එයා පුංචි කාලේ හරි හුරතල් කොල්ලෙක් වගේ දඟමල්ලක්

- නිර්මලා රණතුංග
ඔක්තෝබර් 9, 2019

සිනා මල් ගොඩක්
පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි
දෝතට මල් බොහොම වඩින්නේ..

කඳුළු මල් ගොඩක්

පාර දෙපැත්තේ
නෙලා ගන්නෙපා මගේ
පුංචි මල් කුමාරියේ..

සිනා මල් ගොඩක්

නෑ කඳුළු මල් ගොඩක්..

මවක හා දියණියක අතර ඇතිවන මේ සංවාදයෙන් යුතු ගීතය කිසි දිනෙක පැරැණි වන්නක් නොවේ. ලෝකය සොයා යන්නට වෙර දරන දියණිය ලෝකයේ ලස්සන පමණක් දැකීම පුදුමයක් නොවේ.

ඇයට මේ හැම දෙයක්ම අරුමයකි. ලෝකයේ ඇති රුදුරු බව ඇය නොදනී.

එහෙත් මව ඇයට ලෝකයේ සොඳුරු බවට යටින් ඇති රුදුරු බව , රැවටීම පිළිබඳ දියණියට ඔවදන් දෙන්නේ ඇය පිළිබඳ වූ දයාවෙනි. මාතෘ ප්‍රේමයෙනි.

මේ ගීය ගායනා කළ මවත් දියණියත් සැබෑ ලොවේදී ද එලෙසින් ම ආදරණීය වූ මවක් හා දියණියකි. ඒ ආදරණීය මව නිර්මලා රණතුංග ය. මවගේ අඩිපාරේ යමින් මවු ඔවදන් අසා ජීවිතය සාර්ථක කරගත් දියණිය සෙව්වන්දි රණතුංග ය. මුලින් ම මා පිළිසඳරේ යෙදුණේ සෙව්වන්දි සමඟිනි.

* කොහොමද? මේ දවස්වල මොකද කරන්නේ..

ප්‍රසංගවලට සහභාගී වෙනවා, අලුතෙන් ගීත දෙකක් කරමින් ඉන්නවා, රූපවාහිනී වැඩසටහන්, තරග විනිශ්චය කටයුතුවලට සහභාගී වෙනවා... මේ සියල්ල සමඟින් නිවෙසේ වැඩ කටයුතුත් අඩුපාඩුවක් නොවෙන්න සිදු කරනවා..

* ඔබේ ආදරණීය පවුලේ විස්තරත් දැන ගන්න අපි කැමැතියි..

මගේ ආදරණීය සැමියා නිහාල් වික්‍රම එදිරිසූරිය.. මම දැන් ලොකු අම්මෙක්. මගේ දුවට දැන් වයස 20ක් වෙනවා.. ඇය උපාධිය හදාරමින් ඉන්නේ.. පුතාට වයස 14යි. පුතා තවම පාසල් අධ්‍යාපනය හදාරනවා.

* මවගෙන් ලැබුණු සංගීතමය දායාදය ගැන මොකද හිතෙන්නේ..

ඇත්තට ම ඒක ලොකු දායාදයක්. ලේසියෙන් කෙනෙකුට නොලැබෙන දෙයක්. අම්මගෙන් විතරක් නෙමෙයි අම්මලාගේ පරම්පරාවේ හැම කෙනෙකුගෙන් ම මට සහයෝගය, දැනුම ලැබුණා.. මම හිතන්නේ ලංකාවේ ලොකුම කලා පවුලේ පුරුකක් වීමට ලැබීම ම මට ලැබුණු භාග්‍යයක්. ඒ විතරක් නෙමෙයි ඔවුන් මනුස්සකම්, සංවේදී හදවත් තියෙන පිරිසක්.. ඒ වගේ පිරිසකගේ ආදරය, සෙනෙහස, රැකවරණය විඳින්න ලැබුණු එකත් සතුටක්.. මගේ ජීවිතේට මේ හැම දෙයක්ම බලපෑම් කළා..

* ඔබේ දරුවන් කලාවට යොමු වෙලා නැද්ද?

ඒ දෙන්නට ම ලොකු හැකියාවක් තියෙනවා.. දුව සංගීත විභාගයක් කළා. ඒත් අධ්‍යාපන කටයුතු නිසා එයාට සංගීතය වැඩිදුර හදාරන්න වෙලාවක් නැහැ. පුතාටත් සංගීතමය හැකියාවන් තියෙනවා. මේ දෙන්නට ම තබ්ලා වාදනයට, ගීත ගායනයට හැකියාව තියෙනවා.

පුතාට නර්තන, රංගන හැකියාවන් වගේම ක්‍රීඩා හැකියාවනුත් තියෙන දරුවෙක්. එයාගේ පාසලේ 15න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා.

අපි එයාලට කිසිම දෙයක් කරන්න කියලවත් කරන්න එපා කියලවත් බලපෑම් කරන්නේ නෑ.. කවදා හරි වැඩි කැමැත්තක් ඇතිවුණ දවසට කලා කටයුතුවල නියැළෙන්නත් පුළුවන්.

* අම්මා ඔයාව රෝසමලක් වගේම පරෙස්සම් කළා නේද?

අපි හැම දෙයක් ම ඉගෙන ගන්නේ තමන්ගේ අම්මාගෙන්. මම නිවෙසේ හිරවෙලා හැදුණ කෙනෙක්.. ඒ නිසා මට නිදහස තිබුණේ බොහොම අඩුවෙන්. යෞවනයේ ඉන්න කෙනෙක් හැටියට තනියම කොහේවත් යන්න බැරි එක ගැන, නිදහස නැති එක ගැන ඒ කාලේ මම දුක් වුණා.. ඒත් දැන් හැරිලා බලද්දී මට හරි සතුටක් දැනෙනවා මාව ඒ විදියට කාගෙන්වත් කතාවක් අහන්නේ නැති වෙන්න හදපු එක ගැන.. මෙහෙම ඉන්න ලැබුණේ අම්මා මාව එහෙම හදපු නිසා. තාත්තගෙන් ලැබුණු දේවල් වගේම තාත්තගේ ජීවිතය දිහා බලලා මම ඉගෙන ගත්ත දේවලුත් ගොඩක් තියෙනවා. ඇත්තට ම අම්මයි තාත්තයි මගේ ජීවිතේ සාරවත් කරගන්න ලැබුණු යහපත් චරිත දෙකක්.. අදටත් මගේ හොඳම යෙහෙළිය මගේ අම්මා. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මම අදටත් ඇය එක්ක කතාබහ කරලා හිතේ සැනසීම ලබා ගන්නවා. අම්මා හැමදේම කළේ ඇගේ දරුවෝ වෙනුවෙන්.. දැන් මගේ දරුවන්ටත් ඒ විදියට ම ආදරය කරනවා. අපි වෙනුවෙන් අම්මා කැප කිරීම් කරලා තියෙනවා.

* දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ඔබ දුව හැදුවේ ඔබේ අම්මා ඔබ හදපු විදියට ම ද නැත්නම් සමාජ වෙනස් වීමත් එක්ක ඊට වඩා වෙනස් විදියට ද?

ඒ කාලේ වගේ නෙමෙයිනේ අද කාලේ.. ඉතිං මම ඒ වෙනස තේරුම් අරගෙන තමයි මගේ දරුවො හදන්නේ. මගේ දරුවො නිසා කියනවා නෙමෙයි, ඒත් මට ඉන්නේ හොඳ, හැදිච්ච, කීකරු දරුවො දෙන්නෙක්..

අපිට ඒ කාලේ දැනුම තිබුණේ නැහැ. ඇත්තට ම අපේ අම්මලාට අපිව එළියට දාන්න තිබුණ බය සාධාරණයි.. අපිට සමාජය ගැන අවබෝධයක් තිබුණේ නෑ. ඇත්තට ම ඒ කාලේ අපිව එළියට දැම්මා නම් මුලාවෙන්න, අතරමං වෙන්න තිබුණා.. ඒත් අද කාලේ දරුවෝ ඊට වඩා බුද්ධිමත්. එයාලා නිතරම බලන්නේ එයාලගේ අරමුණට ළඟාවෙන්නයි. හැඟීම්වලට මුලාවෙන බව අඩුයි.

 

2019/10/09 තරුණි බලන්න