රටම දන්න ලිලී වයලට් අත්තම්මා

පෙබරවාරි 12, 2020

අව්වටත් වැස්සටත් පදම් වූ ඇයගේ වියපත් මුහුණ බෙහෙවින්ම විඩාබරය. ඒ විඩාබර වූ මුහුණේ ඇත්තේ තරමක රළු පරුෂ පෙනුමකි. එහෙත් එම රළු වූ මුහුණට වඩා ඇයගේ හදවත බෙහෙවින් මෘදු මොලොක්ය. හැඟුම්බරය. ආදරණීයය.

එම හැඟුම්බර වූ අවංක හදවත තම ජීවිත මං තලාවේ කැප කළ සේවය දින මාස ගණන් නොවන්නකි. එය අවුරුදු 45 කටත් වඩා දිගු කාලයකි. අප සොයා ගියේ ඇගේ ඒ දිගු කාලයක් කළ කැපකිරීම හා සේවයයි.

ලිලී වයලට් මෑණියන්ව මුණ ගැසෙන්නට අප හෙට්ටිමුල්ල ගම් පියසට ගියේ සැතපුම් ගණනක් ගෙවමිනි. වියපත් වූ මුහුණත් දහඩියෙන් නැහැවුණු වතත් ඇයගේ ජීවිතයට විරාමයක් දෙන්නට ඉඩ නොතබයි. වයස අවුරුදු 83 ක් වුණත් ඉතාම කාර්යක්ෂම ලෙසින් ඇය සිදු කරන සේවය ගැන දෑස් නොසොල්වා අප බලා සිටියේ මවිතයෙනි. වේලාව උදැසන 7.00 කනිසම පසුවී තිබුණි. හෙට්ටිමුල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ උදෑසන කාලයේ වාහන තදබදය තරමක් අධිකය. කෑගල්ල නගරය දෙසට ගමන් ගන්නා පාසල් බස් රථ හා රාජකාරි සඳහා ගමන් ගන්නා වාහන් පිරී ගොසිනි. වැල නොකැඩී ඉදිරියට ඇදෙන්නේ තම ගමන විනාඩියකින් හෝ ඉක්මන් කර ගන්නටය.

මේ ගමන අතරතුර හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කණිෂ්ට විද්‍යාලයට පිවිසෙන මාර්ගය අසල ඇත්තේ තරමක අවධානමකි. කුඩා දරුවන් පාසලට පිවිසෙන මාර්ගය හරහා වූ සුදු ඉර අසල සිටින්නේ අප සොයන වයලට් අත්තම්මාය. ඇය බෙහෙවින්ම අවිවේකීය... දරුවන් නිරුපද්‍රිතව පාසලට ඇතුළු කිරීම ඇයගේ ප්‍රධානම කාර්යයයි. අපි ඇය සිදුකරන කටයුත්ත දෙස මඳක් ඇතට වී බලා සිටියෙමු. කුඩා දරුවන් ඇයගේ අතේ එල්ලී මාර්ගය මාරු වෙන්නේ පුදුමාකාර සෙනෙහෙබර ලෙන්ගතු බැඳීමකිනි. ඇයට දරුවන් සමඟ තම සෙනෙහස බෙදන්නට වේලාවක් නෙවෙයි.

එහෙත් ඇය තම රාජකාරිය අකුරටම ඉටු කරයි. ඇයගේ අණට හැම අයකුම අවනතය. ඇතැම් අවිනීත රියැදුරන් අවනත නොවන මොහොතක ඇගේ ඉණේ සඟවාගෙන සිටින කෝටුවෙන් ලැබෙන්නේ දඬුවම් පහරකි. විශේෂයෙන්ම යතුරු පැදිවල ගමන් ගන්නා තරුණ පිරිස ඇය ගැන දන්නා නිසාම ඉතාම විනීතව මේ ස්ථානය පසුකර යන්නේ ඇයට පුංචි මඳහසකින් ආචාර කරමිනි. එහෙත් ඒ සිනහවට ප්‍රතිචාර දක්වන්නට කාලයක් ඇයට නොවෙයි. නැවතත් කුඩා සිඟිති දරු දැරියන් රෑනක් ඇයගේ රැකවරණය පතමින් සුදු ඉර අසල රැඳී සිටින්නේ ඉතාම සතුටු සිතිනි. උදෑසන පාසලට ඇතුළුවන විටම වයලට් අත්තම්මා මුව‘ග සැඟවී ඇති හසරැල්ලට ප්‍රතිචාර දක්වා විදු පියසට පිවිසෙන දරුවන්ට ලැබෙන ආශීර්වාදය නැවත ආපසු නිවෙස කරා යන අවස්ථාවේදී ද හිමි වන්නේ කිසිම අඩුවක් නොමැතිවමය.

 

2020/02/12 තරුණි බලන්න

 

ඡායාරූප - දමිත් තිලාන් කුමාර

ස්ටුඩියෝ රේඛා - යටියන්තොට