කොවිඩ් 19 ට බිලිවූ ලොව විශිෂ්ටතම විද්‍යාඥවරිය ගීතා රාම්ජී

අප්‍රේල් 8, 2020

*අවසන් සුසුම් හෙළුවේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලකදී

 

*වෛරස් විද්‍යාඥවරියක වන ඇය වෛරසයක් ශරීර ගත වීමෙන් මියයාම දෛවයේ සරදමක් වැනිය.

 

විද්‍යාඥයකු යනු ලෝකයටම වැදගත් චරිතයකි.විද්‍යාඥයකු විසින් සොයාගන්නා දේ බොහෝ විට සමාජයේ දියුණුවට හේතු වේ.

විද්‍යාඥවරියක වන ගීතා රාම්ජී ලොවට අහිමි වන්නේ ඇය වඩාත්ම අවැසි වන මොහොතකය. ලෝකයේ කීර්තිමත් වෛරස් විද්‍යාඥවරියක වන ඇය වෛරසයක් ශරීරගත වීමෙන් මියයාම දෛවයේ සරදමක් වැනිය.

ඇය මෙලෙස ඉතාමත් අවාසනාවන්ත ලෙස මියගියේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ශරීර ගත වීමෙනි.

ඉන්දියානු පවුලක උපත ලැබූ ගීතා පසුගියදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලකදී සිය අවසන් සුසුම් වාතලයට මුසු කරන විට 64 වැනි වියේ පසුවූවාය.

දකුණු අප්‍රිකාවේ ඒ වනවිට වාර්තාවී තිබූ මරණ සංඛ්‍යාව 5කි.

මහාචාර්ය ගීතා රාම්ජී දකුණු අප්‍රිකාවේ එච්. අයි. වී. ආසාදනයෙන් වැලඳෙන ඒඩ්ස් පිටු දැකීමේ වැඩසටහනේ පුරෝගාමී විද්‍යාඥවරියයි.

දකුණු අප්‍රිකාවේ ඒඩ්ස් ආසාදිතයන් මිලියන හතක් පමණ වාසය කරයි. එබැවින් ගීතා රාම්ජී ඒඩ්ස් පිටුදැකීමේ එරට වැඩපිළිවෙළට සාර්ථක ලෙසින් නායකත්වය ලබා දෙමින් සිටියාය.

විශේෂයෙන් ඒඩ්ස් ආසාදනය වූ කාන්තාවන් සහ දරුවන් පිළිබඳ ඇගේ සැලසුම හා කාර්යභාරය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සම්මාන ලබාදී ඇගයුමට ලක්කර ඇත.

එමෙන්ම ඇය ඒඩ්ස් සඳහා එන්නතක් නිපදවීමට පර්යේෂණ සිදු කරන කණ්ඩායමටද නායකත්වය දෙමින් සිටියාය.

මහාචාර්ය ගීතා රාම්ජී ලොව විශිෂ්ටතම විද්‍යාඥවරිය ලෙස 2018 වසරේ European Development of Clinical  Trials Partnerships (EDCTP)මගින් නම් කර තිබිණි. මාර්තු මස පළමු සතියේ ලන්ඩනයේ සිදුකළ ඒඩ්ස් පිළිබඳ පර්යේෂණයකට සහභාගිවි පැමිණි ඇය තමාට දැනුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඩර්බන් නගරයේ දී රෝහල් ගත වූවාය. එහිදී සිදුකළ පරීක්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ඇයට ආසාදනය වී ඇති බව හෙළි වූ අතර ඒ අනුව ඇය ප්‍රතිකාර සඳහා යොමු කළාය.

එහෙත් කිසිවකුටත් ඇගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වන සේ කොවිඩ් 19 වෛරසය ඇයව ආක්‍රමණය කොට අකර්මණ්‍ය කර තිබිණි.

ලෝකයේ යහපත උදෙසා තම දිවිය කැප කළ කිර්තිමත් විද්‍යාඥවරියක වූ ගීතා රාම්ජි ලෝකයට අහිමි වූයේ එලෙසිනි. සැබැවින්ම මෙයින් අපට මේ වෛරසය කොතරම් භයානකද යන්න වටහා ගැනීමට කදිම අවස්ථාවකි.