උපතින්ම දෑත් අහිමි ජෙසිකා කොක්ස්

මැයි 22, 2019

මිනිසකු ලෙස ඉපදෙන්නට පින්කළ යුතුයි. එයිනුත් සියලු දෑ අංග සම්පූර්ණව උපදින්නට බොහෝ සේ පින් කළ යුතුයි.. එහෙත් ජීවිතය දිනන්නට ශරීරයේ අංග පමණක් ප්‍රමාණවත් නැත.

එයට ධෛර්යමත් සිතක් අවශ්‍යය. ශක්තිමත්, ධෛර්යමත් සිතකට යා හැකි දුර බොහෝමයි.

උපතින්ම දෑත් අහිමි ජෙසිකා කොක්ස් උපත ලබන්නේ වර්ෂ 1983 පෙබරවාරි 02 වැනිදායි. ඒ අමෙරිකාවේදීය. ඇය කුඩා කාලයේ සිටම තම ආබාධිත බවද නොසලකමින් විවිධ විෂයයන් ඉගෙනගන්නට උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂේත්‍ර ගණනාවකම දක්ෂකම් දක්වන්නට ජෙසිකාට හැකියාව ලැබුණා. වයස අවුරුදු 03 දී ජිම්නාස්ටික් ක්‍රීඩා ඉගෙන ගන්නටත් ඇය උත්සුක වුණා. ඉන් නොනැවතී සර්ෆ් ක්‍රීඩාව සහ පිහිනීමත් ඇය ප්‍රගුණ කරනු ලැබුවා. වයස අවුරුදු 09 ක් සපිරෙන විට ඇයගේ මාපියන් ඇයව ආබාධිත පුද්ගල හමුවකට රැගෙන යනු ලබනවා.

තමා මෙන්ම තවත් ආබාධිත පුද්ගලයන් රැසක් හඳුනාගන්නට ඇයට හැකියාව ලැබුණා. හඳුනාගත් නව මිතුරන් සහ ඔවුන්ගේ ධෛර්යය දැකීමෙන් ඇයත් ධෛර්යවන්ත වුණා. ලැබූ ධෛර්යයෙන් ජයග්‍රහණයන් රැසක්ම ඇය ලබාගනු ලැබුවා. ඉතා කුඩා වයසේදී ජිම්නාස්ටික් සූරියක් වන්නටත්, ටයිකොන්ඩෝ ක්‍රීඩාව වෙනුවෙන් කළුපටි පලඳින්නටත් ජෙසිකා කොක්ස් සමත් වුණා. වර්ෂ 2008 වසරේදී ඇයට තවත් ජයග්‍රහණයක් හිමිවුණා. ඒ ලොව ප්‍රථම දෑත් අහිමි ගුවන් නියමුවරිය වී ගිනස් වාර්තාවක් ද පිහිටුවමිනි.

ඇය මේ වනවිට ක්ෂේත්‍රයන් රැසකම දක්ෂකම් දක්වන්නට සමත්ව තිබෙනවා. ගුවන් යානා පැදවීම, පියාමෝ වාදනය, ජිම්නාස්ටික් ක්‍රීඩාව, ටයිකොන්ඩෝ ක්‍රීඩාව, නර්තනය, සර්ෆ් ක්‍රීඩාව, පිහිනුම මෙන්ම මනෝ විද්‍යා උපදේශකවරියක ලෙස ද ඇය කටයුතු කරනු ලබනවා. ජෙසිකා මේ වනවිට විවාහක කාන්තාවක්. ඇයගේ සැමියා වන පැට්ට්‍රික් වැම්බලෑන් ජෙසිකා පිළිබඳ කැමැත්තක් ඇතිකරගෙන තිබෙන්නේ ද ඇය සතු නොපසුබට උත්සාහය සහ ධෛර්යමත් බව නිසාය. නිරන්තරයෙන් විවිධ අඩුපාඩු කියමින් හඬාවැළපෙන අයට ජෙසිකාගේ ජීවිතය සැබැවින්ම ආදර්ශයකි.