ජීවිතයට හුස්ම පිඹින ඇය..

චමත්කා
ඔක්තෝබර් 16, 2019

කාන්තාවක සතු වටිනාකම් බොහොමයකි. රුව, ගුණ, නැණ ආදී සියල්ල එක් වූ තැන ගැහැනියකට ලැබෙන වටිනාකම වඩාත් ඉහළ ය.

එහෙත් අද සමාජය තුළ තම වටිනාකම ඉහළ නංවා ගැනීමට නොයෙකුත් දෙයෙහි නිරතවන කාන්තාවන් පිළිබඳ මේ දිනවල දී වඩාත් තොරතුරු සමාජගත වේ. මේ කුමන දෙයක නිරතවීමට වුව ද ඇය සතු ආත්මශක්තිය ද වැදගත් වේ.

එහෙත් අපට අත්දකින්නට ලැබෙන්නේ සමාජය විසින් මෙවැනි කාන්තාවන් පහළට ඇද දැමීම් වස් සිදු කරන ක්‍රියාවන් ය. මේ දිනවල තිරගත වන 'හුස්ම' චිත්‍රපටයේ ඇත්තේ ද කාන්තාවකට සිදුවන අකටයුත්තකි. දුරදිග නොසිතා සිදු කරන ක්‍රියාවක් නිසා ජීවිත වනසා ගන්නා තරුණයන් තිදෙනෙකි. 'හුස්ම' අප කාටත් එකසේ වැදගත් වන්නා සේ ම මේ චිත්‍රපටය ද අප හැමට බොහෝ හිතන්නට කාරණා ලැබ දෙන්නකි. 'හුස්ම' ගැන කතා කරන සියලුදෙනා එහි ප්‍රධාන චරිතයට පණ පොවන්නිය ගැන ද විවිධ අයුරින් කතා බහට ලක් කරයි.

ඇය, චමත්කා නිල්මිණී ය. චමත්කා 'හුස්ම' චිත්‍රපටයේ හුස්මක් ගන්නට වරම් ඉල්ලන තාරුකාගේ චරිතයට මනා සාධාරණයක් ඉටු කළාය. ඒ නිසාම චමත්කා සමඟින් තරුණී ඔබ වෙනුවෙන් කතාබහක නියැළීමට අපි තීරණය කළෙමු.

* චමත්කා ගැන සාමාන්‍ය හඳුනා ගැනීමක් කළොත්...

මගේ උපන් ගම නාවල. බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකාවේ තමයි මම ඉගෙන ගත්තේ.. මම විවාහකයි. මම පවුලේ එකම දරුවා. උදේ 8.00ට ගිහින් 5.00ට එන රස්සාවක් කරන්න මම කොහොමටත් කැමැත්තක් නැහැ. දැනට ශ්‍රී ලංකා සිනමා පාසලේ උපාධිය හදාරමින් ඉන්නවා. මම නිදහස අගයන චරිතයක්.

* ඔබ කලාවට යොමුවෙන්න පසුබිම සැකසුණේ කොහොමද?

මගේ ලොකු තාත්තා සහාය අධ්‍යක්ෂවරයෙක්. එයාලා නිතර ෂූටින් යනවා එනවා. මම එයාලගේ නිදහස දැකපු නිසා මටත් වෘත්තිය විදියට මේ ක්ෂේත්‍රයට ඒමේ මූලික අදහස ඇති වුණා. උසස් පෙළ විභාගය කළාට පස්සේ කලා විෂයයක් විදියට නර්තනය හැදෑරුවා. මේ අතර 'මිස් ඒෂියා 2015' තරගයේ දී මිස් ෆොටෝජෙනික් ලෙසින් ජයග්‍රහණයක් දිනා ගැනීමට මට හැකිවුණා. මම ජම්බෝ පීනට්, ඩයලොග්, රොවෙලෝ ඩාර්ක් චොක්ලට් වගේ වෙළෙඳ දැන්වීම්වලත් මියුසික් වීඩියෝවලටත් පෙනී හිටියා.. 'ගිනියම් රෑ' කියන මියුසික් වීඩියෝ එකෙන් තමයි ගොඩක් අය මාව දැන ගත්තේ..

'සරුංගල්' චිත්‍රපටයට නාලක අයියා මාව තෝරා ගත්තෙත් ඒ මියුසික් වීඩියෝ එක දැකලා.. ඒකට කොණ්ඩය කපන්න පුළුවන්ද කියලා ඔහු මගෙන් ඇහුවා.. මම ඒකට කැමැතිවෙලා හිටියත් කොණ්ඩය කපන්නේ නැතිව ඒ චරිතය කරන්න පුළුවන් වුණා. ඒකෙන් පස්සේ තමයි මට 'හුස්ම' ෆිල්ම් එකට අවස්ථාව ලැබුණේ..

* මේ චිත්‍රපටයේ චරිතය තරමක අභියෝගාත්මක චරිතයක්. විශේෂයෙන් අපේ රටේ.. මේක භාරගනිද්දි චකිතයක් ඇති වුණේ නැද්ද?

මම සිනමා ක්ෂේත්‍රයේ පමණක් රැඳෙන්න කැමැති කෙනෙක්. ඒ නිසා මට අදාළ වුණේ මේ චිත්‍රපටය හොඳ එකක් ද නැද්ද කියන එක විතරයි. මේ චරිතය ගැන මම ඇහුවේ මගේ පෙම්වතාගෙන් පමණයි. එයාගෙන් ඇහුවෙත් මම තවත් පවුලකට සම්බන්ධ වෙන්න යන කෙනෙක් නිසා එයාලට යම් අපහසුතාවක් වෙයි ද කියන අදහසින්.. ඒ වෙනකොට අපේ විවාහයටත් බොහොම ආසන්න කාලයක්. එයා මට කිව්වේ මේකෙන් මටවත් අපේ පවුලටවත් ප්‍රශ්නයක් නෑ.. ඔයාට කරන්න පුළුවන් නම්, ඔයාට මේකෙන් වෘත්තීය වශයෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා නම් කරන්න කියලා..

දසුන් මගේ යාළුවෙක්. දස්සගෙන් මම ඇහුවා මේ චරිතේ කරන්නද කියලා.. එයා කිව්වෙත් උඹට කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් කරපන් කියලා.. ඇත්තට ම මට මේ චරිතය කරද්දි දසුන්, ඉසුරු, පුබුදු දීපු සහයෝගයත් අමතක කරන්න බෑ.. මේ චරිතය මට ලැබුණු හොඳ අවස්ථාවක් විදියටයි මට හිතෙන්නේ.. චමත්කාගේ නිරුවත බලන්න සිනමා ශාලාවට යන අය එතැනින් එළියට එන්නේ ඒ මානසිකත්වයෙන් මිදිලා..

* මේ චිත්‍රපටය ගැන චමත්කා දරන අදහස මොන වගේද?

සිනමා ඉතිහාසය ගත්තම පැය 16 චිත්‍රපට පවා තිබෙනවා. ඒත් මේ චිත්‍රපටය තරමක අභියෝගයක්. මොකද එකම පසුතලයක ප්‍රෙක්ෂකයාට නීරස නොවී කතාව ගෙන යායුතුයි. සමස්තයක් විදියට ගත්ත ම මේ චිත්‍රපටය හොඳ තත්ත්වයේ තියෙනවා. මේකෙදි එයට සහභාගී වුණ හැම දෙනාගෙන් ම ලැබුණු සහයෝගය වටිනවා. මගේ රංගනයටත් ඒක හොඳ රුකුලක් වුණා..

මේ චිත්‍රපටය සිනමා ශාලා 60-70ක තිරගත වෙනවා. රාත්‍රියේ පවා මිනිස්සු චිත්‍රපටය බලන්න එනවා. ඇත්තට ම චිත්‍රපටය හොඳින් තිරගත වෙනවා කියන්නේ අපේ සමාජය යම් තරමකට මේ දේවල් ගැන දැනුවත් වෙනාවා කියන සතුටත් මට තියෙනවා.

* ලිංගිකත්වය අපේ රටේ තහනම් වචනයක් වගේ..

ඇත්තට ම ඔව්.. ගොඩක් ඒ සම්බන්ධ අපරාධ, සියදිවි නසා ගැනීම් සිද්ධවෙන්නේ ඒ පිළිබඳ තියෙන නොදැනුවත් බව නිසා. දරුවන් යම්කිසි වයසකදි මේ දේවල් ගැන දැනුවත් කළ යුතුයි. පාසලෙන් වුණත් සමහර වෙලාවට හරි ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලැබෙන්නේ නෑ.. ඒත් ඒ පිළිබඳ කුතුහලය, හැඟීම් ඇති වීම ස්වභාවිකයි. ඒ ගැන කියාදෙන්නේ නැති වුණාම දරුවෝ වෙනත් ක්‍රමවලින් ලිංගික අධ්‍යාපනය වගේම ඒ අත්දැකීම් ගන්න උත්සාහ කරනවා. එතැනදි තමයි වැරැද්දට යොමු වෙන්නේ. මම හිතන්නේ නියමාකාරයෙන් ඒ ගැන දැනුමක් ලබා දුන්නොත් එවැනි පුද්ගලයන් වරදට පෙලඹෙන්නේ අඩුවෙන්.

මම වැඩිවියට පත් වීමේ දී මගේ අම්මා මට ඒ වයසට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දුන්නා.. දුවකුට තමන්ගේ අම්මා එක්ක ලිංගික ගැටලුවක් කතා කිරීමේ අවස්ථාව වගේම හැකියාවක් තියෙන්න ඕනේ.. එහෙම නැති වුණාම තමයි දරුවෝ අසරණ වෙන්නේ.. තමාගේ මවත් එක්ක විවෘත මානසිකත්වයකින් තමාගේ ගැටලු කතා කරන්න බැරි වුණා ම දරුවො පිට යන එක වළක්වන්න බෑ.

 

ඡායාරූප -  ශාන් රූපස්සර

2019/10/16 තරුණි බලන්න