කවුරුත් විශ්වාස නොකරන කතාවක්

පෙබරවාරි 12, 2020

පාසල් ඉගෙනුමෙන් තොරව අද ළමයින්ට ජීවිතයක් නැතැයි කියා වැඩිහිටියෝ විශ්වාස කරන යුගයක මේ අම්මාත් තාත්තාත් දරුවෝ පාසල් නොයවා දරුවන්ට ඔවුන්ගේ ලෝකය සොයා ගන්නට උදව් කළහ. ඒ උදව්ව නම් දරුවන්ට ළමා විය නිදහසේ ගෙවා දමන්නට ඉඩදීමය. ඇතැමෙක් ඔවුන්ට දොස් කීහ. ඇතැමෙක් මෙය පිස්සුවක් යැයි කියන්නට වූහ. ඇතැමෙක් මේ දෙස බැලුවේ කිසිත් නොකියාමය. කිසිවකු මේ ක්‍රියාව අනුමත නොකළද ජනක හා ශඛිලා තමන්ට ඕනෑ දේ කළහ. අවසානයේ ඔවුන්ගේ දරුවෝ තම තමන්ට ඕනෑ ලෙස ජීවිත සාර්ථක කරගත්හ. දරුවන්ගේ මේ සාර්ථක බවට ප්‍රධානම සාධකය වන්නේ ජනක හා ශඛිලා යන දෙදෙනා එක අරමුණක සිට එක ගමනක් ගිය බැවිනි. රජවරුන් තනන්ට නොව මේ මහ පොළව මත පයගසා අනෙකා ගයමින්

අනෙකාට ආදරය කරන මිනිසකු බිහි කරන්නට ඔවුන් ගත් උත්සාහය සාර්ථක වීමට බලපෑ ප්‍රධාන සාධකය එයයි...අප ඔබට මේ කතාව කියන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අතර මිනිසුනට, ගහ කොළට, සතා සිව්පාවුනට ආදරය කරමින් ආදරණීය පරපුරක් අනාගතයට දායාද කරන්නැයි ඉල්ලන්නටය.

 

“ඔබ හමුවීමට නීතිඥ මහත්මයෙක් ඇවිත්.”

අවුරුදු දහයකට පමණ පෙර දවසක හැන්දෑවේ පිළිගැනීමේ අංශයෙන් දුරකථන ඇමතුමකින් දැන්වීම.

අමුත්තා හමුවීමට පහළට ගියේ දෙගිඩියාවෙනි. ඒ ඒ වන විට මා දන්නා හඳුනන්නෝ නීති ක්ෂේත්‍රයේ නොසිටි නිසාය.

අමුත්තා සුහදශීලී කාරුණික අයකු බව වචනයක් දෙකක් කතා කරන විට වැටහිණි.

“මගේ නෝනා තමයි කිව්වේ ගිහින් හමුවෙන්න කියලා. ඔබ ලියූ ලිපියකට අනුව වැදි ගම්මානයේ දරුවන් ගැන සොයලා බලන්න තොරතුරු දැන ගන්න කියලා.”

එතැන් සිට අප බොහෝ දේ ගැන කතා කළෙමු. කලාව, දේශපාලනය, මාධ්‍ය ගැන මෙන්ම පෞද්ගලික තොරතුරු ද කතා කළෙමු. එතැන් පටන් අපි හොඳ මිතුරෝ වීමු. මාසයකට දෙවතාවක් වත් විවිධ මාතෘකා දුරකථනයෙන් කතා කරන්නට වීමු.

“මගෙයි මගේ බිරියගෙයි ජීවත මහ පුදුම එකක්. මට තියෙනවා කවුරුවත් විශ්වාස නොකරන අන්දමේ කතාවක්. මගෙ දරුවෝ ඉගෙන ගන්න වයසේ ඒ වුණාට ඒ ගොල්ලෝ ඉස්කෝලේ යන්නේ නැහැ. ඒත් ඒක කියන්න මේ දවස නෙමෙයි.”

තවත් දවසක යම් කටයුත්තකට අප කාර්යාලයට පැමිණි විටෙක ඔහු පැවැසුවේය. ඒ වන විටත් ඔහුගේ මුහුණේ දුකක් කළකිරීමක් හෝ නොදුටුවෙමි. ගෙවී ගිය කාලය වසර ගණනකි.

මොහු මේ කියන්නේ කුමක්ද ? ඔහු කියන්නම් යැයි කියූ කතාව කියන්නට ගත වූ කාලය වසර දහයකතට වැඩි යැයි සිතෙන්නේ දැන්ය.

“මගේ දරුවෝ ඉස්කෝලේ යන්නේ නෑ.‘‘

‘‘ ඒ ඇයි?‘‘

දරුවන් පාසල් නොයන කතාව කියන්නට ඔහු කැමැති වූයේය. එහෙත් ඔහු ඒ කතාව කියන්නට වූයේ ඔහුගේ පවුලට ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නොවේ. ඔහු විටින් විට කියූ කතා එක්කොට එක් කතාවක් අසන්නට පසුගිය දාක අප ඔහුගේ නිවෙසට ගියෙමු. අප එහි යන විට වේලාව සවස එකහමාර පමණ වන්නට ඇත. ඒ සන්ධ්‍යාවේ අප පිළිගන්නට ඉදිරියට පැමිණියේ ඔහු ගේ පාසල් නොයන දෙදරුවන්ය.

අම්මාත් තාත්තාත් මේ දරුවන් දෙදෙනාත් අප පිළිගත්තේ බොහෝ ආදරයෙනි. පවුලේ බාලයා සාබිලාෂ් දස හැවිරිදි වියේ ය. පවුලේ දෙවැන්නා වූ ආයුෂ් විසි තුන්වැනි වියේය. වැඩිමලා චාග විසි හතර වැනි වියේය.

පිරිමි දරුවන් තිදෙනකු ගෙන් යුතු එදිරිසිංහ පවුලේ කතාව විටෙක නව කතාවක්, චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් සිහිගන්වයි. ශ්‍රේෂ්ඨාධිකරණ නිතීඥයකු වන ජනක එදිරිසිංහ ගැන සමාජය බොහෝ දුරට දැනුවත්ය. දේශීය වෛද්‍යවරියක වන ඔහුගේ බිරිය ශඛිලා ඉලේසිංහ ද සමාජය වෙනුවෙන් අගනා මෙහෙවරක නියැලෙන්නියකි. මේ කුමන කුමන වෘත්තීන් වල නියැලුණ ද ඔවුන්ගේ ජීවිත වල මුල්තැන හිමිව ඇත්තේ දරුවන්ටය.

බණ්ඩාරවෙල උපන් ජනක අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයේය. ඔහුට ශඛිලා හමුවන්නේද ඒ පාසල් කාලයේදී ය.

“ ඒ කාලේ අපේ ජීවිත වල මහ පුදුම ලස්සනක් තිබුණා. අද බණ්ඩාරවෙලට වඩා එදා බණ්ඩාරවෙල හරි සුන්දරයි. ගහකොළ පරිසරය හරි අපූරුයි. අපි ජීවිතය ඉගෙන ගත්තේ මේ ගහකොළ, පරිසරය සහ මිනිසුන් අතරේ. අපේ ප්‍රේමය පටන් ගන්නෙ පාසල් කාලයේදී. අපේ ආදර කතාව මල් පල ගැන්වුණා. අපි විවාහ වුණා. අපි විවාහ වෙලා පදිංචි වුණෙත් බණ්ඩාරවෙල. දවසක් උදේ මම උසාවි යන්න ලැස්ති වෙනවා. මම හිටියේ ටයි පටිය ගැට ගසමින්. ඒ වෙලාවේ ජනේලයෙන් මට පේනවා ලස්සනට දේදුන්නක් පායලා තියෙනවා. මේ වෙලාවේ තමයි මට ශඛිලා කියන්නේ ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්න බව. වැඩිමල් පුතාට දුනුදෙව් චාග කියලා නම තබන්නේ ඒ දේදුන්නෙන් ලැබුණු තැග්ග යන අර්ථයෙන්. ඕන වුණේ නෑ හදන්නන් වාලේ දරුවන් හදන්න. අපට ඕන වුණේ මේ ලෝකයට ආදරය කරන පරිසරයට ආදරය කරන මිනිසුන් බිහිකරන්න. අප අතර දරුවෙක් ලැබෙන්න ආව දවසේ ඉඳලා අප ලෝකයේ විශිෂ්ට නවකතා, විශේෂයෙන්ම රුසියන් පොත් කියෙව්වා. අපි දෙන්නාම පුංචි කාලේ ඉඳලම විශ්ව සාහිත්‍යය කියවන්න හුරු වූ අය. විශ්ව සංගීතය ඇහුවා. ගහකොළ පරිසරය ඇසුරේ දවස ගෙව්වා. ලැබෙන්න ඉන්න දරුවා කොයිතරම් සංගීතයට සංවේදී ද කියනවා නම්, මට මතකයි ලොකු පුතා ලැබෙන්න ඉන්න විට දවසක් බිරිය මට කියනවා දරුවා දඟලන්නේ නෑ කියලා. අපි වෛද්‍යවරයා ළඟටත් ගියා. ඔහු කිව්වා ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් අපට බයයි. අපි එදා හැන්දෑවේ ආගමික ස්ථානයකට ගියා. අප යන විට අතර මඟ කෝවිලේ පූජාව. මෘදංගය ආදී සංගීත භාණ්ඩ වැයෙන හඬ ඇසුණා. ඒ වෙලාවේ ශඛිලාගේ කුස තුළ සිටි බිලිඳා දඟලන්න පටන් ගත්තා. ඉන් පස්සේ කුස තුළ සිටින දරුවා දඟලන්නේ නැති වෙලාවට අපි සංගීතයට සවන් දෙන්න හුරුවුණා.‘‘

ජනක පවසන්නේ ඔවුන්ගේ පවුලට ලැබුණ පළමු දරුවා ගැනය. දෙවැන්නා ද ලැබුණ පසු ඔවුන්ට ඒ දරුවන්ගෙන් තොර ලෝකයක් නොවීය. වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වූ ශඛිලා සිය කාලය කැප කළේ දරුවන් වෙනුවෙනි. ඇය ඇතැම් දිනවල චාග හා ආයුෂ් රැගෙන නිවෙසට ආසන්නයෙන් ඇති සුන්දර කඳු මුදුනක පිහිටි තැනිතලා බිමකට, කැලෑ බිමට යන්නීය. ඔවුන්ගේ උදේ වරුව ගෙවෙන්නේ එතැනය.

කාලය ගෙවිණි. දරුවන් පාසල් යන වයස එළැඹුණි. එහෙත් දරුවන් පාසල් ගියේ පළමු ශ්‍රේණියට පමණි. සොබා දහමට හුරුවී සිටි දරුවන් තුළ පැවැති නිදහස පාසල් යාමෙන් ගිලිහී යන බව දුටු ජනක හා ශඛිලා ඔවුන් පාසලෙන් ඉවත් කර ගත්හ. දෙදරුවෝ යළිත් සුපුරුදු කෙළිදෙලෙන් පසු වන්නට වූහ. ගෙවුණ කාලය වසර හතරකි

“අප්පච්චි අපි ඉස්කොලේ යන්නේ නැද්ද?”

දිනෙක දරුවන් ඇසූ විට ඔහුට දරුවන්ගේ ඉල්ලීම ඉටුකරන්නට ඕනෑ විය. ඔහු පාසල් සොයන්නට විය. කොළඹ ජනප්‍රිය යැයි කියනා පාසල් වල සිට ඔහු දරුවන් ඇතුළත් කළ හැකි පාසලක් සොයා පාසල් ගණනාවකට යන්නේය. අවසානයේ ඔහුට හමුවන්නේ ගම්බද පාසලකි. එය දුප්පත් ආර්ථික දුෂ්කරතා තිබෙන, කම්කරුවන් ගේ දරුවන් ඉගෙන ගන්නා පාසලකි. ජනක පුතුන් දෙදෙනා ඒ පාසලට ඇතුළත් කරන්නේය. වැඩිමල් පුතු චාග පහ ශ්‍රේණියටය. දෙවැනි පුතු ආයුෂ් හතර ශ්‍රේණියටය. දෙදෙරුවෝ පාසල් ගියේ වසර මැදකදිය.

“අපි ඉස්කෝලේ යන්න ඕන කිව්වාම අප්පච්චි අපව ඇතුළත් කළේ ගහකොළ වැඩියෙන්ම තියෙන, වැඩියෙන්ම කුරුල්ලෝ ඉන්න ඉස්කෝලේට. අප්පච්චි ඒ පාසලේ ගුරුවරුන්ට කිව්වේ අපට වෙන ළමයින්ට වගේ ගෙදරදි කරන්න වැඩ පවරන්න එපා කියලා. අපිට අපේ නිදහසේ ගත කරන්න දෙන්න කියලා.”

සිය අම්මාත් අප්පච්චිත් පවසන කතාව අසා සිටින අතරේ ආයුෂ් පැවැසුවේය.

පාසලේ දී චාග හා ආයුෂ් දක්ෂතා පෙන්වුයේ සංගීතයටය. ගායනයටය. දෙදෙනාම පාසල් තරග වලදී ඒ සඳහා විශිෂ්ට ජයග්‍රහණ ලැබූහ. ජන ගී, නූර්ති ගී ගායනා කරමින් ඔවුන් දෙදෙනාම කැපි පෙනෙන දක්ෂතා දක්වන්නට විය. මේ දක්ෂතා දුටු ඇතැමෙක් දරුවන්ගේ මඟ අහුරන්නට ද මාන බැලූහ. කෙසේ වුවත් ජනක හා ශඛිලා දරුවන් දෙදෙනා සනසමින් ඔවුන් දිරිමත් කළහ. වසරකින් දෙකකින් දරුවන් පාසල් ගමන අතහැර දැම්මේ ඔවුන්ට ඊට වඩා දෙයක් නිවසේ සිට කරන්නට පුළුවන් යැයි සිතාය. වෙනත් මවුපියන් නම් මෙවන් අවස්ථාවල දරුවන්ට තරවටු කර පාසල් ඇදගෙන යනු නොඅනුමානය.

“අපිට ඕන වුණේ නැහැ ජීවිතය අධ්‍යාපන තරගයක් කරන්න. අපට ඕන වුණේ ආදරය දැනෙන ආදරය හඳුනන දරුවන් නිර්මාණය කරන්න. එයාලා ගෙදර ඉන්න ඕන කිව්වාම අපි ඒකට ඉඩ දුන්නා. ඒක ඔවුන්ගේ නිදහස” ජනක පවසන්නේ නිවී සැනහුන හඬකිනි.

දරුවන්ට ඔවුන්ගේ අරමුණු කරා යන්නට ඉඩදුන් මේ මවත් පියාත් දරුවන් සමඟ නිවසේ රැඳී සිටින්නට වැඩි කාලක් වැය කළහ.

 

ඡායා -  ශාන් රූපස්සර

 

2020/02/12 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.