සවස තේ මේසයට සොනාලි හදන ‘චුරෝස්’

ජූලි 29, 2020

“ගුමු ගුමුව වදුලේ

සිලි සිලිය සුළඟේ
මුනුමුනුව නදියේ
කුසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුණේ”

 

තිරගත වු පැරැණි චිත්‍රපටයක මේ ගීතය රැගත් රූප රාමු පෙළක් ගෙදර රූපවාහිනියේ දිස්වෙනවා.

සමිතා එරන්දතී ගායනා කරන මේ ගීතයේ රිද්මයට පන් මල්ලක් අතින් අරන් අක් බඹරු වන් දිගු කෙස් කළඹක් හිමි සුරූපිණියක්, නිතඹ නළවමින් වෙල් යායක් මැද්දේ ගලා යන දොල පාරක දිව යනවා.

මීට අවුරුදු 23 ට පෙර තිරගත වූ ‘වීසිදැල’ චිත්‍රපටයේ රඟපාමින් ප්‍රේක්ෂකයන් මෝහනයට පත් කළ මේ සුරූපිනිය අනුෂා සොනාලියි. ඇය ගැන හඳුන්වාදීමට මෙය හොඳටම ප්‍රමාණවත්ය. දිය පාරවල් දිගේ දිව ගිය අද ඇය ගිලන්ව රෝද පුටුවකය.

දෛවය කොතරම් නපුරුද? මනුෂ්‍ය වර්ගයාට කලාතුරකින් සෑදෙන රෝගයක් නිසා ඇගේ ඉනෙන් පහල දෙපා අක්‍රිය වී ඇත. ප්‍රතිකාර කරමින් කල් ගෙව්වත්, පූර්ණ සුවය ලැබීමේ සුබ නිමිත්තක් තවම දකින්නට නැත. ජනපි‍්‍රයත්වයේ මුදුන් පෙත්තේ ඉන්නා කාලයේ මාධ්‍යය සගයෝ ඇයව ලුහුබැඳ ගියෝය. ඇය දැන් තනිවී ඇත. ඒත් ‘තරුණී’ අපි ඇයව අමතක කළේ නැත. මේ ‘සොනාලිය’ හදන කෑමක් ‘තරුණී’ පාඨක ඔබ වෙනුවෙන් කියා දෙන්නට මම පසුගියදා අඟුලාන ‘සයුරුපුර’ නිවාස සංකීර්ණයට ගොඩ වැදුණෙමි.

හායි අනුෂා නංගී කොහොමද හුඟ කාලෙකින්.

අවුලක් නැහැ අයියේ. නැඟිට ගන්න බැරි එක තමයි දුක.

බයවෙන්න එපා නංගී... ඔයාට සනීප වෙයි. ඉතින් අද අපි වෙනුවෙන් හදන්න යන කෑම වර්ගය මොකක්ද?

මේක ඇත්තටම මගේම නිර්මාණයක් නෙවෙයි. ඒත් අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්න ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක්.

මොන වගේ දෙයක්ද?

අපි සාමාන්‍යයෙන් හවස් වරුවේ තේ බොනවනේ. අන්න ඒ වෙලාවට තේ එක රසවත් කරන්න පුළුවන් අතුරු කෑමක් තමයි මේක.

මොකද්ද නම?

චුරෝස්.

මේ අර කොළඹ සුපිරි අවන්හල්වල තියෙන පැණි රස කෑම වර්ගයද?

ඔව්. ඔව්. ප්‍රධාන නගරවල මේ කෑම වර්ගය තරුපහේ හෝටල් වගේම, සාමාන්‍ය ජනතාවට යන්න බැරි අවන්හල්වල ලොකු මුදලක් දීලා ගන්න පුළුවන්.

ඉතින් අනුෂා චුරෝස් හදන්න අපිටත් ලොකු මුදලක් යනවද?

අනේ නැහැ.... ගොඩාක් අඩු මුදලකින් හදා ගන්න පුළුවන්.

මේක අරාබිකරයේ කෑමක්ද?

නැහැ. මේක 16 වැනි සියවසේ ස්පාඤ්ඤයේ එඬේර ජනතාව විසින් මුලින්ම සොයාගත් කෑමක් ලෙසයි සඳහන් වන්නේ. එය පසුව ප්‍රචලිත වෙලා පෘතුගාලය, මෙක්සිකෝව, පිලිපීනය ඇතුළු තවත් රටවල් බොහොමයක පැතිර ගොස් තිබෙනවා.

‘තෑන්ක් යූ’ නංගි. කෑම වර්ගයේ ඉතිහාසය ගැනත් අපිට කියලා දුන්නා. එහෙමනම් හදමු බලන්න.

මුලින්ම ‘නොන් ස්ටික්’ පෑන් එකක් ළිප තියලා ඒකට බටර් ටික දානවා. බටර් දියවීගෙන එනකොට, සීනි, කිරි, ලුණු එකතු කරලා ඒකට වැනිලා තේ හැඳි කාලක් විතර එකතු කරනවා. ඊට පස්සේ මේ මිශ්‍රණයට පාන්පිටි එකතු කරලා පිටි ටික තැම්බෙනකම් හොඳට හැඳි ගානවා. රොටි හදන ගානට මේ පාන් පිටි මිශ්‍රණය හදාගත්තට පස්සේ ළිපෙන් බාලා හොඳට නිවෙන්න තියනවා. නිවුනට පස්සේ බිත්තර ගෙඩි 3 ක් හොඳට ගහලා මේ පිටි එකට එකතු කරනවා. බිත්තරවල පිළීගඳ යන්න මම මේකට කුරුඳු කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරලා හොඳට අනාගන්නවා. පස්සෙ තමන් කැමැති හැඩයක් තියෙන නොසල් එකක් අරගෙන මේ පිරවුම දාලා එළවළු තෙල් පුරවාගත් තාච්චියකට මිරිකා ගන්නවා. මිරිකා ගන්නකොට අඟල් 4 කැබැලිවලට තාච්චියට වැටෙන කොට කතුරකින් කපා ගන්නවා. රන්වන් පාටට බැදුණු පසු මේ කෑලි කුඩුකරගත් කුරුඳු කුඩු මිශ්‍ර සීනි කුඩා පෙරණයක ආධාරයෙන් මිශ්‍ර කර ගන්නවා.

ඊට පස්සෙ රස විඳිනනයි තියෙන්නෙ.

තවත් මේක රසවත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. කැමැතිනම් හදාගන්න.

ඒ මොකක්ද?

සෝස් එකක්. චොක්ලට් ක්‍රීම් ටිකක්, බටර් ටිකක් එක්ක මික්ස් කරලා පොඩ්ඩක් රත්කරලා ක්‍රීම් එකක් හදා ගත්තොත් මේ චුරෝස ‘ස්ටික්ස්’ ක්‍රීම් එකේ තවරා ගෙන රස විඳින්න පුළුවන්.

 

 

චුරෝස් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 2

නැවුම් කිරි කෝප්ප 2

සුදු සීනි මේස හැඳි 2

ලුණු තේ හැඳි 1/2

එළවළු තෙල් කෝප්ප1 1/2

බටර් ග්‍රෑම්150

වැනිලා තේ හැඳි 1

අඹරාගත් සුදු සීනි කෝප්ප 1/4

කුරුඳු කුඩු තේ හැඳි 1

බිත්තර ගෙඩි 2