2021 වසරේ වෛරස් පිට වෛරස් ආවත් අපට මුහුණ දෙන්න ශක්තියක් තියෙනවා

ජනවාරි 13, 2021

මිනිස්බල සහ රැකීරක්ෂා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්

අනූෂා ගෝකුල ප්‍රනාන්දු

 

අපේ මව්බිම සැබෑම රන් ආකරයකි. මේ රන් ආකරයේ වූ සම්පත් හඳුනා නොගැනීම අවාසනාවකි. එලෙසින් හඳුනා ගත්තානම් අපට ලෝකයේ සමෘද්ධිමත්ම රට බවට පත්වීම ඉතාම පහසු ඉලක්කයකි.

එහෙත් වාසනාව දෝත දරා උපදින අප අවාසනාවන්ත ලෙසින් දෑත් හකුළාගෙන බලා සිටින්නේ සියලු දේ පිටරටින් ලැබෙනතුරුය.

මේ නිසාම අපේ රටේ විරැකියාව 4.1%ක් බවට පත්වී තිබුණේ පසුගිය වසරේ පැවැති වසංගත තත්ත්වයටත් පෙරය. එය සාමාන්‍යයෙන් ලක්ෂ 9 - 10ක ප්‍රමාණයකි. මේ වසංගත තත්ත්වයත් සමඟ විරැකියා ප්‍රතිශතය විශාල ප්‍රමාණයකින් වැඩිවී ඇත්තේ විශාල පිරිසකට එදිනෙදා උපයාගන්නා රැකියා මාර්ග ඇහිරී යෑම හේතුවෙනි. විවිධ වූ කුඩා ව්‍යාපාරවල යෙදී සිටි පිරිස්, ස්වයං රැකියා කළ පුද්ගලයින්, මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර, විදේශ රැකියා කළ.... මේ සියලුදෙනාගේ රැකියා අහිමිවීමෙන් පවුල් රැසක්ම අසරණ වූයේ නොසිතූ ලෙසිනි. මේ අභියෝගය හමුවේ සුරක්ෂා වීමට හැකියාව ලැබුණේ රාජ්‍ය සේවයේ සහ අර්ධ රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික සේවයේ ඇතැම් ක්ෂේත්‍රවල රැකියා කළ සුළු පිරිසකට පමණි.

මේ අභියෝගයට මුහුණදීමට කිසිවකුටත් විධිමත් සැලසුමක් හෝ පුළුල් අවබෝධයක් නොවිණි. වර්තමානයේ තරුණ පරපුරට මෙය අලුත්ම අභියෝගයක් බවට පත්විය.

2021 වසරද අපට කෝවිඩ් වසංගතය සමඟ ජීවත්වීමේ අභියෝගය උදාවී තිබේ. එය සමස්ත ලෝකයටම බලපාන විශාලතම අභියෝගය සහ ගැටලුවයි. මෙහිදී ශ්‍රී ලාංකික අපට මේ අර්බුදයෙන් ජයගත හැකිවන්නේ කෙලෙසින්දැයි ගැඹුරින් සිතන්නට සිදුවී තිබේ. ගෝලීයකරණය නමැති සංකල්පය මේ වන විට අපගේ දෑස් අභියසම බිඳවැටී හමාරය. එය යන්තම් හෝ රැඳී ඇතිනම් රැඳීි පවතින්නේ තොරතුරු තාක්ෂණය මත පමණකි. ගෝලීයකරණය සමඟ අපට ඉතිරිවී ඇත්තේ කෝවිඩ් වසංගතය මුළු ලෝකය වෙලාගත් පසුබිමකය. මෙවැනි දැවැන්ත වූ අර්බුදයක් හමුවේ අපට උදාවන වසර ජයගන්නට හැකි රිදී මාවතක්ද ඉතිරිව තිබේ. ඒ මඟ නිවැරැදිව හඳුනා ගැනීමද අසීරු නොවන ඉලක්කයකි.

දැක්මක් සමඟ ඉදිරි වසර ජය ගන්නට අපට මඟ කියන්නට තරුණී කතා බහට එක්කරගත්තේ මිනිස් සවිබල ගැන්වීමේ හා රැකීරක්ෂා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුලගේ මහත්මියයි. 'තරුණී' පුවත්පත සමඟ දිගු සබැඳීයාවක් හා වඩාත් ළෙංගතු සමීපතාවක් ඇති ඇය රාජ්‍ය සේවයේ අත්දැකීම් සම්භාරයක් ලැබූ දක්ෂ නිලධාරිනියකි. තමාට ජීවිතයේදී ලැබෙන සැම තනතුරක්ම, රාජකාරියක්ම ඉතාම දක්ෂ ලෙසින් ඉටුකරන ඇය මෙවර අපරටේ දැවෙන ගැටලුවක් බවට පත්වූ විරැකියාව සඳහා විසඳුම් ලබාදීමේ දැවැන්ත වූ ගැටලු රැසක්ම අමාත්‍යංශය භාරගෙන ඇත්තේ මහත් විශ්වාසයකිනි. උදාවන වසරේ නැවුම් වූ බලාපොරොත්තු රැසක් පොදිබැඳගෙන සිටින අපගේ තරුණ පරපුරේ

රැකියා ඉලක්ක ජයගන්නා අයුරු දැක්මක් සහිත වැඩපිළිවෙළක් පිළිබද කරුණු රැසක් හෙළිකළේ ළෙන්ගතු පිළිසඳරකට එක්වෙමිනි.

"අපට දැන් අලුතින් සිතන්න සිද්ධවෙලා තිබෙනවා. ඒ කියන්නේ නැවතත් අපට අතීතයට යන්න සිද්ධවෙලා.... තමුන්ට අවශ්‍ය ආහාර, උපකරණ තමුන් විසින්ම සකස්කර ගන්නා සංකල්පය ගෝලීයකරණය කියන සංකල්පය බිඳවැටීමත් එක්කම සෑම රටකටම යොමුවෙන්න වුණා. තමුන් කරන ස්වයං රැකියාව, තමුන් කරන රැකියාව ආසන්නතම ස්ථානයේ සිදුකරන්න අපට අකැමැත්තෙන් වුණත් සිද්ධවී තිබෙනවා. ඒ කියන්නේ ස්වදේශීය කියන සංකල්පය ඉස්මතු වීමයි. අපේ රටේ මිනිස්සු මේ සරල සිද්ධාන්තය තේරුම් ගත යුතුයි. උදාවන වසරේ සිට ප්‍රධාන වශයෙන් තමුන්ගේ ගෙවත්ත වගාකරගන්න.... අප කැමැති වුණත් අකැමැති වුණත් රටවල් අතර තිබෙන හුවමාරු ආර්ථිකයට දැන් අපට යන්න බැහැ. ලෝකයේ කිසිම රටකට තාක්ෂණය අතින් ඉදිරියට යන්න බැරි බව අවබෝධවෙලා තිබෙනවා. මේ නිසා අපේ සිරිත් විරිත්, ආචාර ධර්ම, අපගේ හර පද්ධතීන්, අපේ දේශීය ආහාර සංස්කෘතිය, දේශීය හෙළ වෙදකම.... මේ සියලු දෙයට වර්තමානයේ වටිනාකමක් එකතුවෙලා තිබෙනවා. අප සෑම මාධ්‍යයකම අපේකම ගැන කතා කළාට, පුන පුනා කිව්වාට ජනතාවට දැනුණේ නැහැ.... නමුත් දැන් ජනතාව ළඟටම විනාශය ළංවෙලා. දැන් ජනතාවට අපේකම තදින්ම දැනෙනවා. මේ වන විට අපේ රටේ කොරෝනා වසංගතයෙන් මියයන සංඛ්‍යාව ලෝක ප්‍රතිශතය අනුව ඉතාම අඩු ප්‍රතිශතයක් බවට පත්වී තිබෙන්නේ ඒ දරාගැනීමේ ශක්තිය තිබෙන නිසයි. අපට මේ ප්‍රතිශක්තිය ඉබේ ලැබුණු දෙයක් නොවෙයි. එය ලැබෙන්නේ ඉතිහාසයේ පටන් අපේ මුතුන්මිත්තන් කාපුබීපු දේවල් නිසයි."

ඇය මේ තත්ත්ව ගැන තවදුරටත් විග්‍රහ කරමින් අපට මේ වසරේ සිතන්නට බොහෝ දේ පැහැදිලි කළේ එය ශ්‍රී ලාංකේය කාන්තා පරපුර මෙතෙක් ගැඹුරින් නොසිතූ, නොතැකූ කරුණු ගොන්නක් බව පෙන්වමින්. ඇය ඒ ගැන වඩා හොඳීන් පැහැදිලි කළේ උදාවන වසර සාර්ථක වසරක් බවට පත්කරගත හැකි වටිනා උපදෙස් රැසක් සමඟිනි.

"අපට දේශීයව උරුම වුණු බොහොමයක් දේ තිබෙනවා. කොත්තමල්ලි, සුදුලූනු, කහ වැනි දෙයට වටිනාකමක් මුළු ලෝකයම ලැබුණා. මේ සියලු දේ අපේ රටේ මහ පොළොවේ හොඳට හැදෙනවා. අපේ මේ සරු මහපොළොවේ අපටම ආවේණික අල වර්ග 108ක් හැදෙනවා. වෙන කිසිම රටක මේ වගේ සරුසාර බිමක් නැහැ. කොළවර්ග, තෘණ වර්ග 216 ක් තිබෙනවා. විවිධ ඖෂධ වර්ග දහස් ගණනක් තිබෙන රටක් මේ ලෝකයේම නැහැ. ඒ අපට තිබෙන දේ ඉස්මතු කරගන්න ගෙදර මහ නැතිනම් මව නායකත්වය ගත යුතුයි. තමුන්ගේ ගෙදර ඒ සංස්කෘතිය ගොඩනඟා ගත යුතු විශාල භූමිකාවක් තිබෙනවා. තරුණී පුවත්පත කියන්නේ එවැනි මවකට විශාල අත්වැලක් වෙන පරම්පරා ගණනාවක් පුරා ජනප්‍රිය කාන්තා පත්තරයක්. අපේ තිබෙන වටිනාකම හඳුනාගැනීම තමයි වැදගත්ම දෙය. ඒ ස්පර්ශ උරුමය නොවෙයි අත්පර්ශ උරුමයයි. අපේ අම්මලා වටිනා කතන්දර කිව්වා. ඒ වගේ දැවැන්ත සංස්කෘතියක් තිබුණා. ඒ දේවල් පරණ දේවල් ලෙස ප්‍රතික්ෂේප කිරීම නොවෙයි ඒවා මතු පරපුරට උරුමකර දිය යුතුයි.

ජාතියක් ලෙස ගොඩනැගෙන්න ස්වභාවධර්මය තුළ මෙය හොඳ අවස්ථාවක්... එය ඉදිරි වසර සාර්ථකව ගතකිරීමට හොඳම ප්‍රවේශයක් වේවි.

අවබෝධයෙන් ජීවත්වීම කියන දේ අප මුලින්ම ඉගෙන ගත යුතුයි. ආකල්ප, කුසලතා, අත්දැකීම්, පලපුරුද්ද කියනදේ අප ප්‍රගුණ කළොත් ප්‍රමාණවත්. අප අවට තිබෙන දේවත් හඳුනාගෙන නැහැ. සියලු දේ අප විසින්ම විහින් සංකීර්ණ කරගෙන....

දැන්වත් අවබෝධකරගත යුතු වන්නේ අප යායුතු මාර්ගයයි. සැම කෙනෙක්ම ව්‍යවසායකත්වය කියන මානසිකත්වයේ ජිවත්වෙනවා නම් අපට ආර්ථික අහේනියක් ඇතිවෙන්නේ නැහැ. අත්තක් බිම වැටුණොත් පැළවෙන ඉතාම බලවත් මහපොළොවක් අපට තියෙන්නේ. කිසිම කෙනෙක් බඩගින්නේ ඉන්න ඕනේ රටක් නොවෙයි. තමුන් අවංකව, තමුන්ගේ හෘදය සාක්ෂියට එකඟව තම රට ගැන හිතලා තමුන්ගේ දරුවන් හදාගෙන යහපත් ආකාරයට ජීවත් වුණොත් අපට වෛරස් පිට වෛරස් ආවත් එයින් ගැලවෙන්න පුළුවන්."

 

විශේෂ ස්තුතිය - කඩුවෙල විශේෂ වාර්තාකාරිනී

සමන්ති මීරියගල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.