හින්දි සිනමාවේ මෝස්තරකාරිය ‘සෝනම්’

ජනවාරි 16, 2019

හින්දි සිනමාවේ මෝස්තරකාරිය කවුදැයි ඇසුවොත් නොවරදින පිළිතුරක් වේ නම් ඒ ‘සෝනම් කපූර්’ ය. ඒ තරමටම විවිධ විලාසිතාවලට ප්‍රිය සෝනම් දිනපතා සැරසෙන විලාසිතාවන් ද එකකට එකක් වෙනස්ය.

එක් අවස්ථාවකට සාරියකින් හැඩුවුවහොත් ඊළඟ මොහොතේ ඇයව දැකගත හැක්කේ ඉතා කෙටි ගවුමකින් සැරසුණු දඟකාර තරුණියක් ලෙසය. ඇගේ ඇඳුම් අතර තෝරා ගත් එක් විශේෂ ඇඳුම් වර්ගයක් ද නැත. ඕනෑම විලාසිතාවකට ඇගේ රූපය ද බැබළෙයි.

ඒ නිසාම දිගු කලිසම, කෙටි ගවුම, දිග ගවුම, සල්වාර්, සාරි, ලෙහෙන්ගා ආදී විවිධාකාර විලාසිතාවලින් ඇගේ හැඩකාර සිරුරට ලැබෙන පෞරුෂත්වය ද සුළු නොවේ.

සිනමා පවුලක උපත ලද නිසාම කුඩා අවදියේ සිටම කැමරාව හුරුපුරුදු මේ හැඩකාරිය කැමරාවට ද දක්වන්නේ බුහුටි බවකි. අනිල් කපූර් නම් ඔබ ආදරය කරන හින්දි නළුවාගේ වැඩිමහල් දියණිය සෝනම්ය. ‘බ්ලැක්’ සිනමා සිත්තමට සන්ජේ ලීලා බන්සාලිගේ සහාය අධ්‍යක්ෂවරිය වෙමින් සිනමාවට පැමිණි ඇය ‘සවාරියා’ හරහා නිළියක ලෙසින් කලඑළි බැසීය. ඉන්පසු ඇගේ අපූර්ව රංගන ප්‍රතිභාව ‘නීර්ජා’ සිනමා සිත්තමෙන් දැකගත හැකි විය. කෙටි කලක් තුළ සිනමා සිත්තම් කිහිපයකට පමණක් දායක වී ෆිල්ම් ෆෙයාර් සම්මාන මෙන්ම ඉන්දීය ජාතික සම්මානය ද දිනාගත් ඇගේ නවතම රංගනයක් ඔබ දුටුවේ ‘පෑඩ් මෑන්’ සිනමා සිත්තමෙනි.

පසුගිය වසරේ මැයි මස දී කෝටිපති ව්‍යාපාරික 35 හැවිරිදි ආනන්ද් අහූජා සමඟ විවාහ දිවියට පිවිසි 33 වියැති සෝනම් දැන් ආදරණීය බිරියකි. ආනන්ද් සික් ජාතිකයක් නිසා ඔවුනගේ විවාහය පැවත්වූයේ සාම්ප්‍රදායක සික් විවාහ උත්සවයක් ලෙසිනි. මෙම උත්සවය සඳහා පවුලේ හිතවතුනට හැර වැඩි පිරිසකට ආරාධනා කර තිබුණේ ද නැත. ඉන්දියාවේ විශාලතම අපනයන සමාගමක් වූ ෂසී එක්ස්පෝට් හි හිමිකරුවකු වූ ආනන්ද් මෝස්තර නිර්මාණ ආයතනයක හිමිකරුවකු ද වේ. ඕඩචදඥ වෙළෙඳ නාමය යටතේ විලාසිතා ලොවට එක්වන ඇඳුම් ඔහුගේ ආයතනයේ ඒවාය. මේ ව්‍යාපාරය හරහා ඔහුට අමෙරිකන් ඩොලර් මිලියන 450 ක පමණ වත්කමක් හිමිව තිබේ. ඊට අමතරව අනෙකුත් ව්‍යාපාර වෙතින් ද ඊට නොදෙවැනි ආදායමක් ඔහු උපයයි.

 

2019/01/16 තරුණි බලන්න