මගේ හොඳම නිර්මාණය තවමත් බිහි වුණේ නැහැ

ප්‍රවීණ ලේඛිකා යමුනා මාලිනී පෙරේරා
සැප්තැම්බර් 18, 2019

“කරවටේට හීන් රේන්ද පටියක් ඇල්ලූ අත් දිග බෝරිච්චි හැට්ටයයි, ලොකු මල් මල් චීත්තයයි අඳින මගේ ආත්තම්මා ළඟින් නිතරම සැවැන්දරා සුවඳක් හමනවා. ඒ විතරක් නෙමෙයි ඇය කියවන ලොකු බණ පොත්වල පිටු අතරින් එන්නෙත් කපුරු සුවඳක්.

මේ අපුරු සුවඳ ආශ්වාස කරමින් ඇය අසළ වාඩි වී ඒ කට දිහා බලාගෙන ඉන්නට මම පුදුමාකාර විදිහට කැමැතියි. ශුද්ධ කරන ලද අලුත් පොල් ඉරටුවක් අකුරු පේළි අතරින් ගමන් කරවමින් සීරුවට කියවන ඇයගේ බණ පොත දකින මම හැමදාමත් හිතන්නෙ මීටත් වඩා ලොකු පොතක් මම ලියනා දවස ගැනයි.

මොකද අව්ව, වැස්ස, මල්, ගහකොළ, කුරුල්ලෝ ආදියෙන් පිරුණු මගේ ළමා ලෝකයේ ඊළඟ තැන හිමි වුණේ පතපොතටයි. ආත්තම්මා වාගේම තාත්තාත් පොත්පතට නැඹුරු වූ පුද්ගලයකු නිසාම මම පුංචි කාලේ ඉඳන්ම පොත්පත්වලට ආදරය කරන, ආසාකරන තැනැත්තියක් බවට පත් වුණා.”

මේ විදිහට තමන්ගෙ ජීවිතයේ ස්වර්ණමය ළමා අවධිය ගැන සිය හඬ අවදි කරන්නී ඈ යමුනා මාලිනී පෙරේරායි. ප්‍රවීණ ලේඛිකාවක ලෙසින් නවකතා, කෙටිකතා, කාව්‍ය සංග්‍රහ, යොවුන් නවකතා බොහොමයකින් පාඨක සිත් දිනාගත් ඈ ගීත රචකාවක ලෙසින් ද අතිශය ජනාදරයට පාත්‍ර වී සිටින්නීය. “ආදරය සුන්දර වරදකි...., සුළඟ නුඹ වගේ...., රෝස තොල් සිඹිමි...., අහස පොළොව වටපිටාව..., සඳ කිනිති නැමී...” ආදී යොවුන් සිත්සතන් ප්‍රේමයෙන් මුසපත් කළ ගීත බොහොමයක් ලියවුණේ ඇගේ පන්හිඳෙනි. තවත් විටෙක ආදරය.... විරහව.... දුක... සතුට.... හරි අපුරුවට කවියට නඟනා ඕ අපූරු කිවිඳියකි. ලේඛිකාවක, නවකතාරචකාවක, කිවිඳියක, ගීත රචකාවක ආදී වශයෙන් ලේඛන කලාවේ විවිධ අංශයන්හි පෙළහර පාන ඇය සිය අර්ථවත් වූ ජීවිතය ගැන මෙලෙස පවසන්නීය.

“පවුලේ දෙවැනි දරුවා ලෙසින් ඉපදුණු මගේ ජීවිතයේ සුවිශේෂී පරමාදර්ශී චරිතය බවට පත්වුණේ තාත්තා. රක්ෂණ සංවිධායකයකු ලෙසින් සේවය කළ ඔහු විවේකීව ඉන්න සෑම වෙලාවකම පොත් කියවපු කෙනෙක්. ඉතින් ඒ ආභාෂයට වාගේ මමත් පුංචි කාලේ ඉඳන්ම පොත් කියවන්න උනන්දු වුණා.

මට මතකයි අපි ඉස්සර ගුවන්විදුලියේ ‘හඳමාමා’ වැඩසටහනට සවන් දෙනවා. ඉතින් මට මේ වැඩසටහනට කවි ටිකක් ලියන්න හරියට ඕනේ වුණා. ඒත් තාත්තා ඒකට එතරම් කැමැත්තක් දැක්වූවේ නෑ. මොකද ඇත්තටම කිව්වොත් තාත්තලා ඒ කාලේ හරි බයයි මේ කලාවට සම්බන්ධ වෙනවාට. ඒත් ඉතින් මම අඬලා... පින්සෙණ්ඩු වෙලා වාගේ කවි කීපයක් යවන්න අවසරය ලබා ගත්තා. මට මතකයි ඒක සතියකින් විතර ප්‍රචාරය වුණහම තාත්තාගේ ඇස්වලට කඳුළු ආවා. හැබැයි එයා කිව්වෙ දැන් ඔයාගේ ආසාව ඉටුවුණානේ.... ඔයා මුලින් හොඳට ඉගෙනගන්න කියලයි.

මගේ තාත්තාට වුවමනා වුණේ මම වෛද්‍යවරියක් වෙනවා දකින්නයි. ඒ හින්දා මම විද්‍යා විෂයයන් තමයි කළේ. නමුත් මගේ හිතෙන් මම සාහිත්‍ය සහ භාෂාවට පෙම් බැන්දා. මගේ පාසල ගාල්ල සංඝමිත්තා විද්‍යාලය. මට මතකයි නවය වසරේ දී විතර මම ලියපු රචනාවක් අරන් මියුරියල් සමරසිංහ කියන ගුරුතුමිය හැම පන්තියකටම පෙන්වමින් ඒක අගය කළා. ඇත්තටම ඒක මට පුදුමාකාර උත්තේජනයක් ලබා දුන් ක්‍රියාවක් වුණා. ඉතින් මේ දැනුම තව තවත් දියුණු කරගන්න හිතාගෙන තාත්තාට නහයෙන් අඬලා වාගේ ගාල්ලෙ කොටුවෙ පුස්තකාලයට බැඳුණා. එතැනදි මට විවිධාකාරයේ පොතපත ඇසුරු කරමින් මේ සාහිත්‍ය පිළිබඳ අපුරු වැටහීමක් ලබාගන්නට හැකියාව ලැබුණා.”

ඒ කියන්නෙ තාත්තාටත් නොදැනීම ඔබව අපූරු රසවිඳින්නියක් බවට පත් කරලා තියෙන්නෙත් තාත්තාමයි.

“ඇත්තටම ඔව්. මම මුලින්ම කිව්වේ මගේ ලෝකයම වුණේ තාත්තා. මිනිස්සුන්ට, මිනිස්කමට මම ආදරය කරන්න ඉගෙන ගත්තෙ තාත්තාගෙන්. හැබැයි ඒ ආදරණීය සිත ඉපැද්දුවේ මගේ අම්මා.

මගේ තාත්තා බර්ට්‍රම් ද සිල්වා. අම්මා ඉන්ද්‍රා ද සිල්වා. අම්මයි, තාත්තයි හරිම ආදරයෙන් ජීවත්වුණු දෙන්නෙක්. ඒ දෙන්නා අතර පැවති ළබැඳියාව, සබැඳියාව මම හරියටම තේරුම් ගත්තා. අම්මා තාත්තාට සලකපු විදිහට මම හරි ආසා කළා. ඒ දෙදෙනා අතර තිබුණු ඒ අපූරු සමගිය, බැඳීම පසුකාලීනව මට හොඳ පවුල් සංස්ථාවක් පවත්වාගෙන යන්න ආදර්ශයක් වුණා කියලයි මම හිත්නෙ.”

“ඔබ හොඳ ගුවන්විදුලි රසිකාවක්. මුලින්ම ලියන්න පටන්ගත්තෙත් ගුවන්විදුලියෙන් නේද?

ඔව්. මම විභාගය ලියලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න කාලේ ගුවන්විදුලියට ලියන්න පටන් ගත්තා. ලාලන රේඛා, මලක මහිම, පසන් නිවස වාගෙ වැඩසටහන්වලට මම ලිව්වා.

ගාල්ලේ බ්‍රවුන්ස් පාරේ යමුනා මාලිනී ද සිල්වා කියන නමට ගුවන් රසිකයෝ විශාල පිරිසක් ඒ කාලේ ලියුම් එව්වා. කේ. ජී. ජිනසේන, බොබී ජී. බොතේජු, ධර්මසිරි ගමගේ මහත්තයා වාගේ ප්‍රවීණයොත් මගේ මේ ලේඛන දිවියට සුබපතලා ලියුම් එවා තිබුණා.

ඔය අතරතුරේ තමයි මම ච්ඉධ් ආයතනයේ රැකියාවකට සම්බන්ධ වුණේ. රැකියාවයි, ලිවීමයි දෙකම කරගෙන යන අතරතුරේ අපේ තාත්තාගේ වියදමෙන් මම පොඩි කවි පොතක් මුද්‍රණය කළා. “අධිෂ්ඨාන’ කියලා ඒක පුංචි පොතක්.

මේ කාලයේ දී ධර්මසිරි ගමගේ කියන ප්‍රවීණයාගෙන් ගුරුහරුකම් ලබාගන්න තරම් මම වාසනාවන්ත වුණා. ‘පහන් වැට’ හරහා එතුමා අපි වාගේ නවකයන් බොහොමයකට අතහිත දුන්නා.

ඇත්තටම එතුමා අපේ ජීවිතවලට පහන්ටැඹක් වුණා කිව්වොත් මම නිවැරැදියි. එතුමාගේ මඟ පෙන්වීම හරහා මට යොවුන් ජනතා, තරුණී වාගේ පුවත්පත්වලටත් ලියන්න අවස්ථාව උදාවුණා.



ඡායා රූප ටෙනිසන් එදිරිසිංහ

 

2019/09/18 තරුණි බලන්න