මවු සෙනෙහස අහිමි වූ දියණියකගේ කතාව

සැප්තැම්බර් 25, 2019

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරේ ටිකක් වෙනස් විදිහේ ටෙලි නාට්‍යයක් සති අන්තයේ දෙරණ නාළිකාවෙන් අපට දකින්න ලැබෙනවා. ඒ තමයි ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ කියන ටෙලි නාට්‍යය.

සමන් එදිරිමුණි තිර රචනය කරන මේ අපූරු ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ දිලුක ගුණතිලක. ඔහු අධ්‍යක්ෂණයෙන් දායක වූ ටෙලි නාට්‍ය ගණනාවක්ම තිබෙනවා. ඒ අතර සිරස නාළිකාවේ විකාශය වූ ගැහැනු ළමයි, ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ සයුරි, ජාතික රූපවාහිනියේ විකාශය වූ අළු බඳුන වැනි ටෙලි සිත්තම් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනපි‍්‍රය වූ ඒවා. එමෙන්ම දෙරණ නාළිකාවේ පොහොය දින විකාශය වන ටෙලි චිත්‍රපට සඳහාත් අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ ඔහුයි.

‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’

ටෙලි නාට්‍ය පිළිබඳ ඔහුට ඇත්තේ වෙනස්ම අදහසක්.

මෙය මවු සෙනෙහස අහිමි පුංචි දැරියක් වටා ගෙතුණු සංවේදී කතාවක්. සංවේදීබව, ආදරය, අහිමිවීම, පිය සෙනෙහස සහ මවු සෙනෙහස කැටිවුණු සුන්දර කතාවක් කිව්වොත් නිවැරැදියි.

මවු සෙනෙහස අහිමි දරුවාට මවක් ලෙස ආදරය කරන තරුණියන් තිදෙනකුගේ ආදරය, සෙනෙහස මුළු කතාව පුරාවට ගලාගෙන යනවා.

නමුත් මේ කතාව තුළදී තරුණියන් තිදෙනා වෙනත් ආකාරයකින් දරුවාගේ පියාට ළංවීම වැරැදි ආදර්ශයක් ලෙස පෙනෙන්නට තිබෙනවා නේද?

මෙය ප්‍රේක්ෂකයින් වැරැදියට වටහා ගැනීමක්. ඒ ගැන මගෙනුත් බොහෝ දෙනා විමසනවා. මේ කතාවෙ දරුවාට පියෙක් ඉන්න බව අමතක කරන්න බෑ. කිසියම් කාන්තාවක් දරුවාට මවක් වනවා කියන්නේ ඒ දරුවගෙ පියාටත් බිරියක් වෙන්න ඕනෙ කියන එක. එහෙම නැතුව දරුවට මවක් විතරක් වෙලා පියාව අතහැර දාන්න බෑනෙ. සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය ඕකයි.

නාට්‍යයේ අවසානය ගැන කියනවනම්...

දැනටමත් ඒක ප්‍රේක්ෂකයන් මගෙන් අහනවා. කතාවෙ හැටියට දරුවට වඩාත් ආදරය කරන කෙනා දරුවාගේ මව වේවි. ප්‍රේක්ෂකයන්ට සුන්දර අවසානයක් දැකින්න ලැබේවි.

මේ ටෙලි නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන්ට අලුත්ම මුහුණු කිහිපයක් හඳුනාගන්න ලැබෙනවා. අලුත් වුවත් ආධුනික බවකින් තොරව හදවතට දැනෙන ලෙස රංගනයේ යෙදෙන ඔවුන් මීළඟට හඳුනාගනිමු.

‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයේ නිරාශාගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ නඳුනි කරුණාතිලක.

නඳුනි මේ ඔබ රඟපාන පළමු ටෙලි නාට්‍ය චරිතය ද ?

මීට කලින් දෙරණ නාළිකාවේ විකාශය වන ‘දෙවෙනි ඉනිම’ චරිතයක් රඟපෑවා. ඒකෙම විකාශය වුණ පෝය ටෙලි චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිර්මාණ සියල්ලම කළේ දිලුක ප්‍රසාද් ගුණතිලක අධ්‍යක්ෂකවරයායි. ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ නාට්‍යයට තෝරාගත්තේ දෙරණ නාළිකා ප්‍රධානී ලක්සිරි වික්‍රමගේ මහතා සහ චරිත් කොතලාවල මහතාගේ මඟ පෙන්වීම යටතේයි.

නඳුනිගේ පවුලේ විස්තර ?

මගේ ගම නුවර. අධ්‍යාපනය හැදෑරුවේ මහාමායා බාලිකාවෙන්. කලා අංශයෙන් උසස් පෙළ කළා. පවුලේ තව නංගිලා දෙන්නයි, අම්මයි.

රඟපාන්න ඒ කාලේ ඉඳලම අරමුණක් තිබුණ ද?

රඟපාන්න එන්න අරමුණක් තිබුණේ නම් නැහැ. මගේ එකම අරමුණ වෙලා තිබුණේ සංගීත අංශයෙන් ඉදිරියට යන්න. ඒ නිසාම සංගීතය හැදෑරුවා. සෞන්දර්යය විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ අවස්ථාව උදාවුණේ ඒ උත්සාහය නිසා. තවදුරටත් සංගීතය ප්‍රගුණ කරනවා. ළඟදීම මගේ ගීතයක්

එළිදක්වන්නත් මේ දිනවල සූදානම් වෙනවා.

‘නිරාශා’ චරිතය ගැන විස්තර කළොත් ?

නිරාශාට අම්මා, තාත්තා කවුරුත් නැහැ. අයියා විතරයි ඉන්නේ. නිරාශා විවාහ වෙලා සැමියගෙ ගෙදර ඉන්නේ. නැන්දම්මත් ඉන්නේ ඒ ගෙදරමයි. දරුවන් නැති නිසා නැන්දම්මගෙන් වගේම සැමියගෙනුත් නිරාශාට නිතරම අපහාස විඳින්න වෙනවා. ඒ වගේම සැමියා බීමත් කමටත් ඇබ්බැහි වෙලා. ඒ විතරක් නෙවෙයි අනියම් සම්බන්ධතාවයකත් පැටලිලා. මේ සියලු ප්‍රශ්න එක්ක නිරාශා කියන්නේ තනිවුණු, අසරණ වුණු කාන්තාවක්. අද සමාජයෙත් මේ වගේ කාන්තාවන් කොතෙකුත් ඉන්නවා.

ප්‍රශ්න එක්ක ජීවිතය ගෙන යන මේ චරිතය අද කාන්තාවන්ට ශක්තියක්. නිරාශාට පුංචි හරි අස්වැසිල්ලක් ලැබෙන්නේ විහඟි දුව නිසයි. ඒ වගේම ඒ පුංචි දුවගේ මව අහිමි වීමේ වරද තමා වෙත පටවගෙන, ඒ වරදින් නිදහස් වීමට විහඟිට ගොඩාක් ‘සෙනෙහස’ දක්වන චරිතයක් තමයි නිරාශා කියන්නේ. සැබැවින්ම දරුවන් ඉන්න අම්මලාට වඩා දරුවන් නැති අම්මලා කොයි දරුවටත් ආදරෙයි කියන දේ මේ තුළින් කියැවෙනවා.

මේ ටෙලි නාට්‍යයේ සංවේදීම චරිතය ඔබ කීවොත් ?

ඔව්. නිරාශා කියන්නේ ප්‍රශ්න විතරක්ම ජීවිතය කරගත් චරිතයක්. කාගෙවත් ආදරයක්, සෙනෙහසක් නොලබන ඇය කලකිරීමකින් ජීවත් වෙන්නේ. අඬන කොටස් තමයි වැඩිපුරම තියෙන්නේ. ඇත්තම කිව්වොත් සමහර කොටස්වලදී මට ඇත්තටම ඇඬුණ අවස්ථාත් තියෙනවා. ඒ තරමටම මේ කතාව සංවේදීයි.

මේ විදිහට නිරාශා වූ නඳුනි ඇත්තටම දේවකගේ බිරිය වෙලා. ඒ ගැන කියමු.

මේකෙ මම රඟපාන්නේ සැබෑ ජිවිතයේ මගේම සැමියා එක්ක. ඒක ඇත්තටම විශේෂ අවස්ථාවක්. මගේ සැමියා දිනූෂ දිසානායක. ඔහු රඟපාන පළමු ටෙලි නිර්මාණය මේක. විහඟි දුවගේ පියා එහෙමත් නැත්නම් දේවකගේ චරිතය කරන්නේ ඔහුයි. සැමියා රංගනයට පිවිසුණේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 5 හරහායි.

එකම දර්ශන තලයකදී සැමියා එක්ක රඟපාද්දි නඳුනිට මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නේ ?

එයා මගේ සැමියා නිසා එයත් එක්ක රඟපාන එක පහසුවක් වුණා. ඒ නිසාම අප එකට රඟපාද්දි අපි ගැන වැඩි අවධානයක් යොමු වෙනවා. ඒක නිසාම පොඩි චකිතයක් ඇතිවෙනවා. වැරැදෙයි කියලා බයක් වගේ දෙයක්.

ඉදිරියේදීත් ඔබ රංගන කටයුතුවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා ද?

මම වැඩියෙන්ම කැමැති ගායිකාවක් වෙන්නයි. ඒත් හොඳ චරිතයක් ලැබුණොත් තෝරා බේරාගෙන කරනවා.

එම ටෙලි නාට්‍යයේ අනුරාධි නම් වෛද්‍යවරියගේ චරිතයට පණ පොවන්නේ හිරුෂි වසුන්දරා.

අනුරාධිගේ චරිතය හිරුෂිගේ ජීවිතයට සමානයි කියන්නේ ඇත්ත ද?

ඇත්තටම ඔව්. මමත් අනුරාධි වගේම අහිංසක කෙනෙක්. මට මේ චරිතය ඒ තරම් හොඳට කරන්න පහසු වුණෙත් මගේ තිබුණු ඒ අහිංසකකම නිසා. ඒ චරිතය හරිම අහිංසක චරිතයක්.

ඩොක්ටර් අනුරාධි ගැන කතා කළොත් ?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතපු නැති විදිහට ඩොක්ටර් අනුරාධිගේ අහිංසකකම මගේ රසික, රසිකාවියන් වයස් භේදයකින් තොරව ග්‍රහණය කරගෙන. අනුරාධි චරිතය මගේ ජිවිතයට ලැබුණු වටිනා සම්පතක් කීවොත් නිවැරැදියි.

ඒ වගේම ඒ චරිතය වර්තමාන තරුණියන්ට ආදර්ශයක් ගෙන එනවා. අනුරාධි උගත් වැදගත් පවුලක තරුණියක්. නමුත් ඇයට සමාජයීය දැනුම නැති නිසාත් ඇගේ අහිංසකකම නිසාත් නොගැළපෙන පවුලක තරුණයකු සමඟ ආදර සබඳතාවක් ඇති කරගන්නවා. ඇය සම්බන්ධ වන්නට යන්නේ ඇගේ අහිංසකකමින් ප්‍රයෝජන ගැනීමට බලාසිටින පවුලකටයි. ඉතින් තමන්ගේ උගත්කමට, තමන්ගේ පවුලට ආදරය කරන පුද්ගලයකු තෝරා ගැනීමට වර්තමාන තරුණ ළමයින්ට මෙය කදිම නිදසුනක්.

විහඟී දැරිය ඔබේ කුඩා කළ නැතිවූ නැඟණියට සමාන නිසා ඔබ ඇයට මවක් මෙන් ආදරය කරනවා. ඉන් එහාට ගිය දෙයක් තියෙනවා ද?

අනතුර සිදුවිමෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන විහඟිට මවු සෙනෙහස අහිමිවෙලා. ඉතින් වෛද්‍යවරියක ලෙසත්, නැගණියගේ කුඩා කල රුවට සමාන නිසාත් ඒ වගේ ආදරයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් දරු සෙනෙහසක් ඇතිවෙන්න නිශ්චිත හේතුවක්ම ඕන වෙන්නෙ නෑනෙ.

රෝහලේදි චූටි දුවත් එක්ක සමහර දර්ශන කරද්දී ඇත්තටම මගේ ඇස්වලට කඳුළු ආපු අවස්ථා ගොඩක් තියෙනවා. ඇත්ත ජීවිතයෙත් ඒ චූටි දූ මගේම දුව වුණානම් කියලා රඟපාන හැම අවස්ථාවකදිම හිතෙනවා. ඒක හරි පුදුමාකාර බැඳීමක්. මම සැබෑ ජීවිතයේදීත් දරුවන්ට ගොඩක් සමීප නිසා ඒ චරිතය ඒ විදිහටම කරන්න මට හැකියාව ලැබුණා.

 

2019/09/25 තරුණි බලන්න