ඊර්ෂ්‍යාව කුහකකම නැත්නම් අපි හැමෝටම ලස්සනට ඉන්න පුළුවන්

ඔක්තෝබර් 30, 2019

නාරි හා ප්‍රසව ආයුර්වේද විශේෂඥ වෛද්‍ය

(ප්‍රථම හා එකම වෛද්‍යවරිය)

ආචාර්ය දයානි සිරිවර්ධන

විවාහපත් යුවළකගේ දරුපල සපල වීමේ සිහිනය පිටුපස සිටින ඇය සැබවින්ම එවැන්නවුන්ගේ ඉෂ්ට දේවතාව ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඔස්සේ ස්ත්‍රී, පුරුෂ මඳ සරු බවට සුලමුල සොයා යමින් ප්‍රතිකාර ක්‍රම අරඹන ඇය ප්‍රසව හා නාරිවේද විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධන යි.

ජීවිතය අර්ථවත් කරගනිමින් බොහෝ දෙනකුට ආදර්ශවත් භූමිකාවක් නිරූපණය කරන ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරු චරිතයකි. අතිශය කාර්යබහුල දිවිපෙවෙතක් ගත කළත් ඇගේ කැදැල්ලේ එකිනෙකා අතර ඇති ආදරණීය හැඟුම් ඉතාම ප්‍රියජනක යි.

දැන් නගරබදව බෙහෙවින්ම කාර්යබහුල දිවිපෙවෙතක් ගත කළත් ගමක හැදුණු වැඩුණු ඔබේ ළමා කාලය සෞන්දර්යාත්මක බවින් අනූන වූවක්.

මගේ ගම කුලියාපිටිය. මම පවුලේ දෙවැනි ගැහැනු දරුවා. අක්කා හිටියේ ශිෂ්‍ය නේවාසිකාගාරයක. මම අම්මත් එක්කමයි හැදුණේ වැඩුණේ. තාත්තා අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් වුණු නිසා නිවෙසේ රැඳුණේ හරිම ටික කාලයයි.

පුංචි කාලේ මම ලොකුවට අධ්‍යාපනය අතින් දස්කම් දැක්වූයේ නැහැ. හැබැයි දඟවැඩ නම් ඕනෙ තරම් කළා.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, මලියදේව බාලිකා විද්‍යාලය මම අධ්‍යාපනය හැදෑරූ පාසල්. මලියදේව බාලිකාවෙදි කැපීපෙනෙන අන්දමින් බාහිර වැඩවල නිරත වුණු මගේ ප්‍රියතම ක්‍රීඩාව වුණේ නෙට්බෝල්. බාහිර වැඩවල නිරතවෙමින් ලැබූ අත්දැකීම් මගේ ජීවිතයට හොඳ පන්නරයක් ගෙන ආවා. අභියෝග ජයගන්නට අඩිතාලමක් වුණ ගැමි අසිරිය උපරිමයෙන් විඳි ළමා කාලයකුයි මට තිබුණේ.

පසුකාලයේ දී පොතපතටම සිත යොමමින් කටයුතු කළත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමේ වරම් අහිමිව ගියා. එහෙමයි කියලා අධෛර්යයට පත් වුණේ නැහැ. මට පවුලෙන් එන ආයුර්වේද පසුබිමක් තිබුණෙත් නැහැ. මගේ මිතුරියක් ආයුර්වේද වෛද්‍ය පීඨයට තේරුණා. ඒ නිසා මටත් හිතුණා. මාත් අයදුම් කළා.

ආයුර්වේද වෛද්‍ය පීඨය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණා.

1979 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත දේශීය වෛද්‍ය ආයතනයට ඇතුළු වුණේ. වසර පහක කාලයක උපාධියක් නිමකරලා අවසන් වසරෙදි පරිවාස පුහුණු කාලයක් තිබුණා. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉඳන්ම මම හොඳින්ම ඉගෙන ගත්තා. ඒ නිසා සෑම වසරකදීිම පළමුපෙළේ සාමාර්ථයන් හිමිකරගන්න මට පුළුවන් වුණා.

උපාධිය අවසන් කොට මාස දෙකක කාලයක් ගතවෙද්දීම ස්ථිර කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන්න ලැබීමත් මගේ ජීවිතයේ සුවිශේෂී ජයග්‍රහණයක්. ඒ 1985 වසරෙදි.

ඔබ පශ්චාත් උපාධිය හැදෑරීමට ඉන්දියාවට යන්නේ තනිවම නොවෙයි?

වෛද්‍ය ශිෂ්‍යාවකව ඉඳිද්දී මුණ ගැසුණු ඔහු අද දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ බැබළෙන නාමයක්ව සිටින වෛද්‍ය ආචාර්ය අභයසිරි කරුණාතිලක. ඔහු ශල්‍ය වෛද්‍යවරයෙක්.

තරුණ ජවයකින් යුතුව කටයුතු කරපු අපි දෙන්නා දේශීය වෛද්‍ය විද්‍යායතනයත.් බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලත් වෙනස්ම මඟක් කරාගෙන යන්නට වෙහෙස වුණා. නැවුම් දේශන පවත්වන්නට, වෛද්‍ය සායන පවත්වන්නට කටයුතු කළා.

සැබෑ වෛද්‍යවරුන් වීමට ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන් බිහි කිරිමයි අපේ මුඛ්‍ය පරමාර්ථය වුණේ.

ඔය අතරෙදි තමයි අපි විවාහවෙලා පශ්චාත් උපාධිය හැදෑරීමට ඉන්දියාවේ බරණැස විශ්වවිද්‍යාලය කරා ශිෂ්‍යත්වය ලැබ පිටත්ව ගියේ.

ඒ 87 වසරේදි. 90 වසරේ පෙරළා පැමිණ නැවත 97 වසරෙදි පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ගුජරාට් ආයුර්වේද විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. මේ හැම අවස්ථාවකදීම මගේ ආදරණීය සැමියා මා ළඟින්ම සිටියා.

ඔය අතර කාලයේ අපි දරු සුරතල් අසීමිතව විඳින මාපියන් බවට පත්වුණා. මුලින්ම අපි වෙත ආවේ දේශමුඛ පුතා. ඒ 93 වසරෙදි. පසුව අපට නිවුන් දරුවන් ලැබුණා. හිරණ්‍ය පුතා සහ හිමානි දුව අපි අතරට ආ පුංචි දුවයි, පුතයි. නිවුන් දරුවන් ලැබීමත් වෙනස්ම අත්දැකීමක්. නිවුන් දරුවෝ විදිහට දුවෙකුයි, පුතෙකුයි ලැබෙනවා කියන්නේ තවත් විශේෂයි.

ප්‍රසව හා නාරිවේදය සම්බන්ධ ආචාර්ය උපාධියක් ලබන ප්‍රථම ලාංකික ආයුර්වේද වෛද්‍යවරිය ඔබයි.

ප්‍රථම සහ මේ වනතුරුත් සිටින ආචාර්ය උපාධිධාරිනිය මමයි. ආචාර්ය උපාධිය හදාරා පැමිණි පසු මේ ක්ෂේත්‍රය පිළිබඳ ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන්ට හැකිතරම් පහසුකම් සැලසීමට කටයුතු කළා.

 
 
 ගයාන් පුෂ්පික

2019/10/30 තරුණි පුවත්පත බලන්න