බොහෝ දෙනෙක් මට කරන්න බැහැයි කියූ නිසා මම එයම අභියෝගයක් කර ගත්තා

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකාවාර්තාවක් තැබූ සචිනි කෞෂල්‍යා පෙරේරා
ජනවාරි 13, 2021

 

2020 අවසන් වන්නේ ලක් මවගේ ආඩම්බරකාර දියණියකගේ විස්මිත දස්කමක් වාර්තා පොතට එක්කරමිනුයි. 2020 ජාතික මළල ක්‍රීඩා උළෙලේ රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ 22 හැවිරිදි කොස්වත්ත ලියනගේ සචිනි කෞෂල්‍යා පෙරේරා නම් වන ඇය සිය ජයග්‍රහණයෙන් පසුව තරුණී පාඨකයන් වෙනුවෙන් අප හා මෙලෙස පිළිසඳරකට එළඹුණා.

 

සචිනි ජීවිතයම ක්‍රීඩාව කරගත් විට හිතට දැනෙන්නෙ මොනවගේ හැඟීමක්ද ?

මම හිතන්නෙ වෙනත් වෘත්තීය අරමුණක් හොයාගෙන යනවට වඩා ක්‍රීඩා ක්ෂේත්‍රයේ

ඉලක්කයක් සොයාගෙන යාම හරි දුෂ්කරයි. ඒත් අපි අවංකව අපි කරන දේ කළොත් කවදාකවත් අපිට වරදින්නෙ නැහැ. මම රිටි පැනීමේ ඉසව්ව තෝරගෙන පුහුණුවීම් කරද්දී ලංකාව රනින් සරසපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා මා ළඟට ඇවිත් කියල තියෙනව මේ ළමයා රිටි පැනල මොනව කරන්නද අපරාදෙ මෙයා වෙනුවෙන් කාලය නාස්ති කරන්නෙ කියලා. එක්කෙනෙක් මගේ අම්මාගෙ මුහුණටම කිව්වා මෙයා මිටියි.

ඒ හින්ද රිටි පැනල මොනව කරන්නද ? කියල. බොහෝ දෙනෙක් හිටියෙ මට මේක කරන්න බැහැ කියන තැනයි. ඇත්තටම මම ඒකම අභියෝගයක් කරගත්තා.

අඩි 5ක් උස මම කොහොම හරි මේ මේ මතය බිඳීන්න ඕන කියල මගේ යටි හිත මට කියන්න ගත්තා. මා වටා සිටින අය කියන දේට වඩා මම මගේ පුහුණුකරු කියන දේ විශ්වාස කළා. මේ ගමන කැපවීම අධිෂ්ඨානයකින් දරා ගැනීම සමග පැමිණි ගමනක්.

සචිනි ක්‍රීඩාව යන මාවත දිගේ ගමන් අරඹන්නෙ කොයි කාලයේ ද ?

මම ඉගෙන ගත්තෙ පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ යි. මම ක්‍රීඩා කරන්න පටන් ගන්නේ පාසලේ දෙක වසරේ ඉඳන්.

පාසල් වියේ තෝරගත්තෙ ජිම්නාස්ටික් ක්‍රීඩාවයි. පාසල් මට්ටමේ සිට සමස්ත ලංකා ජිම්නාස්ටික් ශුරතාවය දිනගැනීම දක්වා මම පාසලේදී ජිම්නාස්ටික ක්‍රීඩාවෙන් ජයග්‍රහණ හිමිකර ගත්තා. 2014 ස්කොට්ලන්තයේ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ජිම්නාස්ටික් ක්‍රිඩිකාවක් ලෙස මමත් සහභාගි වුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල නියෝජනය කළ අපේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් අතර හිටිය ළාබාලම ක්‍රීඩිකාව මමයි. එතකොට මට අවුරුදු 15 යි.

ජිම්නාස්ටික් කරපු සචිනි රිටි පැනීමේ ඉසව්වට මාරුවෙන්නෙ කොතැනින්ද ?

ඇත්තටම මම පාසල් වියේදි මේ රිටි පැනීමේ ඉසව්ව දැකලවත් තිබණෙ නැහැ. ඒ ගැන දැන ගත් කාලයේ ජිම්නාස්ටික් ක්‍රීඩාව අතහැරලා රිටි පැනීමේ ඉසව්වට මාරු වෙන්න කිසිම අදහසක් මට තිබුණෙත් නැහැ. 2016 අවුරුද්දෙ මාගේ යෙහෙළියකට මෙහෙ ඉන්න කියුබානු ක්‍රීඩා පුහුණුකරුවකු වන ලුවිස් මිරෙන්ඩා රිටි පැනීමේ ඉසව්ව පුහුණුවෙන්න එන්න කියල තිබුණා. ඒ ගමනට ඇයගේ තනියට ගියේ මම. පස්සෙ මමයි මගේ

යෙහෙළියයි ̈විස් මිරෙන්ඩා සර් යටතේ සතියක් විතර පුහුණුවීම් කළා. ඊළඟ සතියෙ මම ඒ. කේ. එස්. ගුණරත්න සර් යටතේ පුහුණුවීම් ආරම්භ කළා.

සචිනිගේ ජයග්‍රහණ වෙනුවෙන් විසල් කැපවීමක් කළ ඒ. එස්. කේ. ගුණරත්න පුහුණුකරු ගැන පවනසවා නම්

ලංකාවේ රිටි පැනීමේ ඉසව්වේ පාසල්, යුද හමුදා, ආරක්ෂක සේවා ආදී ප්‍රධානතම ක්‍රීඩා උළෙලවල් වල දැනට පවතින සියලු වර්තා හොබවන්නේ ඔහු යටතේ පුහුණු වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන්. ඒ හැරුණම රිටි පැනීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන දෙදෙනා (මා ඇතුළුව) ගුණරත්න සර් යටතේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රිඩිකාවන්. මම රිටි පැනීමේ ඉසව්වෙන් කිසියම් ගමනක් යයි කියල සර් තේරුම් අරන් හිටියා. හැම වෙලාවෙම සර් මට කිව්වෙ අනිත් අය කියන දේවල් අදාළ කරගන්න එපා දිගටම පුහුණුවීම් කරන්න කියලයි. මේ ඉසව්වට අවතීර්ණ වෙලා අවුරුදු තුනක් විතර මගේ පුහුණවීම් කරගෙන ගියේ ගෙදරින් සහ ගුණරත්න සර්ගෙත් උදව්වෙනුයි. මොකද මුල් කාලයේ නාවික, යුද, ගුවන් කියන මේ කිසිදු හමුදාවකට මාව බඳවාගත්තෙ නැහැ. ඒකට හේතුවුණේ ආරක්ෂක හමුදාවට බඳවාගන්න කෙනකුගේ උස අඩි 5 යි අඟල් 3 ක් හෝ ඊට වඩා විය යුතු නිසයි. නමුත් මගේ උස වුණේ අඩි 5 යි. පස්සෙ 2017 දෙසැ 29 මාව යුද හමුදාවට බඳවා ගත්තා.

 

2016 පටන් මේ දක්වා රිටි පැනීමේ ඉසව්වෙන් සචිනි හිමිකරගෙන ඇති ජයග්‍රහණ මොනවාද?

 

2018 වසරේ මම මීටර් 3 සෙන්ටිමීටර් 40ක උසක් පැනලා ජාතික රිටි පැනීමේ ශුරිය බවට පත්වෙනවා. ඒ එක්කම ආරක්ෂක සේවා තරගාවලියේ රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 3.40ක උසක් පැනලා වාර්තාවක් තබනවා. එම වසරේම යුද හමුදා රිටි පැනීමේ වර්තාවේ හිමිකාරියත් මම. එතැනදී මම වාර්තා කරන උස මීටර් 3.41ක්. 2018 ජාතික මහා ක්‍රීඩා උලෙලේ රිටි පැනීමේ ඉසව්වෙන් පළමුවැනි ස්ථානය හිමිකරගත්තා. එතැනදී වාර්තා කරන්නේ මිටර් 4.20ක්. 2019 වසරේදීත් මීටර් 3. 40ක උසක් පැනලා ජාතික රිටි පැනීමේ ශුරිය බවට පත්වුණා. එම වසරේ යුද හමුදා තරගාවලියේදී රිටි පැනීමේ ඉසව්වට පැවැති යුද හමුදා වාර්තාව මීටර් 3.42ක් පැනලා සෙන්ටි මීටරයකින් අලුත් කරනු ලබනවා. 2019 ජාතික මහා ක්‍රීඩා උළෙලේදී අනතුරකට ලක් වීම නිසා මට දිනාගත හැකි වෙන්නේ තුන්වැනි සථානයයි. 2020 රටේ පැවතුණු වාතාවරනය මත බොහෝ ක්‍රීඩා තරගාවලීන් පැවැත්වුණේ නැහැනෙ. 2020 පැවැත්වුණ ජාතික මලල ක්‍රීඩා උලෙළේ මීටර් 3.56ක් වාර්තා කරලා ලැබූ ජයග්‍රහණයත් සමඟ තුන්වතාවක් රිටි පැනීමේ ජාතික ශුරතාව හිමිකරගත් ක්‍රීඩිකාව බවට පත්වෙනවා.

 

රිටි පැනීමේ ක්‍රීඩාවට අවතීරණ වි කෙටි කලකින්ම ඔබ ඔබේ අරමුණු වෙත ළංවූ හැඩයි.

2018 දී ජාතික ශුරතාවය ඇතුළු අනිකුත් ජයග්‍රහණ ගැන සලකා බලත්දි මට බලාපොරොත්තුවක් ඇතිවුණා.

මට ජාතික වාර්තාවකට යන්න හැකිවෙයි කියලා. නමුත් ඊට පෙර නම් සර් වත් මම වත් හිතුවෙත් නැහැ මේසා ජයග්‍රහණයකට මේ තරම් ඉක්මනින් යන්න හැකිවෙයි කියලා.

දිගටම තරගවලින් ජයග්‍රහණ හිමිවෙත්දි තමයි හැම දෙයක් ගැනම බලාපොරොත්තු ඇති වුණේ. බාර හාර වුණා. දෙවියන්ගෙන් ඉල්ලුවා. හිතින් සිය දහස් වාරයක් ඉල්ලුවා.

සචිනිගේ ඊළඟ ඉලක්කය මොකක්ද ?

මේ තාක් ලංකාවේ කිසිම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් රිටි පැනීමේ ඉසව්වෙන් අන්තර් ජාතික මට්ටමේ පදක්කමක් දිනාගෙන නැහැ. ඊළඟ අරමුණ වන්නේ හැකි ඉක්මනින් ඒ සිහිනය හැබෑ කර ගැනීමයි.

සචිනිගේ ගෙදර අය මොන විදිහට ද මේ ගමනට උදව් කළේ.

අපේ ගම පාදුක්ක. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි මමයි.

තාත්තා රැකියාව කළේ සත්වෝද්‍යානයේ. අම්මා රැකියාවක් කළේ නැහැ දැන් අයියා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. අපේ පවුලේ අයට මාව මේ ගමන එක්ක එන එක ලේසි වුණෙ නැහැ.

අපි අනන්තවත් දුෂ්කරතා විඳල තියෙනවා. අම්මයි තාත්තයි රෑට බිස්කට් එකක් කාල ප්ලෙන්ටියක් බීලා හිටිය දවස් තිබණා. මොකද මට පුහුණුවීම්වලට දවසකට රුපියල් 700ක් වියදම් කරන්න සිද්ධ වුණා. ගෙදර වියදම් දරමින් තාත්තගෙ රැකියාවෙන් තමයි මගේ පුහුණවීම්වලටත් වියදම් කළේ. අඩපාඩු ඇතිවුණත් තාත්ත මගේ පුහුණුවීම්වලට වියදම් කළා.

වෘත්තීය මට්ටමේ ක්‍රිඩිකාවක් වීම අපේ රටේ ඒ තරම් පහසු නැහැ නේද

මම ඉස්කෝලෙ ආවෙ ගියේ පනාගොඩ යුද හමුදා කඳවුර ළඟින්.

මගේ හිතේ තිබුණෙම කවද හරි යුද හමුදාවට බැඳීල මේ කඳවුර

ටම එනව කියලයි. සාමාන්‍ය පෙළ පාස්වෙන්න ඕන කියල හිතුවෙත් නැහැ. ඒ තරමට මම ක්‍රීඩාව එක්කමයි හිටියෙ.

ඒත් විභාගය ලිව්වා සියලුම විෂයයන් සමත් වෙලා තිබුණා. හැබැයි උසස් පෙළ කරන්න මගේ කැමැත්තක් තිබුණෙ නැහැ. මට තියෙන ක්‍රීඩා සහතිකවලට මාව යුද හමුදාවට ගනියි කියල ලොකු විස්වාසයක් තිබුණා.

උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයට යනවට වඩා මගේ ගමන තිබුණෙ වෙනත් මාවතක කියල මම වටහා ගෙනයි හිටියෙ.

මගේ මව්පියෝ වුණත් මම අධ්‍යාපනයට වඩා ක්‍රිඩාවට කාල

ය යොමු කරද්දී ක්‍රීඩා කරන්න එපා කියල බල කළේ නැහැ.

ඔවුන් හඳුනාගෙන හිටිය මේ ළමයව මේ දෙයින් වැළැක්වුවොත් මෙයාගෙ දක්ෂතාව විනාශ වෙලා යයි කියල.

ක්‍රීඩාවෙන් ඉදිරියට ගිහින් යම් තැනක ඉන්නව කියල සතුටක් තියෙනවා. හැමෝටම එකම දක්ෂතාවය පිහිටන්නෙ නැහැනෙ. ඕනම කෙනකුට එක දෙයක් දෙවියො දීලා තියෙනවා. මට දෙවියන් දීලා තියෙන්න ක්‍රීඩාව

රටේම අවධානයට ලක්වී ඇති කෙනෙක් වීම ජිවිතයට ලොකු බරක්ද ?

මට හිතෙනව වගකීමක් තියෙනව කියල. අනිත් අයට ආදර්ශයක් ඇති විදිහට ජිවත් වෙන්න ඕන. තමුන්ගෙ දේවල් තමන් තනියෙන් කරගන්න ́නග පුහුවීම්වලදි මොකක් හරි තුවාලයක් සිද්ධ වුණත් ඒ දේවල් තනියම දරාගන්නව අම්මයි තාත්තයි ළග නැහැනෙ.

අනිත් අය කන බොන අඳීන පලඳීන ගමන් බිමන් යන විදිහට අපිට කටයුතු කරන්න අපහසු වෙන අවස්ථා තියෙනවා. මොකද ක්‍රීඩා කරද්දී විශේෂ විදිහට හිතල කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හැම වෙලාවෙම මේක ගැන හිතල වැඩ කරන්නෙ. පවුලෙ ඥාතීන්ගෙ මරණ ගෙයකට මංගල්‍යයකට යාම පවා කැප කරන්න වෙනවා.

සචිනි ආදරය කරන, අනුගමනය කරන්න කැමැති ක්‍රීඩා ප්‍රතිරූපයක් තිබෙනවාද?

රිටි පැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන රුසියානු ජාතික යෙලීනා ඉසෙම්බෙලා ට තියෙන්නෙත් මගේ ජීවිත කතාවමයි. ඇයත් මුලින් ජිම්නාස්ටික් කරලා පසුව රිටි පැනීමේ ඉසවව්ට ඇවිත් හැමෝම බැහැයි කියල කියපු දෙයක් කරල පෙන්වපු ක්‍රිඩිකාවක්.

 

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.