‘යම් දෙයක් කරන විට දුව එය හැකි ඉහළම මට්ටමින් කරනවා’

සාහිත්‍ය ලෝකයේ දී ඔබ හමුවන පද්මිණී
සැප්තැම්බර් 11, 2019

මවකගේ සෙනෙහස මහමෙරකි. ඒ සෙනෙහසේ දැවටෙමින් ඇගේම කාබන් කොපියක් ලෙසින් හැදෙන වැඩෙන දියණියක පිළිබඳ ද මවකට ඇත්තේ අසීමිත සතුටකි. ආඩම්බරයකි.

අම්මාගේ ආදරය තරම් දෙයක් නොවන, ඇය කරන කරන දේ අනුකරණය කරන දියණියක් අම්මා අසල ගැවසෙමින් ලබන්නේ අසීමිත සතුටකි. සැනසුමකි.

එසේ නම් මවකගේත් දුවකගේත් බැඳීමක ඇති අපූර්වත්වය දන්නේ ද මවුවරුන් සහ දියණියන්ම පමණි.

එහෙත් දියණියක් බිහිකළ පමණින් මවකට හොඳ මවක් විය නො හැකිය. ඒ සඳහා ඈ කළ යුතු දෑ බොහෝය. මේ විසල් ලෝකයේ තමන් මෙලොවට බිහිකළ දියණිය යහපත් දියණියක් ලෙස සමාජයට දායාද කරන්නට හැකි නම් ඇයයි සැබෑම අම්මා.

දියණියට ද එසේමය. ආදරණීය මවකට දුවණිය වී උපන්න ද අම්මාගේ නම බබළවන ඇගේ හැදියාවේ තරම ලොවට පෙන්වන කැඩපතයි දියණිය. එසේ කරන්නට හැකි වූ දියණියක වේ නම් ඇයයි අම්මාගේ සැබෑම ආදරණීය දෝණිය.

සමාජයට අර්ථවත් පණිවුඩයක් ගෙනෙන්ට හැකිවූ සමාජයට වැඩදායී වූ ආදරණීය මවුවරුන් සහ දියණියන් පිළිබඳ ඔබට හෙළිකරන, අම්මයි දුවයි, විශේෂාංගය වෙන්වන්නේ ද එවැනි උත්තම මවුවරුන් සහ දියණියන් වෙනුවෙනි.

තම දුවණිය නිසා අසීමිත සතුටක් ලබන, තම ආදරණීය අම්මා නිසා ජීවිතය අර්ථවත් කරගත් මවකගේ සහ දියණියකගේ කතාව මෙතැන් සිට අපි කියවමු.

මේ එළැඹ ඇත්තේ වසරේ පොත් වසන්තයයි. මේ අම්මයි දුවයි ඔබට හඳුන්වා දෙන්නට ද හොඳම කාලය මෙයයි. අම්මා පද්මිණී සෙනෙවිරත්න. දියණිය සුමුදු නිරාගී සෙනෙවිරත්න. පොතපත ලියන ඒ ඇසුරේ දිවිගෙවන පද්මිණී අතින් ‘න’ගච්ඡති’, ‘වරණ’, ‘තිවත’ නමින් නවකතා ත්‍රිත්වයක් ලියැවී ඇත.

විශ්‍රාමික ගුරුවරියක වන ඇය සිය ගුරු දිවියෙන් සමුගැනීමත් සමඟ ග්‍රන්ථකරණයට පිවිසියාය. 2016 වසරේ දී ‘න’ ගච්ඡති’ නවකතාව රචනයෙන් නවකතා රචනයට පිවිසි පද්මිණීගේ දෙවැනි කෘතිය ‘වරණ’ ය. ‘න’ ගච්ඡති’ ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්ත නවකතාව ලෙස තෙරුණු අතර 2016 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවැනි වටය නියෝජනය කරන්නට සමත් විය. ‘වරණ’ 2018 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය මෙන්ම ෆෙයාර් වේ සම්මාන උළෙලේ අවසන් වටය නියෝජනය කළ කෘතියකි. ඇගේ නවතම කෘතිය ‘තිවත’ ය.

තම කුළුඳුල් නවකතාව වූ ‘දුල්වල අලංකාරේ’ සඳහා 2016 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් කුළුඳුල් කෙටිකතා සංග්‍රහය වූ ‘ගිහින් එන්න කානිවල්’ සඳහා 2018 වසරේ හොඳම කෙටිකතා පොතට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් රජත පුස්තක සම්මානයත් දිනාගත්තේ සුමුදු නිරාගි සෙනෙවිරත්නයි. ඇය දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසින් සේවය කරයි. සුමුදු මෙම කෘති දෙකට අමතරව ශාස්ත්‍රීය කෘතියක් සහ පරිවර්තනයක් රචනාකර ඇත. එම පරිවර්තන කෘතිය ඇගේ පළමු පොතයි.

කතාබහට අප පළමුව ආරාධනා කළේ අම්මා පද්මිණී සෙනෙවිරත්නටයි.

* පළමුව අපි ඔබේ පෞද්ගලික විස්තර දැනගන්න කැමැතියි.

මම උපාධිධාරී ගුරුවරියක්. මතුගම, ඕවිටිගල මහා විද්‍යාලයෙන් තමයි මම විශ්වවිද්‍යාලයට තේරුණේ. උපාධිය ලැබුවෙ පේරාදෙණිය සරසවියෙන්. විවාහ වුණේ එහි දී ඇති වූ ප්‍රේම සම්බන්ධයක් මත. ඔහු ආර්. එම්. ජයන්ත සෙනෙවිරත්න. 2016 අවුරුද්දේ දී ඔහු අපෙන් සමුගත්තා. අපට ඉන්නෙ එක දරුවයි. ඒ සුමුදු.

* ඔබ දැනට රචනාකර ඇති පොත් තුනම ඉතිහාසය හා සම්බන්ධ වූ ඒවා. ඇයි ඔබ ඉතිහාස කතාම තෝරාගන්නේ? විශේෂත්වයක් තිබෙනවද?

ඉතිහාස කතාම තෝරාගන්නේ මම ඉතිහාසයට කැමැති නිසා. ඒ ගැන හැදෑරීම් කරන කොට පැහැදිලි වුණූ දෙයක් තමයි අපි දන්න කියන ඉතිහාසයයි මේ හැදෑරීමෙන් ලැබුණු ඉතිහාසයයි වෙනස් කියලා. ඉතින් මට වුවමනා වුණා මම දැනගත්ත මේ අප්‍රකට තොරතුරු සමාජගත කරන්න. ඒ කරුණු සමාජගත කිරීමේ මාධ්‍ය විදිහට නවකතාව තෝරාගත්තා.

‘න ගච්ඡති’ හා ‘තිවත’ ලිව්වෙ ශ්‍රී වික්‍රම රාජසිංහ හා සීතාවක රාජසිංහ යන රජවරු දෙදෙනා පදනම් කරගෙනයි. ඉතිහාසය ගැන තොරතුරු හැදෑරීම් කරන කොට පැහැදිලි වුණු තවත් දෙයක් තමයි මේ රජවරු දෙදෙනාම අපි ඉගෙනගෙන තියෙන ආකාරයේ කෲර චරිත නොවන බව. ඒ ඇත්ත කියන්නයි මේ පොත් දෙක මා අතින් රචනා වුණේ.

* ඔබේ රචනා ශෛලය එක දිගටම කියවාගෙන යා හැකියි. ඒ වගේම ඔබේ කතාවල චරිත නිරූපණයත් බොහොම තාත්විකයි. ඔබේ ලියවීමේ රටාව ගැන සෑහීමකට පත්වෙනවා ද? ඉදිරියේ දී ඉතිහාසයෙන් බැහැර වූ පොතක් අපිට කියවන්න ලැබෙයි ද?

සීතාවක යුගයට හා මහනුවර යුගයට උචිත යැයි මා උපකල්පනය කරන භාෂාවක් යොදාගෙන තියෙනවා. මම ලියලා තියෙන්නෙ පොත් තුනයි. ඒවා ඉදිරිපත් කරන ආකාරයත් එකිනෙකට වෙනස්. මම ආධුනිකයෙක් නිසා ඒ පොත් තුන ගැන මම සෑහීමකට පත් වෙනවා. ඓතිහාසික නවකතාවලින් වෙනස් නවකතාවක් ලියැවේවිද කියලා දැන්ම කියන්න බෑ.

* ඔබට හමුවන පාඨකයන් ඔබේ පොත් ගැන මොකද කියන්නේ?

පාඨකයන් දැනඋගත් පිරිසක්. අලුතින් යමක් පොතපතින් උකහාගන්න ඔවුන් කැමැතියි. ගැටලු තැනක් තිබුණොත් විමසලා පැහැදිලි කරගන්නවා. විශේෂයෙන්ම කාන්තාවන්. රැකියාවල යෙදෙනවා කියලා නෑ. බොහෝ කාන්තාවන් පොත් කියවනවා. අපිව බලන්න ගෙදරට ආ පාඨකයනුත් ඉන්නවා. න’ගච්ඡති පොතේ ඉඳලම දිගින් දිගටම දුරකථනයෙන් කතා කරන තවම දැකලා හමු වෙලා නැති මිතුරු මිතුරියොත් ඉන්නවා.

* ඔබේ දියණිය ගැන ඔබ මොකද හිතන්නේ? ඔබ කොහොමද ඇයව දකින්නේ?

ඇය ගැන මට සතුටුයි. ඒ වගේම අම්මා කෙනෙක් විදිහට නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා. ඇය යම් දෙයක් කරන විට එය හැකි ඉහළම මට්ටමින් කරන්නට වගබලා ගන්නා කෙනෙක්. ඒ වගේම කෙනෙක් යම් උදව්වක් ඉල්ලා සිටියොත් එය ඉටු කළ හැකි නම් නො පමාව ඉටු කර දෙන කෙනෙක්.

* ඔබට පෙර ඔබේ දියණියයි පොතක් ප්‍රකාශයට පත්කළේ? ඇයට සම්මානත් ලැබුණා?

ඇය මට පෙර නවකතාවක් ලියා සම්මාන ලැබුවා. ඒ ගැන මතක් වෙද්දීත් මට තියෙන්නෙ සතුටක්. ඇගේ නිර්මාණ කුසලතාව කුඩා කාලයේ සිටම අප දුටුවා. උසස් පෙළට විද්‍යා විෂයයන් කරන්න ඇයට වුවමනාව තිබුණත් ඇගේ පියාත් මමත් එය වැළැක්වූවා. අපි එදා ගත්තේ නිවැරැදි තීරණයක් බව දැන් තහවුරු වෙලා තියෙනවා.

* ඔබයි දියණියයි අතර තියෙන්නේ සමීප සම්බන්ධයක් ද?

අපි දෙන්නා අතර තියෙන්නෙ ඉතා කිට්ටු සම්බන්ධයක්. හැබැයි ඇයයි මමයි යාළුවො දෙන්නෙක් වගේ කියන එක ඉන් අදහස් වෙන්නෙ නෑ. ඇය දුව. මම අම්මා.

 

2019/09/11 තරුණි බලන්න