තවමත් එයාට මිනිස්සු කියන්නේ “අයි නෝ ද ලෝ පුතා..” කියලා

අගෝස්තු 14, 2019

හේමසිරි ලියනගේ නම් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාගේ ප්‍රියාදර බිරිය කුසුමා ලියනගේ

ඔහු එක් රැයකින් පායාවිත් දිලී අවරට ගිය තරුවක් නොවෙයි. එලෙසින්ම රිදී තිරයේ ආදරවන්තයකුගේ භූමිකාව කිසිදා හිමිවූ නළුවකු ද නොවෙයි. එහෙත් මේ අපූරු මිනිසා වේදිකාව මත තමන්ටම අනන්‍ය වූ ප්‍රතිභාපූර්ණ රංගන කෞශලයක් මැවූ නිර්මාණකරුවකි.

ඔහුගේ සැබෑ දිවියත් රංගන දිවිය මෙන්ම එක සේ ගලා නොගිය රළු බොරළු පිරි මාවතකින් සැදුණකි. ඔහු මේ මහපොළොවේ ජීවත් වන්නට දහදිය, කඳුළු වැගිරූ සුවිශේෂී මිනිසෙකි......

මේ ප්‍රතිභාපූර්ණ නළුවාගේ රංගන පරාසය ගැන ලියන්නට ඇති දේ බොහෝය. එසේම ඔහුගේ දිවි මඟේ අත්දැකීම් ගැන කතා කළ හැකි දේ ද අපමණය. මේ සියලු දේ පසෙක තබා හේමසිරි ලියනගේ නම් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාගේ ජීවන ගමනේ හැමදාම සෙවණැල්ල වූ ඔහුගේ ප්‍රියාදර බිරිය හමුවූයෙමු. ඇය කුසුමා ලියනගේයි.

ඒ ඔහු ගැන ඇයට වඩා හොඳින් දන්නා වෙනත් කෙනකු නොවන නිසාමය.

‘සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක සිටී’ යන්නට තවත් එක් උදාහරණයක් ලෙස ද ඇය හැඳින්විය හැකිය.

මෙවර ‘අහන්න ආසයි ඔහු ගැන කියන්න’ විශේෂාංගය වෙන්වන්නේ මෙම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා වෙනුවෙනි.

“එන්න............එන්න............අපි බැලුවා මොකද පරක්කු කියලා.........” හේමසිරි ලියනගේ මහතා තම උපැස් යුවළ යටින් බලමින් අප පිළිගත්තේ ඉතා සුහද ලෙසිනි.

“ඔන්න අද අපි ආවේ හේමසිරි ලියනගේ මහත්තයා එක්ක කතා කරන්න නම් නෙවෙයි”

“එහෙනම්................. සෞම්‍ය එක්ක ද? .. අනේ එයා මෙහේ නෑනේ........... “ ඔහු පැවසුවේ සුපුරුදු පහත් හඬිනි.

“නෑ... නෑ... අපිට ඕනේ හේමසිරි ලියනගේ මහත්තයාගේ බිරියත් එක්ක කතා කරන්න....”

“ආ.............. එහෙමද.? එහෙනම් මම පැත්තකට වෙන්නම්කො... අම්මී ඔයා කතා කරන්නකෝ.... මම ඔයාලට බොන්න මොනවා හරි හදන්නම්. එසේ කියා හේමසිරි ලියනගේ මහතා අපෙන් මොහොතකට ඈත් වූ පසුව අපේ කතාව ඇරැඹුණේ ඉතාම සුහද පිළිසඳරකිනි.

 ඉතින්..... කියන්නකෝ ඔය දෙන්නගේ ජීවිතේ ගැන.... මේ ගෙදර තනිකම එහෙම දැනෙන්නේ නැද්ද......?”

පුංචි තනිකමක් දැනෙනවා නම් තමා . ඒත් අපි දරුවන්ට එයාලගේ පවුල් ජීවිත ගත කරන්න ඉඩදීලා සතුටින් ජීවත් වෙනවා. ඇත්තටම ඒ අය අපිව අතහැරලා නෑනේ... පුළුවන් වෙලාවට අපිව බලන්න එනවා. අපිටත් ඉඩක් ලැබුණු දවසකට ඒ ගෙවල්වල යනවා. ඒ නිසා අපට ලොකු පාළුවක් තනියක් දැනෙන්නේ නෑ.

ඇත්තටම ඔය දෙන්නා හැමදාම සතුටින් එකට ඉන්නේ ලොකු බැඳීමක් නිසානේ.. ඔය බැඳීම ඇතිවුණේ කොහොමද කියලා අපට කියන්නකෝ....”

“අපි පොඩි කාලේ පටන්ම දන්වා. අපේ නැන්දගේ පුතෙක් තමයි හේමසිරි..... ඉස්කෝලේ යන කාලෙදි අපි දැනගෙන හිටියට අපි දෙන්නා අතර සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒත් විශ්වවිද්‍යාලේ යන කාලෙදි තමයි අපේ මේ සම්බන්ධය ඇති වූණේ. අපි හිටියේ කරන්නාගොඩ කියන ගමේ. මම අධ්‍යාපනය ලැබුවේ වරකාගොඩ මහ විද්‍යාලයෙන්. අපි උසස් අධ්‍යාපනය ලබන්න ගියේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට. මම විශ්වවිද්‍යාලයට ගියේ 1970 දී. එතකොට මහත්තයා විශ්වවිද්‍යාලයෙන් අවුට්වෙලා හොරණ, විද්‍යාරතන, විද්‍යා පීඨයේ ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. ඒ කාලෙදි මමත් රෝහණ බැද්දගේ මහත්තයාගේ බළල් හස්තය. නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍යයේ හේමසිරිත් ප්‍රධාන චරිතයක් කළා. එතකොට තමයි අපි දෙන්නා හඳුනාගත්තේ. ඒ කාලේ පාදුක්කේ අපේ දොස්තර අයියාගේ මල්ලි කෙනකුත් මේ නාට්‍යයේ රඟපෑවා. එයා තමයි අපේ සම්බන්ධය ඇති කළේ. අපි හඳුනාගෙන අවුරුදු දෙකතුනකින් විවාහ වුණා.

මේ සම්බන්ධයට පවුල්වලින් විරුද්ධත්වයක් තිබුණේ නැද්ද?

අපි ඥාති නිසා කිසිම ගැටලුවක් වුණේ නැහැ. දෙපැත්තෙම අය හොඳට හඳුනනවානේ. ඉතින් කවුරුත් කැමැති වෙලා තමයි අපි විවාහ වුණේ. එතකොට මම රැකියාවක් කළේ නැහැ. පසුව තමයි මට ගුරුපත්වීමක් රත්නපුරේ ප්‍රදේශයට ලැබුණේ.

ඒ ගුරුපත්විම ලැබෙනකොට කොහොමද ගෙදර වැඩකටයුතු කරගත්තේ..?

අපි පදිංචිවෙලා හිටියේ හොරණ. ඒ වෙනකොට අපට දරුවො තුන්දෙනකුත් හිටියා. ලොකු පුතා සෞම්‍ය ලැබෙනකොට මට අවුරුදු 27 යි. දෙවැනි පුතා සමන් සුඟනන්ද ලැබෙනකොට අවුරුදු 29 යි. තුන්වැනි පුතා ආලෝක සුවන්ග. එයා දැන් එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙක්. හතරවැනි පුතා තමයි ඉන්ද්‍රචාප සුබවර්ණ. එයා සංගීත විශාරදවරයෙක්.

දරුවෝ හතර දෙනාටම තියෙන්නේ ලස්සන නම් පෙළක්. ඇත්තටම කවුද ඔය නම් තිබ්බේ...?

තාත්ති (හේමසිරි ලියනගේ) තමයි හතර දෙනාටම නම් තිබ්බේ. සෞම්‍යගේ නමට සෞම්‍ය ප්‍රභාත් කියලත් කෑල්ලක් තියෙනවා.

එතකොට ඔබ ගුරු වෘත්තියට යොමුවීමත් එක්ක රඟපෑමෙන් ඈත් වුණා ද?

ඇත්තටම මගේ රැකියාවයි දරුවන්ගේ වැඩයි එක්ක රංගනයෙන් ඈත් වෙන්න වුණා. නමුත් මම ගායනය වැනි දේවල් දරුවන්ට ඉගැන්නුවා.

සැබෑ ජීවිතයේ දී හේමසිරි ලියනගේ කියන පුද්ගලයා ඔබ දකින්නේ කොයි ආකාරය ට ද?

ඇත්තටම එයා කිසිම දෙයක් ඔළුවට අරගෙන ජීවත්වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි එයා ගොඩක් පොතපත කියවනවා. ඒ වගේම එයාගේ ජීවිතේ හරිම සරලයි.

එයා කිසිම දෙයක් ඇඟට ගන්නේ නෑ. ඒ කියන්නේ එයා කිසිම දවසක නළුවෙක් කියලා ඒක ආභරණයක් කරගෙන නැහැ. එයාට ඕනේ නිදහසේ පොතක් පතක් කියවලා නිදහසේ ජීවත් වෙන්න. කිසිම දවසක එයා නාට්‍ය හොය හොයා ගියේ නෑ. අධ්‍යක්ෂවරු එයාව හොයාගෙන ආවොත් තමයි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි භාරගන්නේ. ඒ භාරගත්තත් පිටපත කියවලා තෝරා ගන්න චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතුණොත් විතරයි. එහෙම නැතිව දකින දකින නාට්‍යයේ රඟපාන්න මහත්තයා කිසිම දවසක කැමැති නැහැ.

මේ දවස්වල හේමසිරි ලියනගේ මහත්තයා මොකද කරන්නේ ?

එයා මේ දවස්වල නම් ටිකක් විවේකයෙන් ගෙදර ඉන්නවා. ඵඩධපබ ටඪතථ එකක රූගත කිරීම්වලටත් යනවා. එයා මේ දවස්වල වැඩියෙන්ම මල් වැවීම තමයි කරන්නේ. මල් වවනවා කියන්නේ බොන්සායි ගස් තමයි එයා වවන්නේ. එක එක වර්ගයේ පැළ වර්ග පුංචි පෝච්චිවල හිටවනවා. ටචජඥ ඡධධඬ එකෙන් බලලා තමයි විවිධ වර්ගයේ පැළ වර්ග හොයන්නේ. එයා කොහේ හරි ගියත් කැලේ තියෙන ගහක් හර ිගෙනත් පෝච්චිවල හිටවලා බොන්සායි ක්‍රමයට හදනවා. ඒක තමයි එයාගේ ලොකුම විනෝදාංශය වෙලා තියෙන්නේ. දැනුත් ඔය ගස් හිටව හිටවා ඉඳලා තමයි ආවේ.

ඔහුගේ රංගනය ගැන මොකද ඔබට හිතෙන්නේ..?

ඇත්තටම ලොකු ගෞරවයක් තියෙනවා. මොකද එයා රඟපාන චරිත හරිම තාත්විකයි.... ඒ වගේම ගැඹුරුයි. ඒ වගේ චරිතයක් රඟපාන්න ලෙහෙසි නැහැ. එයා වගේ රඟපාන්නත් කාටවත් බැහැ. මහත්තයා චරිතයක් රඟපෑවොත් ලැබෙන ප්‍රතිචාර ගැන ආයෙ කියන්න දෙයක් නැහැ. හැමදාම මිනිස්සුන්ට මතකයි. ඒකනේ.... තවමත් මහත්තයා පාරේ යනකොට මිනිස්සු කියන්නේ ‘අයි නෝ ද ලෝ කියලා’ , ‘අසල්වැසියෝ’ වගේ පරණ නාට්‍ය පවා මිනිස්සුන්ට මතක එයාගේ ඒ රංගනය නිසයි.

සමහර වෙලාවට එයාගේ නාට්‍ය බලලා අඩුපාඩු මම කියනවා. හැබැයි කිසිම දවසක මට එහෙම කිව්වාට දොස් කියන්නේ නැහැ.

ඔහුගේ රංගනයේ ඔබේ සිත්ගත් චරිතය මොකක්ද?

චරිත කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් එයා ‘අඹ යාළුවෝ’ නාට්‍යයේ කළ රංගනය හරිම සාර්ථකයි. ඇත්තටම ඒ චරිතයට මම හුඟක් කැමැතියි වගේම එයා ඒකෙ හොඳට රඟපෑවා. එයාගේ මුල්ම ටෙලි නාට්‍යයත් ඒකයි.

ඔහු රඟපාපු චරිත අතුරින් වඩාත්ම රසික ප්‍රතිචාර ලැබුණේ මොකට ද ?

මෑත කාලේ රඟපාපු ‘තාත්තා’ චිත්‍රපටයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඊට පෙර ‘අසල්වැසියෝ’ කියන නාට්‍යයෙන් තමයි හුඟක්ම ජනපි‍්‍රය වුණේ. ඒ නාට්‍ය ප්‍රචාරය වුණ කාලේ මහත්තයාට පාරේ යන්න බැරි තරමට මිනිස්සු කතාබහ කරනවා. ඒ කාලේ ටෙලි නාට්‍ය වැඩිය තිබුණෙත් නෑනේ. මේ දවස්වල තිරගත වන ‘දඩයක්කාරයා’ චිත්‍රපටයෙත් එයා හොඳට රඟපෑවා. ඒකටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. සමාජ මාධ්‍යවල, පත්තරවලිනුත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ ඒ චිත්‍රපටයේ රඟපෑම හොඳ නිසායි.

ඉතින් අපට කියන්නකෝ හේමසිරි ලියනගේ මහත්තයාගේ සාමාන්‍ය ජීවිතේදී තාත්තාගේ භූමිකාව ගැන.....

ඒ භූමිකාවට නම් උපරිම සාධාරණයක් ඉටු කරපු කෙනෙක් තමයි මගේ මහත්තයා. දැන් වගේ ඒ කාලේ අපේ දරුවෝ ටියුෂන් යැව්වේ නැහැ. ගෙදර දරුවන්ට හොඳට පාඩම් කරන්න පසුබිමක් හදලා දුන්නා. ඒ වගේම දරුවන්ට පහදා දුන්නා තමුන්ට කැමැති ක්ෂේත්‍රයක් තෝරාගන්න. ඒ දරුවෝ ඉගෙනගන්න දේවල්වලට කිසිම දවසක බලපෑමක් කළේ නැහැ. තමුන් තෝරාගන්න ක්ෂේත්‍රයේ ඉහළට යන්න උත්සාහ කරන්න කියලා පුතාලට හැම අවස්ථාවකම දිරිගැන්වූවා. ඒ නිසා තමයි අපේ පුතාලා හතරදෙනාම අද හොඳ තැනක ඉන්නේ.

දුවෙක් නැතිවීම ගැන කනගාටුවක් නැද්ද...?

ඇත්තටම අපේ පුතාලා හතර දෙනාටම ලැබුණ සහකාරියෝ අපේ දුවලා වගේ. ඒ දරුවෝ අපේ දුක සැප හොඳට බලනවා. ඒ නිසා දුවෙක් නැහැ කියලා අපට දුකක් දැනෙන්නේ නැහැ. මගේ පුතාලට තියෙන ආදරේම තමයි එයාලටත් තියෙන්නෙත්

හේමසිරි මහත්තයා හරිම සරලයි. ඔබත් ඒ වගේම ද?

ඇත්තටම අපි දෙන්නා කිසිම දවසක ගැටුමක් නැතුව ඉන්නෙත් ඒ නිසයි. හැබැයි එහෙම කියලා අපේ ගෙදර කටයුතු එයා සරලව සැහැල්ලුවට ගන්නේ නැහැ. හැම දෙයක්ම හරිම පිළිවෙළට තියෙන්න ඕනේ. ගෙදර තියෙනවා නීති සමූහයක්..... හැමෝම එකට කෑම කන්න ඕනේ.... ගෙදර පිරිසුදුව තියෙන්න ඕනේ. කුස්සිය, වැසිකිළිය පවා හොඳට පවිත්‍රව නොතිබ්බොත් මහත්තයාට කේන්ති යනවා. ඒ වගේම තමයි ගත්තු දේ ගත්තු තැනින්ම තියන්නත් දරුවෝ පුරුදු කරලා තියෙනවා. කෑමබීම පිළිගැන්වීම පවා පිළිවෙළට තියෙන්න ඕනේ. එහෙම නොවුණොත් නම් ඉතින් එයාට කේන්ති යනවා.

ඔබගේ ජීවිතයේ බාධකවලට මුහුණ දුන්නේ කොහොම ද?

අසූව ජූලි වැඩ වර්ජනය සිද්ධවෙන වෙලාවේ මම රත්නපුරේ උගන්වනවා. අපේ ලොකු දරුවෝ තුන්දෙනාම හරිම පොඩියි. ඔය අතරේ මට රැකියාව අහිමි වෙනවා. එතකොට මහත්තයාට රඟපෑමෙන් ලොකු මුදලක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් අපි ආර්ථික අතින් විශාල කඩාවැටීමකට ලක්වුණා. අපේ පවුල්වල අය සෑහෙන්න අපට උදවු කළා. අපට දරුවෝ බලාගන්න කෙනෙක් නැතිව ප්‍රශ්න ගොඩයි. ඒ කාලෙදී මහත්තයාට තමයි දරුවෝ බලාගන්න වුණේ. අවුරුදු 04 කට පස්සේ මට රැකියාව ලැබුණා. ඊට පස්සේ අපේ දුෂ්කරතා ආර්ථික අපහසුකම් නැතුව ගියා. ඒ ආකාරයට තමයි අපි දරුවන්ට ඉගැන්නුවේ.

ඔබ රංගනයෙන් ඈත්වීම ගැන දුක්ක නැද්ද...?

අපි ඒ සියලු දේ කැප කළේ දරුවෝ නිසයි. දැන් ආපසු හැරිලා බලනකොට දරුවෝ ඔක්කොම හොඳට ජීවත්වෙනවා. අපේ දරුවන්ගේ දරුවොත් දකින්නට ලැබීම වාසනාවක් ලෙසයි අපි හිතන්නේ."

අපේ පිළිසඳර නිමාකිරීමට සිත් නොදෙන්නේ ඔහුගේ තොරතුරු ගැන අසන්නට බොහෝ දේ ඇති නිසායි. එහෙත් කාලය සියල්ලටම හරස් වෙයි. ඔහු රංගන කුසලතාව වෙනුවෙන් හිමි වූ සම්මාන බොහෝ නොවුණත්.... ඔහුගේ පි‍්‍රයාදර බිරිය කුසුමා ලියනගේ දුන් සම්මානය ඔහුට ඒ සැමටම වඩා අගේ යැයි ඔහුගේ මුහුණේ වූ සිනහවේ ලියැවී තිබුණි.

 

සටහන - දුමින්ද කාරියවසම්

ඡායාරූප -  ටෙනිසන් එදිරිසිංහ