මං ඇන්ජලීන් නැන්දාගේ රූපයට පහන් දල්වනවා

ඇන්ජලීන්ගේ ගී ගයන්නට ආශිර්වාද ලැබූ ආක්ෂා චමුදි ඇන්ජලීනා
අප්‍රේල් 10, 2019

ආක්ෂා චමුදි දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවෙන් මතුවී කලා අඹරේ සුදිලෙන පුංචි තාරකාවකි.

ඇගේ හඬ මෙන්ම ගායන විලාසය සුවහසක් රසික ප්‍රජාව ආදරයෙන් වැලඳ ගනිද්දී ආක්ෂා ජනප්‍රියතම තරුවේ මෙන්ම ගායන හැකියාවෙන් අනුශූරතාවේ කිරුළු පැලැන්දාය. ඉන්මතු ද සාඩම්බරණීය කිරුලක් දිනන්නට ආක්ෂා භාග්‍යවන්තියක් වූවාය. ඒ ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය තම ගීත ගායනයට ආක්ෂාට පිරිනැමූ ආශිර්වාදයයි. එපමණක් නොවේ ඕ ආක්ෂා චමුදිගේ නමට ‘ඇන්ජලීනා’ යන නාමයද එක් කළාය.

ඕ මෙලෙස මහඟු යුතුකම ඉටුකළේ දෙව් මව්තුරුලට නික්මෙන්නට පෙර සැමරු අවසන් උපන් දිනයදාය. ඒ ආක්ෂා තම රිදී සීනු ගායන හඬ අනාගතයටත් රැගෙන යා හැකි ළදැරියක් බව එතුමියට හැඟුණු බැවිනි.

අද ඇන්ජලීන් ගුණතිලක මහත්මිය දෙව්මවු තුරුලට නික්ම ගොසිනි. ඉදින් අපි ඇගේ ගීත ගයන්නට ඇයගෙන් ආශිර්වාද ලැබූ පුංචි ඇන්ජලීන් ඇමතූමු. ඒ හෙට දවසටත් ගායන ලෝකය තුළ රිදී සීනු හඬ මතකයට නැංවීමේ මහත් වගකීම ගැන ආක්ෂා චමුදි ඇන්ජලීනාගෙන් අසන්නටයි.

ජීවන ගමනේ සත්වැනි සැතපුම පසු කළ ආක්ෂා තවමත් සුරතල් දැරියකි. මේ ලස්සනට සිංදු ගැයූ ඇන්ජලීන් නැන්දා ගැන ඇයට ඇති අපූර්ව මතකයයි.

මං පුංචිම පුංචි කාලේ ඉඳලම සිංදු කියනවා. මං වගේ ළමයි දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනේ සිදු කියනවා දැක්කාම මටත් ටීවී එකට ගිහින් සිංදු කියන්න ආසා හිතුණා. මාවත් දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට එක්ක යන්න කියලා මං අම්මාටයි තාත්තාටයි කිව්වා. ඊට පස්සේ ඒ දෙන්නා මං ගැන ලියලා තරගයට අයදුම් පතක් යැව්වා.

මං තරගයට ඇන්ජලීන් නැන්දාගේ සිංදු කිව්වේ හරිම ආසාවෙන්. ඇන්ජලීන් නැන්දා මං දෙරණ ටීවී එකේ සිංදු කියන හැටි බලන්න ඇති. ඇන්ජලීන් නැන්දාව හමුවෙන්න කියලා මට පණිවිඩ කීපයක්ම ලැබුණා.

 

2019/04/10 තරුණි බලන්න