ෆේස්බුක් එකට එහා ගිය ලෝකයක් අන්තර්ජාලයේ තිබෙනවා

ජූලි 3, 2019

ලොවම දිනූ අපේ දිරිය දියණිය  චතුරංගි එදුස්සූරිය

ඇය මවට පියාට කීකරු දියණියකි. ගුරුවරුන්ගේ ආදරය දිනාගත් තරුණියකි. ඉලක්කයක් ඇතිව වැඩකර ජීවිතය දිනූ යුවතියකි. මේ සියල්ලේ සංකලනයෙන් ජත්‍යන්තරය දිනූ ඇය රටට ආඩම්බරයකි.

නමින් චතුරංගි එදුස්සූරිය වන ඇය ශ්‍රී ලංකීය නාමය ජත්‍යන්තරය තුළ ඉහළින් ඔසවා තැබුවේ ලොව දියුණු රටවල් ගණනාවක නව නිර්මාණකරුවන් පරාජය කරමිනි. ඒ Construction of Industry Solutions(COINS) ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉදිකිරීම් අංශයේ ප්‍රගමනයට ඉවහල් වන නව නිපැයුම් ඇගැයීම වෙනුවෙන් එංගලන්තයේ දී පැවැත්වූ තරගයක දී ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උපාධි අපේක්ෂක(Undergraduate Competition)  අංශයෙන් තරග වැදුණු ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධි අපේක්ෂිකාවකි. එහිදී අදාළ අංශයේ ප්‍රථම ස්ථානය දින ගත් ඇය එයට අමතරව තරගයට ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතරින් හොඳම ආයෝජනයට (Best Investment prize)  හිමි සම්මානය ද දිනා ගත්තාය. උපාධි අපේක්ෂක අංශයේ අයකු විවෘත අංශයට ද අදාළ එම සම්මානය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මව පියා දෙදෙනාම ගුරුවරුන් වූ පවුලේ බඩපිස්සිය චතුරංගි ය. ඇය අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය ඒ සමාර්ථ 09 ක් සමඟින් සමත්ව උසස් පෙළ සඳහා ගණිත අංශය තෝරා ගනු ලැබුවේ එකම සහෝදරිය ඒ වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි නිසාය. 2015 වසරේ දී ඒ සමාර්ථ දෙකක් හා ඕ සමාර්ථයක් ලබා ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වූ ඇය පරිගණක ඉංජිනේරු විද්‍යාව වැඩිදුර අධ්‍යාපනය සඳහා තෝරා ගත්තාය. එහි අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටිය දී පස් සාම්පල පරික්ෂාවට අදාළ මෘදුකාංගයක් නිර්මාණය කර එහි ප්‍රතිඵල ක්ෂණිකව අන්තර්ජාල සම්බන්ධතාවක් ඔස්සේ ජංගම දුරකථනයට ලබා ගැනීමට හැකි උපකරණයක් නිර්මාණය කරන්නට සමත් වූවාය.

මහනුවර නගරයෙන් තරමක් ඈත වලල ප්‍රදේශයේ උපන් චතුරංගි මූලික අධ්‍යාපනව ලැබුවේ ගමේ පාසල වන පාතදුම්බර මහ විදුහලෙනි. ලකුණු 154 ක් ගෙන ශිෂ්‍යත්ව විභාගය සමත්ව මහනුවර පුෂ්පදාන විදුහලට පැමිණි ඇය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළු වූවාය. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සෙසු පීඨවලට වඩා වෙනස්ය. එහි අධ්‍යාපනය ලබන බහුතරය පිරිමි දරුවන්ය. ඔවුන් හා සමව ගැටෙමින් චතුරංගි තම ඉලක්කය වෙත ළඟා වීමට සමත්ව සිටින්නීය.

“මම පුංචි කාලයේ ඉඳලා ඉලක්කයක් ඇතිව වැඩ කළා. අම්මා, තාත්තා හා අක්කා තමයි මගේ හොඳම යාළුවෝ. මගේ ජීවිතයේ ඔවුන් නොදන්නා දෙයක් නැහැ. තාත්තා නිහාල් එදුස්සූරිය ගුරු සේවයෙන් දැන් විශ්‍රාමිකයි. අම්මා තාමත් ඉස්කෝලේ උගන්වනවා.අක්කා දැන් වෘත්තිය ඉංජිනේරුවරියක්. පුංචි කාලේ ඉඳලා අධ්‍යාපනයට සුදුසු පසුබිමක් අපේ ගෙදර තිබුණේ.” තම ජීවන ගමන සාර්ථක කර ගන්නට මඟ පෑදූ මව පියා හා සහෝදරිය සමඟ ඇති බැ¼දීම සිහිපත් කරමින් චතුරංගි එසේ පවසන්නීය.

 

2019/07/03 තරුණි බලන්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.