මොඩ්ලින් එක්ක ෆුට්බෝල්

- ප්‍රවීනා මල්කි
ජුනි 5, 2019

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියලා කිව්වේ කාලාන්තරයක් තිස්සේ ඉඳලා. ඒත් ඒක නිකම්ම නිකන් වාක්‍යයක් බවට පත් කරන්න වැඩ දන්න මිනිස්සුන්ට ඒ හැටි කාලයක් ගතවුණේ නැහැ. ගැහැනු, පිරිමි භේදයකින් තොරව මේ ක්‍රියාදාමය මෙහෙම සිද්ධ වෙනකොට අපි මේ අද කියන්න සූදානම් වෙන්නේ ඔබ වගේම තාරුණ්‍ය ගත කරන සොඳුරු රුවැත්තියක් ගැන කතාවක්. ඇය සාම්ප්‍රදායිකත්වයෙන් මිදිලා නව ඉසව් සොයන්නට සමත් වුණු තැනැත්තියක් කිව්වොත් ඒකේ ඇති වැරැද්දක් නෑ. හිතන්න පුළුවන් ද ? ශී‍්‍ර ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ඇය නිරූපණයේ යෙදෙන්නත් සමත්කම් දක්වන්නියක් කියලා. කොහොම වුණත් ඕඕඛ් පුවත් සේවයේ ඇය සමඟ කළ කතාබහක් තමයි අපි මේ ඔබට උපුටා දක්වන්නේ. තව ටිකෙන් කියන්නත් අමතක වෙනවා ඇය නමින් ප්‍රවීනා මල්කි පෙරේරා.

“මම පාසලේ 6 වසරේ ඉන්නකොට දැක්කා කට්ටිය බෝලෙකට පයින් ගහගහා දුවනවා. මටත් අසා හිතුණා, මොකක්ද මේ කියල බලන්න. එහෙමයි මම ඒ ක්‍රීඩාවට යොමුවුණේ” ප්‍රවීනා පෙරේරා බීබීසී සිංහල සේවය සමඟ පිළිසඳරකට එක්වෙමින් කියා සිටියාය.

“ ටික කාලයක් ගහලා ආයෙත් නැවැත්තුවා. හරි අමාරුයි. බෝලේ වදිනවා. රිදෙනවා. ඊට පස්සේ පුහුණුකරු ගෙදර ඇවිල්ලා බැණලා මාව ආයෙත් ක්‍රීඩාවට යොමුකළා” ප්‍රවීනා සිය පාපන්දු ක්‍රීඩා ජීවිතයේ ආරම්භය පිළිබඳ අදහස් දැක්වූවාය.

“ගොඩක් දෙමව්පියෝ පාපන්දු වගේ දේකට ගැහැනු ළමයි කොහොමත් යොමුකරනවා අඩුයි. මගේ අම්ම වුණත් ගොඩක් අකැමැතිවුණා”

“මොකද? හැමෝම හිතන්නේ පිරිමි වගේ නෙවෙයි ගැහැනු ළමයි ගෙදරටම වෙලා හැදෙන්න ඕනේ කියලා. ඒ වගේ තත්ත්වයක්නේ ලංකාවේ තියෙන්නේ. අපි එතැනින් එහාට යන්න ඕනේ”, කාන්තාවක් වීම නිසා තමන්ට පාපන්දු ක්‍රීඩාවට යොමුවීමට තිබූ බාධක පිළිබඳ ප්‍රවීනා අදහස් දැක්වූවාය.

“ගැහැනු ළමයින්ට හැමදේම පුළුවන්, දරාගැනීම වගේ හැමදේම පුළුවන් නේ. ඉතින් ක්‍රීඩාවත් එහෙමයි”

ශ්‍රී ලංකාවේ තරුණ ගැහැනු ළමුන් ක්‍රීඩාවට යොමුවීම තවමත් අඩු බව ඇය පෙන්වා දෙන්නීය.

“ගොඩක් දක්ෂ ගැහැනු ළමයි, හැංගිලා ඉන්නවා එන්න බයට. පාපන්දුවලට ලංකාවේ ගොඩක් ක්‍රීඩිකාවෝ අඩුයි”

ක්‍රීඩාවට යොමුවීම අධ්‍යාපනයෙන් හෝ තමන් කැමැති අනෙකුත් ක්ෂේත්‍රවලින් ඉදිරියට යාමට බාධාවක් නොවන බව පවසන ඇය, ක්‍රීඩාවේ යෙදෙද්දීම තමන් කැමැති නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණු බව කියා සිටියාය.

“ක්‍රීඩාවක් කළා කියලා, අව්වේ හිටියා කියලා ඒ දේවල් මඟහැරෙන්නේ නැහැ”

“මම නිරූපණ ක්ෂේත්‍රයට ගොඩක් ආසයි. ඉතින් මේකත් එක්ක, ඒකත් කරන්න මම අඩිය තියලා බැලුවා. පුළුවන් විදියට හොඳ දේවල් හම්බවුණාම කරනවා” ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කිරීම ගැන එලෙස පැවසුවාය.

නිරූපණ ශිල්පිනියක ලෙස ඇගේ ඡායාරූප සහ ඇය රඟපෑ වීඩියෝ දර්ශන නිතර ෆේස්බුක් සමාජ මාධ්‍යවල දක්නට ලැබේ.

“ෆේස්බුක්වලින් නංගිලා කිහිප දෙනෙක්ම අහලා තියෙනවා, අපි කොහොමද පාපන්දු ක්‍රීඩාවට යොමුවෙන්නේ කියලා” සමාජ ජාලවල ඇති සිය ජනප්‍රියත්වය කාන්තා පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනයට යොදැගැනීම ප්‍රවීනාගේ අරමුණ වී තිබේ.

මම දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ ඔයාලගේ දියණියන් ක්‍රීඩාවට යොමුකරන්න. ඒක කවදාවත් අහක යන්නේ නැහැ. නිරෝගීකමටත් එය බලපානවා”

පාපන්දු ක්‍රීඩාවට නොහැකිනම්, වෙනත් ඕනෑම ක්‍රීඩාවකට පාසල් මට්ටමේ සිට තම දරුවන් යොමුකරන ලෙස ඇය දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටින්නීය.