දුව අපේ නර්තන කලාව රැකගෙන ඉදිරියට යයි කියලා හිතනවා

උපුලී පණීභාරත
නොවැම්බර් 6, 2019

ශ්‍රී ලාංකේය නර්තන ක්ෂේත්‍රයේ අද්විතීය සලකුණක් ලෙස සැලකෙන චන්න විජේවර්ධනයන්ගේ ආදරණීය බිරිය උපුලී පණීභාරත සහ ඔවුන්ගේ දියණිය අසේකා විජේවර්ධන මෙවර අම්මයි දුවයි විශේෂාංගයට අප එක්කර ගත්තා.

සාම්ප්‍රදායික නැටුමට ගරුකරන විනය ගරුක නර්තන පරපුරක් රටට දායාද කිරීමේ කටයුත්තේ නියැළෙන මේ සොඳුරු පවුලේ කැණිමඩල ලෙස චන්න විජේවර්ධනයන් හඳුන්වන්න පුළුවන්. ඔහුගේ පි‍්‍රය බිරිය, උපුලී මුලින්ම අපේ කතාබහට එකතු වූයේ මෙලෙසිනි.

පළමුවෙන්ම ඔබ පිළිබඳ කතා කළොත්

මම චිත්‍රාචාර්ය උපුලී පණිභාරත. මගේ අම්මා ප්‍රේමලතා පණීභාරත. තාත්තා චිත්‍රාචාර්ය පණීභාරත. එකම නංගී ජයවන්ති පණීභාරත. අපි පදිංචිවෙලා හිටියේ රාජගිරිය මාදින්නාගොඩ.

මගේ මුල්ම පාසල වුණේ කොළඹ මියුසියස් විද්‍යාලය. සාමාන්‍ය පෙළ කරන්න දේවි බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. උසස් පෙළ කළේ විශාඛා විද්‍යාලයේ. ඉන්පසු කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී උපාධිය හදාරා ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තා.

ඔබේ ආදරණීය සැමියා චන්න මුලින්ම හමුවුණු දවස මතක ද?

එයා හමුවෙන්නේ 80 වසරෙදි විතර. ඒ කාලේ ටවර් හෝල් පදනමෙන් චීනයට යවන්න නර්තන කණ්ඩායමක් හැදුවා. ඒ කණ්ඩායමේ නම සිරිසඟබෝ නාට්‍ය කණ්ඩායම. ඒ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ මගේ තාත්තා. මේ කණ්ඩායමට චන්නවත් තෝරාගෙන තිබුණා. මටත් ආරාධනාවක් ලැබුණා. එතැනදී තමයි අපි මුලින්ම හඳුනාගත්තේ.

ඔය විදිහට වැඩ කරගෙන යනකොට චන්නගෙ විශේෂ නර්තන හැකියාවන් තියනවා මම දැක්කා. ඒ වගේම තමයි එයා මගේ තාත්තට ගොඩක් ගරුකළා. ඒ විතරක් නෙමේ එයා හැම නර්තන ගුරුවරයෙක් ළඟටම ගිහින් ඉගෙන ගත්තා. ඊට පස්සෙ එයාගෙම කියලා කලාවක් හදාගත්තා.

ඒ කාලෙ එයාව හැඳින්නුවේ ‘ගෝල්ඩන් ස්කින් කලර් ඩාන්සර්’ කියලා. එයා නටන විදිහට මම වශීවෙලා හිටියා කිව්වොත් වැරැදි නෑ. ඒ තරමටම එයා නටන විදිහ ලස්සනයි. එයාගෙ දක්ෂතාව ගැන අපේ තාත්තත් ගොඩක් පැහැදිලා හිටියෙ. දෙපාර්ශ්වයේම ආශීර්වාදය ඇතිව 90 දශකයේ දී අපි විවාහ වුණා. අපේ එකම දුව අසේකා විජේවර්ධන.

ඔබේ දියණියත් අද දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇය පුංචි කාලෙදි මේ ක්ෂේත්‍රයට යොමු කරවන්න ඕනේ කියලා අදහසක් තිබුණ ද?

අපි එහෙම බල කළේ නැහැ. නමුත්අපි කරගෙන යනදේ ඉදිරියට ගෙනියන්න ඕනේ කියන හැඟීම තිබුණා. පුංචි කාලෙදි එයාට නර්තනය පිළිබඳ එතරම් වැටහීමක් තිබුණේ නැහැ. නමුත් පස්සෙ ටික ටික නර්තනය හදාරන්න ගත්තා. පුංචි කාලෙ එයා ගොඩක්ම හිටියෙ මගේ මහගෙදර. එහෙ හරියට විශ්වවිද්‍යාලයක් වගේ උගත් බුද්ධිමත් අය නිතරම ගෙදරට ආවා ගියා. එයාලගෙන් හොඳ විනයක් වගේම හැදියාවක් ඉගෙන ගන්න ලැබුණා. මම පුංචි කාලෙදි මටත් ඒ ආභාසය එහෙමම ලැබුණා. ඒ නිසා මගේ දුව හරිම වාසනාවන්තයි. අද අපි තුන්දෙනාම ජීවත්වෙන්නේ එකම විෂයයක් තුළයි. ඒකට හරිම සතුටුයි.

අසේකාව ඔබ දකින්නේ කොහොම ද?

එයා කාගෙවත් හිත රිද්දන්න කැමැති කෙනෙක් නෙමෙයි. ඕනෙම සමාජයක ජීවත්වෙන්න පුළුවන්කම එයාට තියනවා. ඒවගේම තමයි එයා සමානතාවය අගයන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ඕනෙම දෙයක් එක මොහොතකින් වටහා ගැනීමේ ශක්තිය ඇයට තියනවා. මටත් වඩා අසේකා දක්ෂයි කියලා කියන්න පුළුවන්.

එයාගෙ හිතට වදදෙන ප්‍රශ්නයක් ආවොත් එයා ඒක ඉස්සෙල්ලාම කියන්නේ මට. මට ඒක විසඳන්න අපහසුයි නම් තාත්තාට කියලා විසඳගන්නවා. ඒ වගේමයි එයා කාටවත් බණින්න, කෑගහන්න කැමැති කෙනෙක් නෙමෙයි. අපේ නර්තන ආයතනයේ පාලන කටයුතු කරන්නේ මම නිසා සමහර අවස්ථාවල ළමයින්ට කෑගහන්න වෙනවා. ඒ වෙලාවට අසේකා මාත් එක්ක තරහෙන් තමයි ඉන්නෙ. ඒ කොහොම වුණත් ඇය අපේ මේ නර්තන කලාව, අනන්‍යතාව රැකගෙන ඉදිරියට යයි කියන විශ්වාසය අප තුළ තියනවා.

දියණියක් ඉන්න අම්ම කෙනෙක් විදිහට දුවක් හදන්න ඕනේ කොහොම කියල ද ඔබ හිතන්නෙ

මගේ දුව ලැබුණු දවස තරම් සතුටු වුණු දවසක් තවත් මගේ ජීවිතයේ නැතිව ඇති. ඒ තරමටම ඇය ලැබුණු දිනයේ දී මම සතුටු වුණා. දියණියක් ලබනවා කියන්නේ මවුපියන්ට ලොකු වගකීමක්. සමාජයෙන් වචන අහන්නෙ නැති තත්ත්වයට එයාව හදන්න ඕනේ. මම නම් හිතන්නෙ දරුවෝ වැරැදි කරන්නෙ ගෙදරින් ලැබෙන රැකවරණයේ අඩුපාඩුවක් නිසයි. එයාලා අධ්‍යාපනය අතින් කොතරම් ඉහළට ගියත් හැදියාව නැත්නම් වැඩක් නැහැ. ඒ හැදියාව ලැබෙන්න ඕනේ ගෙදර පරිසරයෙන්මයි. නැතිනම් කවදහරි එයාගෙ දරුවො හැදෙන්නෙත් ඒ විදිහටම තමයි. ඒ නිසා ඒ පෝෂණය නිවෙසෙන්ම ලැබෙන්න ඕනේ කියලයි මම හිතන්නෙ.

 

2019/11/06 තරුණි බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.