇති නැඟෙනහිර පළාත පිළිබඳ දකුණේ ජනතාව තුළ වූයේ වෙනස්ම චිත්‍රයකි. එතරම් පැහැදිලි නොවූ මෙම චිත්‍රය ඉතාම ආකර්ෂණීය ලෙසින් නිර්මාණය කිරීම ඇයට හිමිවූ අභියෝගයයි. වසර තිහක් පුරා පැවැති යුද්ධය හේතුවෙන් සංවර්ධනය පහළම මට්ටමේ පැවැති නැගෙනහිර පළාත මුස්ලිම් ජාතික සංස්කෘතියක් හිමි ජනතාවට සමීපවීමේ අසීරු කටයුත්ත කාන්තාවකට ජය ගතහැකිවේද....? මෙය බහුතරයක් ලාංකීය ජනතාව තුළ වූ ප්‍රශ්නාර්ථයයි.

එහෙත් එම තනතුර බාරගෙන වසරක කාලයක් අවසන්වන විට ඇයගේ වපසරිය තුළ විශාල පෙරලියක් කළ බව බොහෝ දෙනකුට මාධ්‍ය හරහා දැකගැනීමට හැකිවිය. අප මාධ්‍ය හරහා දුටු එම පෙළහර ජයගත් ආකාරය දැනගැනීමට ඇයගේ වටිනා කාලයෙන් බිඳක් තරුණී වෙන්කර ගත්තේ ආදර්ශවත් වූ ඈ සමඟ පුංචි පිළිසඳරකටය.

ඉතාම කාර්බහුල ජීවිතයක් ගතකරන ඇය අප සමඟ සමීප ලෙසින් කතාබහ ආරම්භ කළේ මෙලෙසිනි.

රාජ්‍ය පරිපාලනය තුළ ඔබ සාර්ථක නිලධාරිනියක් බව බොහෝ දෙනෙක් කියනවා. නැගෙනහිර වැනි දුෂ්කර පළාතක ආණ්ඩුකාර ධූරය බාරගත් ඔබ ඒ කටයුත්තට මුලපිරුවේ කොහොමද?

"නැගෙනහිර පළාතේ ඉන්නේ හැමඅතින්ම බැටකාපු මිනිස්සු. සුනාමියෙන්, ත්‍රස්තවාදයෙන්, ස්වාභාවික ආපදාවලින්.... මේ හැමදෙයකින්ම ඒ අය දුක්වින්දා. මගේ මුල්ම පියවර වුණේ මේ පළාත හඳුනාගැනීමයි.

ඒ කියන්නේ නැඟෙනහිර පළාත තුළ තිබෙන සම්පත්, ජනතාවගේ සිතුම්පැතුම්, ඒ අයගේ අවශ්‍යතා, යටිතල පහසුකම්.... මේ හැමදෙයක් ගැනම මම මේ වසර පුරාම විශාල අධ්‍යයනයක් කළා. මගේ නිලධාරීන් සමඟ මේ පළාතේ බොහෝ ගම්මානවල සංචාරය කළා. ඔවුන් සමඟ කතාබහ කරන්න මට අවස්ථාව ලැබුණා.

මේ පළාතේ අනෙක් පළාත්වල වගේ සියලු ආගම්, ජාති එකට වාසය කිරීමක් නෑ. මේ පළාතේ මුස්ලිම්, සිංහල, දෙමළ ගම්මාන තිබෙනවා. ඒ ගම්මාන තිබෙන්නේ වෙන වෙනම. නමුත් ඔවුන් අතර කැළඹීමක් ගැටුමක් නෑ. නමුත් සම්බන්ධතාවය අඩුයි. කොහොම වුණත් මේ ජනතාව මට ඔවුන්ගේ ගැටලු, අඩුපාඩු, අභියෝග ගැන කෙලින්ම ප්‍රකාශ කළා.

 

ඒ වගේම හොඳීන් පිළිගත්තා. මට මුලින්ම හඳුනාගැනීමට ලැබුණු පළමු ගැටලුව තමයි ගුරු අඩුපාඩුව.

ආණ්ඩුකාර තනතුර තුළ තිබෙන බලතල අනුව මම ඒ ගැටලුව විසඳන්න පියවර රැසක්ම ගත්තා.

ඇත්තටම මේ පළාත තුළ ඇති සම්පත් අනුව විශාල සංවර්ධන පෙරළියක් කරන්න පුළුවන් බව මට අවබෝධ වුණා. එයට පළමු අඩිතාලම ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගැනීමේ කටයුත්තට මුලපිරුවේ ඔවුන්ගේ සිතුම්පැතුම් හා සංස්කෘතික සම්ප්‍රදායන්ට හානි නොවන ආකාරයෙන්. මට මේ තනතුර ජනාධිපතිතුමා

බාරදුන්නේ විශාල විශ්වාසයකින්. පළාත් සභා විසුරුවාහැර මධ්‍යම රජය විසින් පමණක් පාලනය වන කාලසීමාවක මේ පළාතේ පවතින සෞඛ්‍ය ගැටලු, අධ්‍යාපනික, විවිධ කර්මාන්ත තුළ පවතින ගැටලු සියල්ලටම විසඳුම් ලබාදීමේ වගකීම මා හට පැවරී තිබුණා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්ථයක් බවට පත්කරමින් එහි ඉලක්ක සපුරාගැනීම වෙනුවෙන් විවිධ වූ නියමු ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක කිරීමට මා සැලසුම් කළා."

ඔබ ආරම්භ කළ එවැනි ව්‍යාපෘති ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

"මේ පළාත ගොවිතැනින් ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සඳහා කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදුකිරීමට ප්‍රමුඛතාවය ලබාදීම ආරම්භ වුණා. රසායනික පොහොර වෙනුවට සම්පූර්ණයෙන් කාබනික පොහොර භාවිතයට යොමුවීමට විශාල උත්තේජයක් ගන්නවා.

ඒ සඳහා මේ පළාතේ තිබෙන කුඩා වැව් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මේ පළාතේ වාරි කර්මාන්තය කළමනාකරණය කිරීම තුළින් පළාතට අවශ්‍ය ජලය යල මහ කන්න දෙක තුළ හොඳීන් ලබාගැනීමට හැකිවුණොත් කෘෂිකර්මාන්තයේ විශාල ප්‍රගතියක් අපට අත්කර ගන්න පුළුවන්.

එසේම මේ පළාතේ හමුනොවූ වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකම ඇති ස්ථාන රාශියක් තිබෙනවා. එම ස්ථාන හඳුනාගැනීමට හා පුරාවිද්‍යාත්මක ස්ථාන ප්‍රතිසංස්කරණය කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදුකරමින් පවතිනවා.

නමුත් තවමත් හමුනොවූ ස්ථාන රාශියක් තිබෙන නිසා මේ කටයුත්ත සඳහා විශ්ව විද්‍යාලවල මහාචාර්ය හා ආචාර්යවරුන්ගේ සහයෝගයෙන් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් එකතුකර ගනිමින් මෙය ඉතාම පුළුල් ව්‍යාපෘතියක් ලෙස සිදුකිරීමට කටයුතු කරනවා.

එසේම නැගෙනහිර පළාත තුළ සංචාරක කර්මාන්තයට ගැළපෙන ආකර්ෂණීය ස්ථාන රැසක්ම තිබෙනවා. පුරාවිද්‍යාත්මක ස්ථානය, දැවැන්ත වනාන්තර හා ආකර්ෂණීය මුහුදු තීරය යන සියලු ස්ථාන ආරක්ෂාකර ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ කටයුත්ත සඳහා අප දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර තිබෙන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුවයි."

 

මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වූ ඔබට ලැබුණු මේ තනතුර ඇත්තටම අභියෝගයක් වුණේ නැද්ද?

"මට මේ තනතුරේ උපරිම සේවයක් කිරීමේ හැකියාව ලැබුණේ මෝස්තර නිර්මාණ ශිල්පයෙන් ලැබූ අත්දැකීම හා පලපුරුද්දයි. මම උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ. ලංකාවට නිවාඩුවකට ආපු වෙලාවේ තමයි දේශපාලනයට යොමුවුණේ. ඇත්තටම මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස මම මේ පළාත දෙස නිර්මාණාත්මක ඇසකින් බලන්න උත්සහ කළා.

සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් ප්‍රායෝගික, නිර්මාණාත්මක යමක් කරනා ආකාරය ගැන හැමවෙලාවෙම හිතුවා. මේ පළාතේ ජනතාවගේ හැකියාව ප්‍රයෝජනයට ගතහැකි ක්‍රම ගැන අධ්‍යයනය කළා.

ඒ අනුව මේ ප්‍රදේශයේ ගොවිජනතාවට රජයට බරක් නොවූ ස්වයංපෝෂිත වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ වැඩසටහන යටතේ අප ආයෝජකයන්ට ආරාධනා කළා මේ ප්‍රදේශයේ ගොවිජනතාවට උපකාර කරන්න. ඔවුන්ගේ අස්වැන්න මිලදී ගන්න.

ඒ අනුව මේ ප්‍රදේශයේ ගොවිජනතාවට කිසිම දවසක රජයට, බැංකුවට ණය වෙන්න අවශ්‍ය නැහැ. මේ ගොවිජනතාවගේ වගා කටයුතු වෙනුවෙන් ආයෝජකයන් මුදල් යොදවනවා. කිසියම් වගා හානියක් වුණත් එයින් ගොවිජනතාවට බැංකුවට ණය වෙන්න සිද්ධ වෙන්නෙ නැහැ.

එසේම තමුන්ගේ වගා අස්වැන්න විකුණා ගැනීමේ නිදහස තිබෙනවා. මුලින්ම කෝමාරිකා වගා කිරීමට පවුල් 1300ක් පමණ ඉදිරිපත් වී තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ණය පහසුකම්, දැනුම හා යන්ත්‍රෝපකරණ ලබාදී වගා කටයුතු කරන්න ආයෝජකයන් ඉදිරිපත් වුණා. ඉදිරියේදී ගම්මිරිස්, ඉඟුරු, කහ වැනි භෝග වගා කරන්නත් සැලසුම අපේ අපේක්ෂාවයි. අප ආරාධනා කරන්නේ දේශීය ආයෝජකයන්ට මෙම කටයුත්තට බිය නැතිව දායක වෙන්න, ඔවුන්ගේ අස්වැන්න මිලදී ගන්න අවස්ථාව තිබෙනවා. නමුත් අප කිසිම ආයෝජකයෙකුට ඉඩම් මිලදී ගන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ."

 

කාන්තාවක්, මවක් ලෙස ඔබගේ පවුලේ කටයුතු ගැන සොයා බලන්න මේ තනතුර නිසා කාලයක් තියෙනවාද?

"මට දුවලා දෙන්නෙකුයි, පුතෙකුයි ඉන්නවා. ඒ අය දැන් තරුණයි.

මේ තනතුර මට ජනාධිපතිතුමා ලබා දුන්න අවස්ථාවේ මුලින්ම මම දරුවන්ගෙන් ඇහුවා මේක කරන්නද කියලා. ඒ තුන්දෙනාම කිව්වේ රටට සේවය කරන්න තිබෙන අවස්ථාව මඟහරින්න එපා නැගෙනහිර ආණ්ඩුකාර තනතුර ගන්න කියලා. කොළඹ සිට නැගෙනහිර පළාතට යන එක තරමක් මහන්සි කටයුත්තක් තමයි. හැබැයි මම ඒ මහන්සිය ගැන නොසිතා වැඩ කරනවා. සති අන්තයේ දරුවන් එක්ක ගතකරනවා."

නැගෙනහිර පළාතේ කාන්තාවන්ගේ පසුබිම මොන ආකාරයටද සකස් වී ති‍බෙන්නේ?

"අප කොළඹ සිට දකිනවාට වඩා හරිම වෙනස්. මේ ප්‍රදේශවල කාන්තාවන් හරිම දක්ෂයි. ඔවුන් ජාති ආගම් භේදයක් නැහැ. වගා කරනවා. තමුන්ගේ ස්වාමියා සමඟ හරි හරියට ගොවිතැන් කරන්න ඔවුන්ගේ දායකත්වය ලබාදෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් පවුල්වල කාන්තාවන් පවා ගොවිතැන් කරන්න විශාල උනන්දුවක් තිබෙනවා. මේ පළාත තුළ 4500කට වඩා වැඩි ගොවිබිම් ප්‍රමාණයක් වගා කටයුතු කර ගොවිතැනට වැඩි ප්‍රමුඛත්වය ලබා දෙන ප්‍රදේශයක්.

ඇත්තටම මට මේ ලැබුණු තනතුරෙන් ඒ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා ගත්තා. වසරක කාලය තුළ ඒ අයගේ ගැටලු රැසකට මට හැකි ආකාරයෙන් පිළිතුරු ලබාදීමට හැකිවීම විශාල සතුටක්. ඒ සතුට මෝස්තර නිර්මාණයක් කිරීමෙන් ලබන සතුටට වැඩිය ගැඹුරුයි. ඒ වගේම එයින් මටත් මගේ දරුවන්ටත් විශාල ආශිර්වාදයකුත් ලැබෙනවා."

 

විශේෂ ස්තුතිය :

'අපේ ත්‍රිකුණාමලය' සංවිධානයේ ලේකම් චින්තක විජේරත්න මහතා සහ නැඟෙනහිර පළාත්

මාධ්‍ය නිලධාරී රුචිර ඩිලාන් මධුශංක මහතාට