මනුසත්කම ඉතිරි කර කොරෝනා මාරයා රැගෙන ගිය ජීවකවරයා

වෛද්‍ය ගයාන් දන්තනාරායන
පෙබරවාරි 10, 2021

කඩුපුල් මලක් පිපෙන්නේ කලාතුරකිනි. එසේම කඩුපුල් පිපෙන්නේ ඝන අන්ධකාරයේය. එලෙසින් සුපිපෙන මල පරිසරයම සුවඳකර නිමේෂයකින් පරව යයි. ඒ සොබා දහමේ නියතයයි.

කඩුපුල් මලක් වැනි සුගන්දවත් මිනිසුන් ද කලාතුරකින් මේ මිහිමත පහළ වෙයි.

වෛද්‍ය ගයාන් දන්තනාරායන.... ඔහු ද මෙලෙසින් ලෝකයට පහළ වූ ඉසිවරයෙකි. ඔහු ලෝකයම සුවඳ කළේ තම වෛද්‍ය වෘත්තියට අතික්‍රමණය කළ හෘදයාංගම දයා ගුණයෙන් පිරිපුන් මිනිසකු ලෙසිනි. ඒ නිසාම දෝ ඔහුට මේ මිහිමත දිගු කලක් රැඳෙන්නට ඉඩ නොතිබුණි. වසර 32 ක් වූ යෞවනයේදී ගයාන් ලෝකයම හැර ගියේ මුළු රටම කඳුළේ ගිල්වමිනි. ඔහුගේ මේ මරණය සියලුම මාධ්‍ය සටහන් තැබුවේ ඉතාමත් සංවේදී ලෙසිනි. කුරිරු කොරෝනා මාරයා පැහැරගත් පළමු වෛද්‍යවරයා ලෙසින් හැම මාධ්‍යයක්ම විවිධ අයුරින් ඔහුගේ මරණය පිළිබඳ සටහන් තැබීය. මරණය අප සැමට උරුම වූ ඉරණමකි. මරණය පැමිණෙන දවස ගැන කියන්නට කාටවත් නොහැකි බව සපථ කරන්නට මේ හදිසි වියෝව හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් වෛද්‍ය ගයාන්ගේ මරණය අභියස ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරයි. හොඳ මිනිසුන්ට මේ මිහිමත රැඳෙන්නට ඉඩ නොතිබෙයි ද? එය ලෝකයක් අසන ප්‍රශ්නයයි.

වෛද්‍ය ගයාන් දන්තනාරායන මුලික අධ්‍යාපනය ලබන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙනි. මෙලෙසින් අධ්‍යාපනය හදාරන ඔහු හැම ක්ෂේත්‍රයකම දක්ෂයකු වන්නේ කාගේත් සිත් දිනාගත් සිසුවකු ලෙසිනි. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වාදක කණ්ඩායමේ දක්ෂ ගිටාර් වාදකයකු ලෙසින් ද දස්කම් පෑ ඔහු කලාව දෝත දරාගෙන චීනයේ ටැයැන්ජින් සරසවියට එක්වූයේ වෛද්‍ය සිහිනය සැබෑකර ගැනීමේ අධිෂ්ඨානයෙනි. තම පියාගේ අඩිපාරේ යමින් වෛද්‍ය ක්ෂේත්‍රය තෝරා ගන්නා ගයාන් අති දක්ෂ ලෙසින් තම වෛද්‍ය උපාධිය නිම කරන්නේ ජනප්‍රිය ගිටාර් වාදකයකු ලෙසින් ද දස්කම් දක්වමිනි. ‘ෆේටල් එරෝ’ (ජ්චබචත ඡ්පපධඹ) නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කරන ඔහු ගිටාරය, ඔක්ටොපෑඩ්, ඩ්‍රම්ස්, ඕගනය සහ වයලීනය ද ඉතාම දක්ෂ ලෙසින් වාදනය කිරීමට තරම් හැකියාව ලැබුවේ පරිගණක විද්‍යාව හා තවත් ක්ෂේත්‍ර රැසක ද දක්ෂයකු වෙමිනි.

මෙලෙසින් වෛද්‍ය උපාධිය හදාරා තම මව්බිමට පැමිණෙන ඔහු සීමාවාසික පුහුණුව සඳහා අම්පාර රෝහලට එක්වූයේ නොමේරූ දරුවන්ගේ ජීවිතවලට පණ දෙන්නටය. එහිදී ඔහු සිදු කළ මෙහෙවර වෛද්‍ය වෘත්තිය අභිබවමින් උතුරා ගැලූ සෙනෙහසකි. එය ඔහුගේ මිතුරු මිතුරියන් සිහිපත් කරන්නේ මහත් දුකකිනි. තම ජීවිත සහකාරිය ලෙස දන්ත වෛද්‍යවරියක් තෝරා ගන්නා වෛද්‍ය ගයාන් තම වෛද්‍ය වෘත්තියේ දිගු ගමනකට මුල පුරන්නේ රාගම ශික්ෂණ රෝහලෙනි. එහෙත් මරුවා නොසිතූ ලෙසින් ඔහු සොයා පැමිණියේය.

ඔහුට හදිසියේ කොරෝනා රෝගය වැලඳීමෙන් රාගම රෝහලෙන් සිට අයි. ඩී. එච්. රෝහලට යොමු කරන විට දියවැඩියා රෝගය හේතුවෙන් විවිධ සංකූලතා රැසක් ඇතිවී තිබුණි.

අධි රුධිර පීඩනයත් දියවැඩියාවත් නිසා නියුමෝනියා තත්ත්වයට පත්වී ඇත්තේ හුස්ම ගැනීමේ අපහසුතාවයට පත්වෙමිනි. පසුව කරාපිටිය රෝහලට යොමු කරන්නේ අයි. ඩී. එච්. රෝහලේ හදිසි ප්‍රතිකාර සඳහා ඇඳක් එහි නොතිබීමේ හේතුවෙනි.

 

ඔහු එලෙස ප්‍රතිකාර ලැබීමට කරාපිටිය රෝහලට යොමු කළ ආකාරය පිළිබඳ වඩාත් හොඳින් අප හට පැහැදිලි කළේ කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කේ. එච්. ජී. ජීවන්ත මහතාය.

“දැඩි සත්කාර ඒකකවල ඇඳන් පිරී තිබූ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා අපෙන් ඉල්ලීමක් කළා කරාපිටිය රෝහලට ඇතුළත් කර ගැනීමට. අපි ඔහුව සතියක් හොඳින් රැක බලා ගත්තා. ඔහුගේ මොළයේ ලේ වහනයවීමෙන් සිදු වූ විවිධ සංකූලතා නිසා තමයි මිය ගියේ. අපි ඔහුව බේරා ගන්න සෑහෙන්න උත්සාහ කළා. එක්මෝ යන්ත්‍රයක් මඟින් ලේ පිරිසුදු කිරීම සතියක්ම සිදු කළත් ඔහුගේ ජීවිතය බේරා ගන්න නොහැකිවීම ගැන අපට විශාල දුකක්.” එය ඔහු සඳහන් කළේ මහත් වේදනාවෙනි.

මෙලෙසින් මිය ගිය වෛද්‍ය ගයාන් පදිංචිව සිටියේ රාගම ප්‍රදේශයේය. ඔහු පවුලේ තුන්වැනියාය. ඔහුට බාල මල්ලී යසිත් සහ ඔහු නිවුන් සොයුරන්ය. ගයාන්ගේ වැඩිමල් අයියා අමිල, දෙවැනි අයියා පවිත්‍ර වන අතර එකම නැගණිය යසාරාය. ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකුලව පසුගිය 02 දා දඩල්ල ආදාහනාගාරයේදී සිදු වූයේ පවුලේ ඥාතීන් සහ සමීපතම හිතවතුන්ගේ සහභාගිත්වයෙනි. මෙලෙසින් ඔහු මිය යන විට ඔහුගේ මවට සහ පියාට කොරෝනා රෝගය වැළඳී සුවපත් වී තිබූ අතර ඔවුන් වෛද්‍ය ගයාන්ගේ සුවදුක් බැලීම සඳහා කරාපිටිය රෝහලට පැමිණ තිබුණේ ඔහු මිය යන්නට පෙර දිනයේදිය. වෛද්‍ය ගයාන්ගේ පියා වන ස්වර්ණතිලක මහතා ද වෛද්‍යවරයෙකි. ඔහු පෞද්ගලික වෛද්‍ය ආයතනයක් පවත්වාගෙන යන අතර තම වෛද්‍ය පුතාගේ දක්ෂතා ගැන මහත් බලාපොරොත්තු තබා තිබුණේ තම වැඩිමහල් පුතා ද නොසිතූ ලෙසින් වසර දහයකට පෙර දුම්රිය අනතුරකින් මිය ගිය ශෝකය මකා ගන්නටය. එහෙත් කොරෝනා මාරයා ඔහුගේ වෛද්‍ය පුතාද උදුරා ගත්තේ බලහත්කාරයෙනි.

එලෙසින් හදිසියේම දිවියෙන් සමුගත් වෛද්‍ය ගයාන් වඩාත්ම සමීප වූ මිතුරන් සමූහයකි. ඔවුන්ට ද ඔහුගේ සමුගැනීම සිහිනයකි. මනුස්සකම උතුරා ගලන හදවතක් වූ ඔහු වෙනුවෙන් බොහෝ මිතුරන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සොව පළකරමින් විවිධ සටහන් තබා තිබුණි. ඒ සෑම සටහනකම වූයේ මේ ගුණවත් වෛද්‍යවරයා පිළිබඳ වූ උතුරා ගලන සෙනෙහසකි. මේ මිතුරන් අතුරින් අපට ඔහු සමඟ සමීපව සිටි වෛද්‍යවරයකු හමුවූයේ බලපිටිය රෝහලෙනි. වෛද්‍ය මනෝජ් ජයසිංහ වසර හතරක කාලයක් වෛද්‍ය ගයාන් සමඟ සමීප ඇසුරක් තිබූ මිතුරෙකි. ඒ මිතුදම ඔහු මෙලොවින් සමුගන්නා තෙක්ම එක ලෙසින්ම පැවැතියේ පුදුමාකාර සංසාරගත බැඳීමක් ලෙසිනි. එම සංසාරගත බැඳීම ගැන ඔහු ඉතාමත් සංවේදී අයුරින් වචනවලට ගැළපුවේ හදවතේ මහත් වේදනාවක් සිරකරගනිමිනි.

“ඇත්තටම ගයාන්ගේ මනුස්සකම ගැන කියන්න මට නම් වචන නෑ.... ඔහු හිතේ කොතැනකවත් ඉරිසියාව, කුහකකම, උඩඟුකම, තන්හාව ගෑවිලාවත් තිබුණේ නැති යාළුවෙක්. එයා මට මුණහැගුණේ චීනයේදී. අපි ‘ෆේටල් එරෝ’ කියන මියුසික් බෑන්ඩ් එකක් හැදුවා. ඒක හදන්න මුල්වුණේ ගයාන්. ඒ බෑන්ඩ් එකේ ඉන්දියාවේ, නේපාලේ, බංගලදේශයේ ශිෂ්‍යයෝ සිටියා.

ගයාන්ට සංගීතය ගැන තිබුණේ පුදුම හැකියාවක්. එයාට ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන්. මට මුලින්ම සංගීතය ගැන ඒ තරම් අවබෝධයක් තිබුණේ නෑ. ගයාන් හුඟක් දේවල් කියලා දුන්නා. රෙගේ සංගීතය වැනි දේ ගැන එයාට තිබුණේ පුදුම හැකියාවක්. අපි චීනයේ රාත්‍රි කාලයේ පවත්වන උත්සවවල සංගීත සංදර්ශන පැවැත්වූවා. ඒ සංගීත ප්‍රසංග හුඟක් ජනප්‍රිය වුණේ ගයාන්ගේ දක්ෂ ගිටාර් වාදනය නිසයි.

මට ජීවිතයේ හම්බවුණු යාළුවෝ අතර ගයාන් තරම් මනුස්සකම් පිරුණු කෙනෙක් ඇත්තටම හම්බවෙලා නෑ. එයා සංගීතය ගැන විතරක් නොවෙයි පරිගණක ගැන, ජාන විද්‍යාව ගැන, රසායන විද්‍යාව ගැන... මේ ඕනෑම දෙයක් ගැන ඇහැව්වොත් අපට හොඳටම කියා දෙනවා. ඇත්තටම ගයාන් අපට වඩා සෑහෙන ඉදිරියෙන් හිටිය ශිෂ්‍යයෙක්. එයා ලංකාවට ආවට පස්සේ අපිට නිතර නිතර හමුවෙන්න බැරිවුණේ එයා අම්පාරේ සේවය කළ නිසා. ඒත් අම්පාර රෝහලට අපේ යාළුවෝ රෝගී දරුවෙක් ඇරගෙන ගියොත් තේ එකක් හරි කැන්ටිමෙන් ඇරන් දෙන පුරුද්දක් තිබුණා.

ගයාන්ට ජීවිතය ගැන ලොකු අවබෝධයක් තිබුණා. එයාගේ පවුලේ වැඩිමල් සහෝදරයා අමිල හදිසි අනතුරකින් මිය ගිය සිද්ධිය නිසා පවුලම විශාල කම්පනයකින් හිටියේ. සමහරවිට එයා සංගීතයට යොමු වෙන්නත් ඇත්තේ ඒ අමිහිරි අතීතය නැතිකර ගන්න වෙන්න ඇති.

ගයාන් අසාධ්‍ය තත්ත්වයේ ඉන්නකොට මම ගියා බලන්න. ඒත් ඔහු සමඟ කතා කරන්න නම් බැරි වුණා. හුඟක් ඔහු අසාධ්‍ය තත්ත්වයට පත් වෙන්න පෙර මට message කිහිපයක්ම එවලා තිබුණා. මම අවසන් කටයුතු කරන අවස්ථාවට එකතු වුණා. ඒක නම් ඇත්තටම දරාගන්න බැරි තරම් දුකක්. ගයාන්ගේ තාත්තා අපට කිව්වේ පුතේ මම අවුරුදු 30 ක් වෛද්‍ය වෘත්තියේ හිටියා. ලෙඩ්ඩු සිය දහස් ගානක් සුවපත් කළා. ඒත් මිනිස්සු දැන් එන්නේ මාව හොයාගෙන නෙවෙයි ගයාන් හොයාගෙන කියලා. ඒ තරමටම ගයාන් මිනිස්සුන්ට සමීපයි, ලෙන්ගතුයි, ආදරෙයි. ඒ ආදරය එයාගේ හද පතුලෙන්ම ආපු දෙයක්. ඒ නිසා ඒ ආදර දයාවේ උණුසුමට පුංචි දරුවෝ පවා සුව වුණා. ඒත් හොඳ මිනිස්සුන්ට මේ ලෝකේ වැඩි කාලයක් රැඳෙන්න බැහැ. ඒ නිසා ගයාන්ටත් අපි එක්ක රැඳෙන්න බැරිව අපිව තනි කරලා සදහටම වෙන් වුණා.”

ඔහුගේ වියෝව සමස්ථ වෛද්‍ය ක්ෂේත්‍රයේම සිටින සැමටම වේදනාවකි. කොරෝනා රෝගය හමුවේ ජීවිතය පරදුවට තබමින් වෛද්‍ය ගයාන් තම සේවය ලබා දුන්නේ සටනක ඉදිරියෙන්ම ගමන් ගන්නා සෙන්පතියකු ලෙසිනි. ඒ නිසාම ඔහුට තම ජීවිතය ගැන සිතන්නට තරම් කාලයක් නොතිබෙන්නට ඇත.

 

විශේෂ ස්තුතිය කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය

අරවින්ද වීරසිංහ මහතාට