නීලමනී කියන්නේ ගැහැනු අප තුළ ජීවත් වන චරිතයක්

විජයබා කොල්ලයේ නීලමනී සෙනාලි ෆොන්සේකා
ඔක්තෝබර් 23, 2019
හැඩගැන්වීම හරූන්  ෂයිඩීන්

 

හෙළ සිනමාවේ නිළි රැජින නම් විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකාගේ කලා පවුල නමැති පොකුණෙහි පිපුණු තවත් එක් පියුමකි ඇය. පුංචි තිරයේත්, සිනමාවේත් එක සේ සිය රංගන හැකියාව විදහාපාන ඇය මේ දිනවල කා අතරත් ජනපි‍්‍රය චරිතයක් බවට පත්වූයේ විජයබා කොල්ලය සිනමා පටය හරහායි. ඇය සෙනාලි ෆොන්සේකා.

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ විජයබා කොල්ලයේ ‘නීලමනීගේ’ චරිතයට පණ පොවන්නේ ඇයයි. විජයබා කොල්ලය සිනමා පටය සාර්ථක ලෙස දින 75 පසු කරමින් තිරගත වන මේ මොහොතේ දී ඇයට ලැබෙන ප්‍රතිචාර ගැන දැනගන්නත් එක්කයි මෙවැනි කතාබහකට සෙනාලිව එකතු කරගත්තේ.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම චිත්‍රපටය වූ විජයබා කොල්ලයේ ප්‍රධාන භූමිකාව ලැබුණේ ඔබටයි..

ඇත්තටම මට මේ ආරාධනාව ලැබුණේ හරි අමුතු විදිහකට. මට ඒ චිත්‍රපටයේ නීලමනීගේ චරිතය මුලදීම ලැබෙනවා. නමුත් ඒ අවස්ථාව පසුව මට අහිමි වෙනවා. මොකද මම ඒ දවස්වල පුංචි තිරයේ ගොඩක් ජනපි‍්‍රය වෙලා හිටපු හින්දා. මහාචාරිය සුනිල් ආරියරත්න මහත්මයා වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ ටෙලි නාට්‍යවලින් ප්‍රසිද්ධ වූ කෙනකුට එවන් චරිතයක් ලබාදෙන්න. ඔහුට අවශ්‍ය වුණේ තරමක් අලුත් කෙනකුට මේ චරිතය ලබාදෙන්නයි. චරිතය අහිමි වුණාට පසුව ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්මයාගේ විජයබා කොල්ලය නම් නවකතාව කියවන්නට මට අවස්ථාවක් ලැබෙනවා. ඒ වෙනකොටත් මට චරිතය අහිමි වෙලා තිබුණේ.

ඒ කාලය අතරතුර මට දැනගන්න ලැබෙනවා නීලමනීගේ චරිතය සඳහා විවිධාකාර රංගන ශිල්පිනියන් තෝරාගෙන තියෙනවා කියලා. නමුත් අනේ මන්දා දෛවයේ හැටි වෙන්න ඇත. ඒ චරිතය කැරකිලා මටම ලැබෙනවා.

විජයබා කොල්ලය සාර්ථකව දින 75 පසුකරමින් තිරගතවන මේ මොහොතේ නීලමනීගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම මේ චිත්‍රපටය තිරගත වෙලා දවස් කිහිපයක් ඇතුළත ඒ පේ‍්‍රක්ෂක ආදරය මට ලැබුණා. සුබපැතුම් විශාල ප්‍රමාණයෙන් ගලා එනවා. චිත්‍රපටයට දින 75 ක් ගතවෙලාත් ඒ ප්‍රතිචාරවල අඩුවක් නැහැ. මෙතරම් ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය ලැබීම ගැන මට ලොකු සතුටක් දැනෙනවා.

නීලමනීගේ චරිතය ඔබට දැනෙන්නේ කොහොමද ?

විශේෂයෙන් චිත්‍රපටය රූගත කරන්න කලින් මම නවකතා පොත කියවපු හින්දා එහි තිරපිටපත සහ නවකතා පොත අතර ගොඩක් සමානකම් තියෙනවා කියලා දැනුණා. මේ විදිහට මම නවකතා පොතෙන් චරිතය ගැන ගොඩක් අධ්‍යයනය කළා. ඉතින් තිරපිටපතේ තිබුණ දේ කැමරාව ඉදිරියේ නිවැරැදිව කරන්න පහසුවක් වුණා.

නීලමනීගේ චරිතය ගැන කතා කළොත් සමහරුන්ට ඇය චපල ස්ත්‍රියක් විදිහට දැනෙන්න පුළුවන්. තවත් සමහරු කියන්න පුළුවන් ඇය හොඳ චරිතයක් කියලා. නමුත් මට නම් දැනෙන්නේ නීලමනී කියන්නේ ගැහැනු අපි තුළ ජීවත් වෙන චරිතයක්. පුංචි කාලේ ඉඳලා ‘අසංග‘ කියන පුද්ගලයා එක්ක හැදිලා, හදිස්සියේම ආපු නයනානන්ද කියන ආගන්තුකයාට තමයි නීලමනීගේ හිත යන්නේ. ඔහුගේ ස්පර්ශය, ආකර්ෂණය, ආදරය, මිත්‍රශීලීත්වය නීලමනීගේ චරිතය තුළින් ඉස්මතු කරනවා. ඒ ආදරය විජයබා කොල්ලය චිත්‍රපටය පුරාම ඉතා ලස්සනට ගලාගෙන යනවා.

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.