කැලණි පාලම මගේ ජීවිතයේ සුවිශේෂී කඩ ඉමක්

ප්‍රවීණ රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර
ඔක්තෝබර් 16, 2019

‘ලොවෙන් එකෙන් එක් දෙයකට වෙයි සමත’ යනුවෙන් කියමනක් තිබුණත්..... එයට අභියෝග කළ සුවිශේෂී චරිතයකි.

ඇය ප්‍රවීණ කලා ශිල්පිනී රම්‍යා වනිගසේකර නම් වන්නීය.

වේදිකා පසුබිම් ගායිකාවක ලෙසින් කලා ලොවට ප්‍රවිෂ්ට වූ ඇය ගුවන්විදුලි මහගෙදර දී ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ගැඹුරු මනෝහර හඬින් ශ්‍රාවක සිත් ඇද බැඳ ගන්නට සමත් වූවාය. ඇයගේ හඬට සම කළ හැකි ප්‍රවෘත්ති නිවේදිකාවක නොසිටි තරම්ය.

ගායන, හඬකැවීම සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් පමණක් නොව රංගනයේ දී ඇය ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට පත්කිරීමට සමත් වූයේ සුවිශේෂී දස්කම් රැසක් සමඟිනි. වේදිකාවෙන් ඇරැඹි සිය රංගන කෞෂල්‍ය වේදිකාවට පමණක් සීමා නොකොට පුංචි තිරය මෙන්ම රිදී තිරය දක්වාම ගෙන ගියාය.

වේදිකාව ඇගේ ජීවිතයේම කොටසක් මෙන් විය. එතරම්ම ඇය වේදිකාවට බද්ධ වූවාය. නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් මහතාගේ නිර්මාණයක් වන ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයේ ‘මැටිල්ඩා’ වෙමින් සිය රංගන දක්ෂතා ගෙන හැර පෑවේ කලා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් මහතාගේත් රම්‍යා වනිගසේකර නම් කලා ශිල්පිනියගේත් ආදර කතාවට මුල පිරෙන්නේ ද කැලණි පාලම හරහායි. ඔහු අද අප අතර නැතත් ඔහුගේ ආදරණීය බිරිය ලෙසින් රම්‍යා වනිගසේකර මහත්මියගේ දැඩි කැපවීම නිසාම ‘කැලණි පාලම’ තවමත් වේදිකා ගත වෙයි.

සිය කලා දිවියේ දශක පහක් ද, ‘කැලණි පාලම’ ට වසර 40 ක් ද සපිරෙන මේ මොහොතේ ඇය ඇගේ කතාව ‘තරුණී’ට මෙසේ හෙළි කළාය.

ඔබ කලාවට අවතීර්ණ වන්නේ ගායිකාවක් විදිහටයි.

ඔව්. ඒක ඇත්ත. 1974 දී තමයි පසුබිම් ගායිකාවක් වෙමින් මම වේදිකාවට එන්නේ. ඒ චන්දි ගුණතිලක මහතාගේ ‘හේවායෝ’ නාට්‍යයට එක්වෙමින්. ඊට පස්සේ ජයතිස්ස අලහකෝන් මහතාගේ වේදිකා නාට්‍ය රැසක මම පසුබිම් ගායිකාවක වුණා.

ඒ අතරේදී ඔබ රංගනයටත් ප්‍රවිෂ්ට වෙනවා....

ඒ 1976 වසරේදී. මම මුලින්ම රඟපෑවේ ‘හස්තිරාජ මහත්තයා’ කියන නාටකයේ. එහි සුළු චරිතයක් රඟපෑවත් ඒ ආරම්භය මාව බොහෝ දුර ගෙන ගියා. රංජිත් ධර්මකීර්ති මහත්තයා තමයි මේ නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. ඊටපස්සේ රංජිත් මහතාගේම ‘අංගාර ගඟ ගලා බසී’ වෙනුවෙන් පසුබිම් ගීත ගයන්නත් අවස්ථාව ලැබුණා. මෙහි ගීත 14 ක් අන්තර්ගත වුණා. සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන්. මේ නාටකයේ දී හදිසි අවස්ථාවලදී මට දෙවැනි චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ විදිහට වේදිකා නාට්‍ය 15 ක පමණ රඟපාන්න මට අවස්ථාව ලැබුණා.

මේ කාල සීමාවේදී ඔබට ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා....

1980 වසරේදී තමයි මම ගුවන්විදුලි මහගෙදරට ගොඩවන්නේ. ගුවන් විදුලියේ ‘තක්ෂිලාව‘ වැඩසටහන මට ඒ සඳහා මඟ පෙන්වූවා. කවි, ගායනා, නාට්‍ය. ප්‍රවෘත්ති වගේ හැමදේම මෙයට අන්තර්ගතව තිබුණා. මම ඒ හැමදේම පුහුණු වුණා. එදා ‘තක්ෂිලාව’ වෙනුවෙන් යුනෙස්කෝ ආයතනය අනුග්‍රහය දැක්වූවා. ඔවුන් එවන ප්‍රවෘත්ති පිටපත කියවන්න මාව තෝරාගන්නේ පියසේන ජයවීර කියන මහත්තයා. ඒ ලැබුණු අවස්ථාව මට ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ලොකු පුහුණුවක් වගේම ආභාසයක් ලැබීමටත් හේතු වුණා.

මයික්‍රෆෝනය ඉදිරියේ හඬ පාලනය කරමින් බර හඬක් හදාගන්නට මට හැකි වුණා. එදා මම මගේ වයසට වඩා ලොකු චරිත වෙනුවෙන් හඬ කැව්වා. 1981 සිට ස්ථිර ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස පත්වීම ලැබූ මම විශ්‍රාම ගියේ 2006 අවුරුද්දේ. ඉන්පසු 2008 වසරේ සිට කොන්ත්‍රාත් පදනම යටතේ අදටත් සහන ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ශී‍්‍ර ලංකා ගුවන් විදුලියේ රැඳී සිටිනවා.

හඬ වගේම රූපයත් ඒ හදවත්වල රැඳී තිබෙනවා කියා මා පැවසුවොත්...

එහෙම කිව්වට වරදක් නැහැනේ. මම මුලින්ම කැමරාව ඉදිරියේ හිටගත්තේ 1983 අවුරුද්දේ. එදා බිහි වූ පළමු නාට්‍ය කණ්ඩායමේ මමත් සාමාජිකාවක්. ප්‍රවීණ කලා ශිල්පී ධර්මසේන පතිරාජයන් මී මැස්මොරය සම්බන්ධයෙන් නිපද වූ ‘ගඟුලෙන් එගොඩ’ වාර්තාමය නාටකයේ තමයි මම මුල්වරට රඟපෑවේ. මේ නාට්‍ය ජර්මනියේ පැවැත්වූ වාර්තා වැඩසටහන් තරගයකදී රන් සම්මානය දිනාගත්තා. ඊටපසුව මම ‘කන්දේ ගෙදර’, ‘‘පළිඟු මැණිකේ’, ‘මැණික් නදිය ගලා බසී’, ‘දෙනුවර මැණිකේ’, ‘පබා’, ‘අලුත් ගෙදර’ ඇතුළු ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා. ටෙලි නාට්‍ය 350 කට වඩා රඟපෑ බව මතකයේ තියෙනවා. මෑත කාලයේ විකාශය වුණු ‘සල්සපුනා’, ‘පැහැසරා’, සහ ‘අම්මාවරුනේ’ ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයින්ගේ පැරැණි මතකයන් අලුත්වන්නට ඇති.

එදා නාට්‍යයේ තිබුණු ගුණය වර්තමාන නාට්‍ය තුළත් තිබෙනවා කියා ඔබ සිතනවා ද?

ඒ කාලේ නාට්‍ය කළේ භාරදූර කර්තව්‍යයක් විදිහට. ඒවායේ මුල, මැද, අග ස්ථිර වශයෙන්ම අන්තර්ගතව තිබුණා. කොටස් 20 කට හැමදේම සංක්ෂිප්ත වුණා. හොඳට සාකච්ඡා කළා. රචකයා සමඟ සහසම්බන්ධයක් ඇති කරගත්තා.

ඒත් අද යන්නේ එදා ගිය ගමනෙන් සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට.

ඒක තමයි නාට්‍ය රසයේ විනාශයට මුල. අනික හැමදේටම මුදල ඉදිරියට දමාගැනීම. එදා ශිල්පීන් අද කුලීකාරයන් වෙලා. අද නාළිකා තමයි හැමදේම කරන්නේ. ශිල්පීන් ඔවුන්ට කොටු වෙලා. අද මේ සියල්ල පිරිහිලා.

ඔබ සිනමාවටත් දායකත්වය ලබා දුන්නා....

ඔව්. මම චිත්‍රපට කිහිපයකම රඟපෑවා. ඩී.බී. නිහාල්සිංහ මහතාගේ ‘රිදී නිම්නය’ වසන්ත ඔබේසේකර මහතාගේ ‘ටිකිරි සුවඳ’ සහ ‘වීර්යා’ ඒ අතුරින් කිහිපයක්.

 

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

 

2019/10/16 තරුණි බලන්න