අඩුපාඩු රැසක් මැද ෂුක්රා අකුරු කළ පාසල

පෙබරවාරි 3, 2021

පසුගිය සතියේ රටේම ආන්දෝලනාත්මක චරිතය වුණේ ෂුක්රා මුනව්වර් දියණියයි. ඇගේ ජයග්‍රහණය රෝස මල් ඇතිරූ සොඳුරු මාවතක් නොවෙයි. එය ඉතාම දුෂ්්කරය.

එසේම දුක්බරයි. ඒ දුක්මුසු සංවේදි කතාව ෂුක්රා දුවගේ මව අපට සඳහන් කළේ රටටම ආදර්ශයක් ලෙසින්. මේ කතාවේ තවත් දුක්බරම පසුබිම තිබෙන්නේ ඇය ඉගෙනුම ලැබූ ගා/සුධර්මා මහ විද්‍යාලයයි. මේ දක්ෂ දියණිය රටට දායාද කරන්නට අකුරු කළ මේ පාසල ගැනත් දැනගන්න බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලා සිටියා. හැබැයි ඇය මේ ගමන එන්නේ අගනුවර සුපිරි පාසලක ර්‍ණදතඪදඥ තාක්ෂණයෙන් දැනුම ලබාගෙන නොවෙයි. ගාල්ලේ මාගල්ල කියන ගමේ පුංචි පාසලකින්. ගාල්ල නගරයේ සිට මාතර දෙසට කිලෝමීටර් 2 ක් පමණ දුරකින් වූ මෙම පාසල පළාත් සභා 1ඒඕ පාසලක් ලෙස නම් කළ එකක්.

2004 වසරේදී සුනාමි රළ පහරින් සම්පූර්ණයෙන් විනාශයට පත් වූ මෙම පාසල නැවතත් සංවර්ධනය වී දියුණු වී තිබෙන්නේ මෙහි සේවය කළ විදුහල්පතිවරුන්, ගුරුවරුන් මවුපියන්ගේ විශාල කැපවීම හා උනන්දුව නිසයි. විවිධ වූ බාධක අභියෝග හා අඩුපාඩු මැද සිංල, මුස්ලිම් හා දෙමළ යන සියලු ජාතින්ගේ දරුවන්ට සිප් නැණ සතර බෙදන පාසලක් ලෙස දකුණු පළාතට ආලෝකයක් වූ මෙම විදු පියස ගැන රටම දැන් හොඳින්ම දන්නවා. 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් කටයුතු කරන මෙම පාසලේ ෂුක්රා වැනි දරුවකු බිහිවීම ගැන විදුහලේ වර්තමාන විදුහල්පති සරත් ලියනගමගේ මහතා සටහන් තැබුවේ මහත් අභිමානයෙන්. ඔහු තුළ වූ එම උනන්දුව හා කැපවීම සුහදශීලීත්වය සැබැවින්ම මෙවන් දරුවකු බිහිවීමට පූර්වාදර්ශයකි.

ඔහු සමඟ කළ කෙටි පිළිසඳර එයට හොඳටම ප්‍රමාණවත්ය.

“මේ පාසල මානව සම්පතින් යම් තරමකට සම්පූර්ණයි. අපට උසස් පෙළ විෂයයන් සඳහා ගුරුවරු කිහිපදෙනෙකුගේ අඩුපාඩුව විතරයි තිබෙන්නේ. මේ පාසලේ දරු දැරියෝ 1300 ක් ඉගෙනුම ලබනවා. ගුරුවරුන් 73 ක් සේවය කරනවා. අනධ්‍යයන සේවක මණ්ඩලය 12 ක් පමණ සිටිනවා. මානව සම්පත් අතින් අපි සම්පූර්ණ වුණත් භෞතික සම්පත්වල විශාල ගැටලු ප්‍රමාණයක් පවතිනවා. මේ ප්‍රශ්න වසර ගණනක් පුරා නොවිසඳුණු දැවෙන ප්‍රශ්න. ඒත් එම ගැටලුවලට විසඳුම් අපට ලැබිලා නෑ. හැබැයි මේ දරුවාගේ ජයග්‍රහණය නිසා යම් යම් ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලැබුණා.

නමුත් තවමත් අපට දැවෙන ප්‍රශ්න රාශියක් තිබෙනවා. අපේ පාසලට ලොකුම ගැටලුවක් වෙලා තිබුණේ පාසලට ජලය ලැබෙන ප්‍රධාන ජලනල මාර්ගය ක්‍රමානුකූලව සකස් වී නොතිබීම. ඒ නිසා පාසලේ උත්සවයක් වැනි අවස්ථාවක ජලය ලබාගැනීමට අපහසුතාවයක් තිබෙනවා. එයට විසඳුමක් ලෙස භූගත ජලය ලබා ගැනීමේ යන්ත්‍රයක් පිරිනැමීමට ‘සිරස’ මාධ්‍ය ජාලය ඉදිරිපත් වුණා.

අපගේ පාසලේ දරුවන්ගේ ඩෙස් පුටු අඩුපාඩුව දැවෙන ප්‍රශ්නයක්. අඩු ආදායම් පවුල්වල දරුවන්ට නිවෙසින් ඩෙස් පුටු ගේන්න කියන්න අපට අපහසුයි. ඒ වගේම ගුරුවරුන්ගේ මේස පුටු අඩුව විශාල වශයෙන් තිබෙනවා. ඒ වගේම තමයි පාසලේ ප්‍රාථමික අංශයේ වැසිකිළි පද්ධතිය. එය ඉතාම අබලන් වෙලා තිබෙන්නේ. මේ පාසල සුනාමියට හසුවීම නිසා ගොඩනැගිලිවල කණු දිරාපත් වෙලා. ගොඩනැගිලි කිහිපයක්ම පවතින්නේ ඉතාම අවදානම් මට්ටමේ. ඒ වගේම අධාපන කටයුතු කිරීමත් දරුවන්ගේ ජීවිතවලට අවධානමක්.

අපේ පාසලේ පිටුපස කොටස වෙන්වෙලා තිබෙන්නේ කාණුවකින්. ඒ නිසා පාසලත් දරුවොත් අනාරක්ෂිතයි. පාසලේ පිටුපසින් ඕනෑම අයෙකුට පාසලට ඇතුල්වෙන්න පුළුවන්. තාප්පයක් නොතිබීම නිසා දරුවන්ටත් පාසලේ ආරක්ෂාවට විශාල බාධාවක්. එසේම පාසලේ ප්‍රධාන ගේට්ටුව දිරාපත් වෙලා. අපේ පාසලට පරිගණක විද්‍යාගාරයක් තිබෙනවා. එහි පරිගණක 25 න් 20 ක්ම අක්‍රියවයි වසර ගණනක් වෙනවා. ක්‍රියා කරන්නේ පරිගණක 5 ක් පමණයි.

අපේ පාසලේ හදවත වගේ තිබෙන පුස්තකාලයේ අඩුපාඩු ගොඩයි. එහි ඩෙස් බංකු අඩුයි.

පොත් පත් වගේම ගොඩනැගිල්ලෙත් කිසිම සැලසුමක් නැහැ. මෙවැනි අඩුපාඩු රැසක් මැද තමයි අපේ පාසල මේ තරම් හොඳින් පවත්වාගෙන යන්නේ යැයි ඔහු සඳහන් කළේ අනාගතය පිළිබඳ අපේක්ෂා දල්වාගෙනයි.

ඔහුගේ මේ සියලු උත්සාහය ෂුක්රා වැනි දරුවන් සිය දහස් ගණනක් මෙම විදුහලෙන් බිහි කරන්නටය. මෙවැනි වූ අවම වූ භෞතික සම්පත් පිරි පාසලකින් ඇය වැනි දරුවකු බිහි වූයේ නම් තවත් මෙවැනි දක්ෂයන් කෙතරම් ඇතිද?

මේ පාසලේ දියුණුව වෙනුවෙන් අත දෙන්නට අනුග්‍රාහකයන් හා බලධාරින් ඉදිරිපත් වේ නම් එය කෙතරම් වටිනා ක්‍රියාවක්ද? පුද්ගලිකව හෝ යම් ආයතනයක් ඉදිරිපත් වී හෝ මෙම අඩුපාඩු සපුරා දෙන්නට හැකිවුවහොත් එය ෂුක්රා දියණියට පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකේය දරු පරපුරටම ශක්තියක් මෙන්ම වටිනා සද් ක්‍රියාවකි.

 

 

ආරාධනා පොත් මැඳුරෙන් ෂුක්රා දියණියට තරුණී පිරිනැමූදා..

ජීවිතය කියන්නේ අභියෝග මැද ඉදිරියට යන ගමනකි. මේ ගමනට මිනිස්සු විවිධ ක්ෂේත්‍ර, විවිධ ව්‍යාපාර, වෘත්තීන් තෝරා ගන්නවා. මෙලෙසින් තෝරා ගන්නා ඇතැම් ක්ෂේත්‍ර තරමක් දුෂ්කරයි.

නමුත් ඒ දුෂ්කර ගමන ඉතාම කැපවීමෙන් ගමන් කර ආපහු හැරී බලනවිට හරිම සුන්දරයි. දකුණු පළාතම දන්න ගාල්ලේ ආරාධනා පොත්හලත් එවැනි දුෂ්කර ගමනකින් බිහිවූ සාර්ථක ව්‍යාපාරයක්.

මේ පොත්හලේ අධිපති චන්දන මුණසිංහ මහතා අවුරුදු 35 කට පෙර ගාල්ලේ බස් නැවතුම්පොළ ඉදිරිපිට පත්තර ලෑල්ලක් පටන් ගත්තේ ස්වාධීනව තමන්ගේ ව්‍යාපාරයකින් දෙපයින් නැගී සිටීමේ අපේක්ෂාවෙන්. වතු අධිකාරිවරයකු වූ තම පියාත්, උපාධිධාරීන් වූ සහෝදරයන් දෙදෙනකු සිටි පවුලේ බාලයා වූ චන්දන මුණසිංහ මහතා තරුණ කාලයේම ගාල්ල නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට පත්තර ලෑල්ලක් විවෘත කළේ පුවත්පත්වලට ඇති ආදරය නිසාමයි.

මෙෙලෙසින් ආරම්භ කළ ව්‍යාපාරය දවසින් දවස ඔහු දියුණු කර ගත්තේ මහත් වෙර වීරියෙන්. දකුණු පළාතේම විශාල පත්තර අලෙවියක් සිදු කරන ව්‍යාපාරය බවට පැමිණි දිගු ගමන ගැන ඔහු අපට සඳහන් කළේ පසුගියදා ඔහු කළ සමාජ සද්කාරක කටයුත්තකට දායකවීමෙන් පසුවයි. සිරස ලක්ෂපති වාසනාව දිනූ ෂුක්රා මනවුවර් දියණියගේ ජයග්‍රහණයෙන් පසු පුවත්පත් සියල්ලකම ඒ ගැන පළවූයේ ඒ ජයග්‍රහණය ගැන අභිමානවත් ලෙස සටහන් කරමිනි.

මෙලෙස සටහන් තැබූ පුවත්පත් අතර තරුණී පුවත්පතේ මුල් කවරය හා ලිපිය කාගෙත් සිත් ගත් එකක් විය. ඒ නිසාම එම පුවත්පත් පිටපත් විශාල ප්‍රමාණයක් නොමිලේ එම පාසලට පරිත්‍යාග කිරීමට මුණසිංහ මහතා ඉදිරිපත් වුණේ මහත් කැමැත්තෙන්. ව්‍යාපාරිකයකු ලෙසින් ඉදිරියෙන්ම සිටින ඔහු තම ව්‍යාපාර කටයුතුවලට අමතරව මෙවන් කටයුතු රැසකටම දායකවීම ඉතාම අගය කළ යුතු කටයුත්තක්. ඔහු එම සමාජ සද්කාරක කටයුත්ත ගැන අපට සඳහන් කළේ මෙලෙසින්.

“මගේ ව්‍යාපාරය මේ තරම් දියුණු වුණේ විශාල කැපවීමකින්. ඉස්සර මම උදේ පාන්දර 4.00 ට පත්තර මිටිය උස්සාගෙන ගාල්ල ටවුමට ඇවිත් තමයි මුලින්ම පත්තර වෙළෙඳාම පටන් ගත්තේ. දැන් මට පොත් කඩ දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ ගාල්ලේ මහ වීදියේ. මටත් ඇත්තටම විශ්ව විද්‍යාලයට යන්න ලකුණු තිබුණා... ඒත් මගේ හිතේ තිබුණේ මහ පොළවේ ගැටෙන ස්වාධීන ව්‍යාපාරයක් පටන් ගන්න.

අපේ මේ ව්‍යාපාරයත් සමඟ සමාජ සද්කාරක ව්‍යාපාරයක් කිරීමේ ආසාව මට කාලයක පටන් තිබුණු දෙයක්. ඒ වෙනුවෙන් ආරාධනා තෑගි තරගය වැඩසටහන මම අවුරුදු කිහිපයකට පෙර ආරම්භ කළා. එය තරගයක් වුණත් අපේ අපේක්ෂාව වුණේ දුෂ්කර පාසල්වල දරු දැරියන්ට අභ්‍යාස පොත්පත් නොමිලේ පරිත්‍යාග කිරීමයි. මේ කටයුත්තට මගේ පුතාලා දෙන්නයි දුවයි බිරිඳත් සහයෝගය දෙනවා.

මගේ බිරිඳ රේණුකා මුණසිංහ මට විශාල ශක්තියක්. ඒ වගේම මගේ වැඩිමල් පුතා ලහිරු මුණසිංහත් විශාල සමාජ සද්කාරක කටයුතු රැසකටම දායක වෙනවා. මේ කටයුත්තේ තවත් පියවරක් ලෙස සුධර්මා විද්‍යාලයේ පුස්තකාලය අලුත්වැඩියා කර පොත්පත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.”